
ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත කීනිගම
- වර්තමානයේදී පැමිණෙන්නේ සංචාරකයන්ගෙන් සියයට 1 යි
- ඉදිරියේදී එය සියයට 3 සිට සියයට 50ක් දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂාවක්
භානුක අමරසිංහ
කොළඹ වරාය නගරයේ පිහිටා ඇති තීරු බදු රහිත (ඩියුටි ෆ්‍රී ) සාප්පු සංකීර්ණ වෙත වර්තමානයේදී පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 1 ක පිරිස තුන්ගුණයක් බවට පත් කරගැනීම සිය මූලික අරමුණ බව එහි ක්‍රියාත්මක CdF Duty Free ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත කීනිගම මහතා පවසයි.
විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ නියාමන ආයතනය වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් පනවා තිබූ ඇතැම් නියාමන සීමා කිරීම් ඉවත් කිරීමත් සමගින් එම ඉලක්කය සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සිය අපේක්ෂාව බවත් ඒ මහතා ලංකාදීප FT වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
“විදෙස් සංචාරකයන් සහ විදෙස් ගතව සිට එන මෙරට පුරවැසියන්ගෙන් සියයට 1ක් පමණයි. මේ ඩියුටි ෆ්‍රී සාප්පු වෙත එන්නේ. ඒ සඳහා පනවා තිබූ සීමා කිරීම් ඊට හේතු වුණා. එහෙත් මේ ලිහිල් කිරීමත් සමගින් ක්‍රමයෙන් එම පැමිණීම් සියයට 3ක් දක්වා වර්ධනය වේවි කියන අපේක්ෂාව තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී එය ක්‍රමයෙන් වර්ධනය වෙලා සියයට 30 ක් මට්ටමට වගේම සියයට 50ක් තත්වයට පත්වේවි.
මෙම නව නියාමන සංශෝධන යටතේ සෑම විදේශ ගමනක් අනතුරුවම ශ්‍රී ලංකා පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙම තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ සුදුසුකම් ලබාදී තිබේ. එසේම මෙරටට පැමිණීමෙන් පසු දින 4ක කාලසීමාව තුළ වාර 2ක් වෙළෙඳ සලට පැමිණීමට අවසරය හිමි වෙයි. මෙහිදී ආගමනික සංචාරකයන් සඳහා දැනට පවතින තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ උපරිම සීමාව එක්සත් ජනපද ඩොලර් 2000ක් වෙයි.
“සාමාන්‍යයෙන් මේ වගේ ඩියුටි ෆ්‍රී ෂොප් එකකට ලෝකයේ සුඛෝපභෝගී භාණ්ඩ සන්නාම එන්න නම් ඒ සාප්පු වෙත පැමිණෙන පිරිසත් වැඩි වෙන්න ඕනේ. ලංකාවේ පුරවැසියන් සඳහා වෙනස් කළ මේ නියාමන සීමාව ඒ සඳහා ඉතාමත් වැදගත්. මොකද ලංකාව වගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ට වඩා අඩු රටවලට මේ ප්‍රීමියම් සන්නාම එන්නේ නෑ. ඒත් දැන් ඒ සඳහා අවස්ථාව තිබෙනවා.“
විශේෂයෙන්ම මෙම වරාය නගරයේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණය ඉන්දියාවේ සිට පැමිණෙන ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමත් සැලසුම බව කීනිගම මහතා සඳහන් කළේය.
“ඉන්දියාවේ ඉහළ සිට අති ඉහළ මට්ටමේ ධනවතුන් මිලියන 100ක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය වගේ පස් ගුණයක්. ඔවුන්ව ආකර්ෂණය කරගන්න ඕනේ.’
කෙසේ වෙතත් මෙම ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයෙන් මිලදී ගන්නා භාණ්ඩ එම සංචාරකයාට මෙරට රැඳී සිටින කාලයේදී භාවිත කිරීමට නොහැකි වීම ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
“ අපේ රටේ නීතිය හැටියට ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් ගන්න භාණ්ඩයක් ඒ පුද්ගලයා රටින් යන අවස්ථාවේදී ගුවන් තොටුපොළට භාරදීමක් තමයි සිද්ධ වෙන්නේ. එය සිදු කරන්නේ තීරු බදු රහිත භාණ්ඩ සම්බන්ධ වංචා වළක්වා ගන්න. ඒත් ඉහළ මිලකට භාණ්ඩයක් මිලදී ගන්න සංචාරකයන්ට එවැනි අවශ්‍යතාවක් නෑ.“
එම නීතියද ඉදිරියේදී යම් තරමකින් ලිහිල් කරගැනීමත් අපේක්ෂාව බවද කීනිගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd