IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තේ ඉඩමේ අමතර ආදායම් උපද්දන ගම්මිරිස්

  • තේ වගාවත් එක්ක ගම්මිරිස් වගා කරන්න අමතර වියදමක් යන්නේ නැහැ
  • අද ගම්මිරිස් කිලෝ එකක් අලෙවි වෙන්නේ රුපියල් දෙදහස් පන්සීයත් දෙදහත් අතර මිලකට 
  • එකම ඉඩමේ වගා දෙකක් කරලා ආදායමක් ගන්න පුළුවන්

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


කෘෂිකාර්මික රටක ඉපදීමට තරම් අපි භාග්‍යවන්තයෝ වූවෙමු. මේ නිසාම අපිට අනෙක් බොහෝ රටවල්වලට වඩා ගහ කොළ සතා සිවුපාවා හොඳට හුරුය. ඔවුන්ගෙන් අපේ රටේ කෘෂිකර්මාන්තයට ලැබුණේ ලොකු සහයෝගයකි. මේ හේතු කාරණා නිසා එදා අපේ රට කෘෂිකර්මාන්තයෙන් සිටියේ ඉදිරියෙනි. දිරිමත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාය. එදා කෘෂිකර්මාන්තය කරවීමට මේ තරම් නිලධාරීහු නොසිටියහ. අද මෙරට කෘෂිකර්මාන්තය කරවීමට ඉහළින් මෙහෙයවනු ලබන රාජ්‍ය නිලධාරීන් බොහෝය.
එකල අපේ රට කෘෂිකර්මාන්තයෙන් කප් ගැසුවේනම් මෙකල කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කෙළවරක් නැතිව නිලධාරීන් සිටියදී අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුවිය යුත්තේ හැටට හැටේය. අපේ කෘෂිකර්ම නිෂ්පාදන නැව් පිටින් පැටවිය හැකි වටපිටාවකය. අද නගරයේ පමණක් නොවේ ගම්මට්ටමින් ද කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නිලධාරීහු සිටිති. ප්‍රශ්නය ඔවුන්ගෙන් ගම්මානවල කෘෂිකර්මාන්තය නැංවීමට පිටුවහලක් ලැබේද යන්නය. අද සෑම ගමකම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරියෙක් හෝ නිලධාරිනියක් සිටී.
ගම්මට්ටමින් පත්කර ඇති මේ නිලධාරීන් ගමේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කළ පර්යේෂණ මොනවාද, එමෙන්ම ඔවුන් ගමේ නිෂ්පාදනයක් වැඩි දියුණු කිරීමට කළේ මොනවාද යන්න සොයා බැලීම යුගයේ හැටියට වැදගත් කාරණාවකි. ඔවුන් ගමේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කළ පර්යේෂණයක් නැති තරම්ය. ගමේ නිෂ්පාදනය වැඩිකිරීමට ගන්නා උත්සායද එයමය. ගමේ වගා කටයුතු බැලීමට මේ නිලධාරීන් යනවාද ?
එදා හේන් ගොවිතැන් කළ ගොවියෝ කෘෂිකර්මාන්තය දැන සිටියෝය. ඔවුහු තමන්ගේ දැනුම අත්හදා බැලූහ. ඔවුන්ගේ ඒ අත්හදා බැලීම් බොහෝමයක්ම සාර්ථකවූවේය.
පහත රට ඇතැම් වගාකරුවන් ස්ව උත්සාහයෙන් සිය වගාබිම්වලින් උපරිම පල නෙළා ගන්නේ මෙවන් පසුබිමක් තුළය. එම උත්සාහයේ ප්‍රතිඵලය ගනුයේ ඔවුන්ම පමණි. මේ උත්සාහය පහත රට හෝ උඩ රට මැද රටට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම බලධාරීන් නැතුවා සේය. ඔවුන් කෘෂිකර්මය ව්‍යාප්ත කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට යන්නේ නම් මේ වගාකරුවන්ගේ උත්සාහය තව තවත් මල් පල ගනු නිසැකය. මුළු පළාතටම ඒ ධෛර්ය වන්ත වගාකරුවන්ගේ දැනුම ලබාගෙන ඒ පළාත් ද වගාවෙන් සශ්‍රීක කිරීමට හැකිවන්නේය.
තේ වගාවට බොහෝවිට ග්ලිසීරියා අත්‍යවශ්‍යම ශාකයකි. තේ වගාවේ අතරින්පතර ග්ලිසීරියා වැවීම බොහෝ අය පුරුද්දක් කරගෙන තිබේ. ඒ හේතු කිහිපයක් නිසාය. තේ ශාක අතර වවන ග්ලිසීරියා ගසෙන් සාක්කුව මුදලින් පුරවා ගන්නා මිනිසුන් කිහිපදෙනෙක් ගැනය. මේ ඔවුන්ගේ කතාවය.
ජානක පෙරේරා
පහත රට විශේෂයෙන් පිටිගල සහ ඒ අවට උඩ රට හැර අනෙක් පළාත්වල වැවෙන බොහෝ වගා මෙහේ වවන්න පුළුවන්. මම අක්කර හතරක තේ දැම්මා. තේ වගාවට අවශ්‍ය නිසා ග්ලිසීරියා ඒ අතරට හිටෙව්වා. තේ ශාකයත් එක්කම ගිලිසීරියා ගහත් වැඩුණා. මම කරන්නේ ග්ලිසීරියා ගස් කිහිපයකටම හොඳ තත්වයේ ගම්මිරිස් වැලක් යැව්වා. ඒ ගම්මිරිස් වැල් ටික හොඳට හැදුණා. ඊට පස්සේ අනෙක් හැම ග්ලිසීරියා ගහකටම ගම්මිරිස් වැලක් යැව්වා. ඒවත් හොඳින් වැඩුණා. ගම්මිරිස් වගේම තේ ටිකත් හොඳින් වැඩුණා.
තේ වගාවත් එක්කම ගම්මිරිස් වගාවට මම ආවේ එහෙමයි. දැන් මේ වගා දෙකෙන්ම ආදායම ගන්නවා. අද ගම්මිරිස් කිලෝ එකක් රුපියල් දෙදහත් පන්සීයත් දෙදහත් අතර මිලකට අලෙවි වෙනවා. ඒක ලොකු ආදායමක්. තේවලින් ආදායම අපිට වෙනමම එනවා. ගම්මිරිස්වලින් වෙනමම ආදායමක් ගන්නවා. එකම ඉඩමේ වගා දෙකක් කරලා ආදායම ගන්නවා. අද රට යායුත්තේ මේ වගේ තැනකටයි. එහෙත් අදාළ බලධාරීන් නිහඩයි. මේ රට දියුණු කරන්න පුළුවන්. මම වගාවට ආවේ පොඩිම පොඩි තැනකින්. එහෙත් මේ වගේ අත්හදා බැලීම් කරලා තමයි වගාව දියුණු කළේ.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර:-
මමත් මගේ ඉඩමේ තේ වගාවත් එක්ක ගම්මිරිස් වගාවත් දාලයි තියෙන්නේ. තේ වගාවේ සිටුවා ඇති ග්ලිසීරියා ශාකයේ තමයි ගම්මිරිස් වැල යැව්වේ. ඒකෙන් දැන් හොඳ ආදායමක් ලබනවා. තේ වගාවත් එක්ක ගම්මිරිස් වගා කිරීම හරිම පහසු වැඩක්. අමතර වියදමක් යන්නෙත් නැහැ.ගම්මිරිස් වගාවට අපි පොහෝර වශයෙන් දාන්නේ අලු‍ත්ම දෙයක්. ශත පහක්වත් යන්නේ නැහැ ඒ සඳහා. තේ වගාවත් එක්ක ගම්මිරිස් වැල යවපු ග්ලිසීරියා ගහේ අතු, ඉති, කොළ තමයි ඒ සඳහා ප්‍රයෝජනයට ගන්නේ. ඒ ක්‍රමයෙන් ගම්මිරිස් වගාවට වගේම තේ වගාවටත් පොහොරක් ලැබෙනවා.
රජයේ කෘෂිකර්ම නිලධාරීන් කරන්න ඕන, සොයා ගන්න ඕන වැඩ තමයි අපි හිතලා බලලා කරන්නේ. එහෙත් අපිට ඒ සඳහා සහයෝගය රජයේ පැත්තෙන් ලැබෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ට අපේ වගාව ගැන වගේ වගක් නැහැ. මේ වගා ක්‍රමය හොඳ දෙයක්.
පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ;-
මටත් අක්කර තුනක් තියෙනවා. ඒවයේ වැව්වේ තේ. එහෙත් තේ වගාව සමග ගම්මිරිස් වවන්න කියලා අදහසක් ආවා. මට අලු‍තෙන් කරන්න දෙයක් නැහැ. තේ අස්සේ පැළ කරපු ග්ලිසිරියා ගහට ගම්මිරිස් පැළ යවන එක විතරයි තියෙන්නේ. මම දැන් ඒ ක්‍රමය ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. තේ අස්සේ ගම්මිරිස් වැල් ටිකත් හොඳින් වැඩෙනවා. ගම්මිරිස් වැල් ටික හැදුණාම අමතර ආදායමක් මේ නිසා ලැබේවී. ගම්මිරිස්වලට ලැබෙන මිල මේ දවස්වල හොඳයි. ගම්මිරිස් අස්වැන්නෙන් අපිට පුළුවන් තේවලට දාපු පොහොරවල වියදම කවර් කර ගන්න.
ජීවිතය ජය ගන්නනම් වගා බිමෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුයි. ඒ නිසා තේ ඉඩම්වල ගම්මිරිස් වගාව ව්‍යාප්ත කිරීමට අදාළ බලධාරීන් ඉදිරිපත් විය යුතුයි. අපි කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා වහාම පියවර ගන්න කියලා.
පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න:-
පහත රට බිම ගම්මිරිස් වගාවට බොහෝම යෝග්‍යයි කියලා අපිට දැන් හිතෙනවා. ඒ නිසා ගම්මිරිස් වගාවට පහත රට අය යොමු කළොත් විශාල ආදායමක් ගන්න පුළුවන්. මේ දවස්වල ගම්මිරිස්වලට හොඳ මිලකුයි තියෙන්නේ. මේ මිලත් එක්ක දැන් ගම්මිරිස්  වැව්වොත් පාඩු නැහැ. අපේ තේ ඉඩම්වලත් ගම්මිරිස් වගාව ව්‍යාප්ත කිරීමට අපි පියවර ගන්නවා. තේ ඉඩම්වල ගම්මිරිස් වගාව ව්‍යාප්ත කිරීම ඉතාම පහසුයි. හැම තේ ඉඩමක වවා තියෙන ග්ලිසීරියා ගස් ඒ සඳහා ලොකු සහයෝගයක් දෙනවා. 
පහත රට තියෙන හැම තේ වත්තකම ගම්මිරිස් වැව්වොත් ඒ වගාවෙන් ලංකාවට අවශ්‍ය ගම්මිරිස් ප්‍රමාණය මෙන්ම අතිරික්තය රට පටවන්නත් පුළුවන්. එහෙම වුණොත් අපේ රටේ හෙට දවස යහපත් වේවි. ඒ සඳහා දැන් දැන්ම අදාළ බලධාරීන් වැඩපිළිවෙළවල් සකස් කළ යුතුයි. මේ ආකාරයට අපේ රට කෘෂිකර්මාන්තයෙන් ගොඩගන්න පුළුවන්. රටක් දියුණු වෙන්න නම් කෘෂි කර්මාන්තය දියුණු කිරීම අනිවාර්යම වෙනවා. ඒ සඳහා අපිට කළ හැකිදේ කුඩායි. බලධාරීන්ට කළ හැකිදේ විශාලයි.
 පහත රට ඉඩම් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී.සරත්:-
පහත රට කොච්චර තියෙනවද මොනවත්ම වගා නොකරපු ඉඩම්. ඒ වගේම තේ වවපු ඉඩම්. ඒ තේ ඉඩම්වල කොච්චර තියෙනවද ග්ලිසීරියා හිටවපු ඉඩම්. ඒ ග්ලිසීරියා ගස් ඔහේ වැඩි වැඩී තියෙනවා. මේ වගේ ග්ලිසිරියා ගහකට ගම්මිරිස් වැලක්වත් යැව්වොත් මොකද වෙන්නේ. බලධාරීන් මේවා පෙන්වා දෙන්නේ නැත්නම් අපි තේ වගාකරුවන්ට ඒක පෙන්වලා දෙන්නත් මාර්ගෝපදේශනය දෙන්නත් සූදානම්.
ගම්මිරිස් මිල ඉහළ ගියේ ගම්මිරිස් වගාවෙන් ගොවියා ඉවත්වීමට පටන් ගැනීමත් සමගයි. ඒ මිල පල්ලම් බැහැලා තිබුණ නිසයි. දැන් ගම්මිරිස්වල මිල ඉතා ඉහළයි. මේ අවස්ථාවෙන් අපි අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ගතයුතුයි. ඒ සඳහා අපි එකතු විය යුතුයි. නැත්නම් අපිට වගාවෙන් රටට දෙයක් කර ගන්න බැරි වෙනවා. ගම්මිරිස්වල මිල ඉහළයාම නිසා පහත රට ඉඩම්වල ගම්මිරිස් වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළොත් හොඳයි. තේ වතු ආශ්‍රිතව නම් තවත් හොඳයි. මේ පණිවිඩය දිය යුත්තේ රජයේ නිලධාරීන් විසිනුයි. නිලධාරීන් සූදානම් නම් ජනතාවත් ඒ සඳහා සූදානම්.

 



අදහස් (0)

තේ ඉඩමේ අමතර ආදායම් උපද්දන ගම්මිරිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site