ට්‍රම්ප්ගේ අලුත්ම හතුරා, අධ්‍යාපනය
චීනයට පැනවූ තීරුබද්ද සියයට 145ක සිට සියයට 30 දක්වා තුන් මසකට ලිහිල් කොට අලුත් තීරු බදු ප්‍රතිපත්තිය යටතේ ඔහු අතින් සිදු වන්නට ගිය විනාශකාරී දෝෂය නිවැරදි කර ගන්නට උත්සාහ දැරීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට සිය අවධානය ස්වදේශීය පස මිතුරකු වෙත යොමුකොට තිබේ. එම සතුරා පොදුවේ අධ්‍යාපනය වන අතර විශේෂයෙන් හාර්වඩ් විශ්වවිද්‍යාලය එම පසමිතුරු භාවයන්ට ඉලක්ක වී තිබේ.
රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුව හා එහි දුර්වල කාර්ය සාධනය
ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැනින් පොදුවේ අධ්‍යාපනය වෙත යොමුවී රජයේ ඒකාබද්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරියේය. ඔහු එසේ කළේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී ආදායම් පදනමට ගැලපෙන අයුරින් ෆෙඩරල් රජයේ කටයුතු පමණින් කුඩා කරන්නට ඔහු දුන් පොරොන්දුව ඉටු කිරීමක් ලෙසයි. මෙම කාර්යය කරනු ලැබුවේ අලුතෙන් පිහිටවූ රජයේ කාර්යක්ෂම කිරීමේ දෙපාර්තමේන්තු Department of Government Efficiency (DOGE) හරහාය. එහි කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ ටෙස්ලා කොම්පැමිණියේ ආයෝජක ප්‍රකෝටිපතියකු වන්නට සූදානමින් පසුවන කෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ මෙහෙයවීම යටතේය. ලෝකය පුරා පැතිර යන විදුලි වාහන භාවිතයේ ප්‍රවනතාවට මූලික වනුයේ ටෙස්ලා කොම්පැණියයි. වාර්තාවන අන්දමට මැයි මාසයේ මුල වන විට ඇමෙරිකානු ෆෙඩරල් රජය විවිධ ආණ්ඩුවලට අයත් නියෝජිත ආයතන සමග අත්සන් කළ ගිවිසුම් 9000කට වඩා (DOGE) කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් අවසන් කොට 2024 වර්ෂයේ අයවැයට සාපේක්ෂව ඩොලර් බිලියන 13ක් පමණ ඉතිරි කොට තිබේ. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී එලොන් මාස්ක් විසින් ඩොලර් ට්‍රිලියන 2ක් ඉතිරි කිරීමට දෙන ලද පොරොන්දුව සහ සසඳා බැලීමේදී මෙය සොච්චමකි.
US AID වසා දැමීම
වසා දමනු ලැබූ එක් ප්‍රමුඛතම ආයතනයක් ඔහුගේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එ.ජ.ම.ජ. ඒජන්සිය හෙවත් US AID ආයතනයයි. ඊට අදාළ කෙන්යානු ප්‍රාථමික සාක්ෂරතා වැඩසටහන සහ මලාවි රාජ්‍යයේ Next Gen වැනි මුල් ළමා වියේ කියවීම් ක්‍රියාකාරකම් ආදී ගෝලීය අධ්‍යාපන හා පුහුණු සංරචකයන් පවත්වා ගැනුනේය.
කිසිදු දැන්වීමකින් තොරව මෙම වැඩ සටහන් සියල්ලම නවතා දැමූ විට එයින් ප්‍රතිලාභ ලබන්නන් සේම ඒවායේ සේවය කළ උදවියද අසීරුවේ වැටුණෝය. මෙම හිතුවක්කාර පියවරයන් ඔස්සේ දෙනු ලබන අසුබ සංඥාව නම් අවශ්‍යතා පවතින අසරණ රටවල ජීවන තත්ත්වය නැංවීම ඉලක්ක කොට පවතින ආධාර පැකේජයත් ස්ථිරසාර ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තවදුරටත් එක්සත් ජනපද පරිපාලනය කෙරේ විශ්වාසය තැබිය නොහැකි බවත්ය.
රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ප්‍රහාර එල්ල කිරීම
ඔහුගේ පොරෝ පහරට ලක්වුණු තවත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ උපතේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පොදු අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ආවරණය කරනු ලබන ෆෙඩරල් ඒකාබද්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුවය. එහි ප්‍රධාන කාර්යභාරයන් වන්නේ,
a) අධ්‍යාපනය උදෙසා ඒකාබද්ධ මූල්‍ය ආධාර සම්බන්ධ ප්‍රතිපත්ති තහවුරු කොට පවත්වා ගැනීම සහ එම මූල්‍යාධාර බෙදාහැරීමත් ඒ පිළිබඳ පසු විපරම් කිරීමත් ය
b) ඇමරිකාවේ පාසල්වල දත්ත ඒකාරාශි කිරීම සහ පර්යේෂණ ව්‍යාප්තිය.
c) අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධාන ගැටලුවලට අදාළව ජාතික අවධානය යොමු කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා නිර්දේශ සැකසීම
d) ලිංගභේද ජාතිභේද වර්ග භේද සම්බන්ධව සිදුවන අසාධාරණකම් තහනම් කිරීම සහ අධ්‍යාපනය උදෙසා සැමට සමාන ප්‍රවේශය තහවුරු කිරීම
අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති මෙම උත්තරීතර අරමුණු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු සැලකිල්ලකින් තොරව ඉවත විසි කොට ඇත.
එ.ජ.එ.ජ. විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනවල ලකුණු
මෙම දෙපාර්තමේන්තුව යටතේ ඉහත (b) වගන්තිය යටතේ, ඇ.එ. ජනපදයේ අධ්‍යාපන විද්‍යායතනවල හා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා ඇමෙරිකානු හා විදේශ ශිෂ්‍යයන් හට ලබා දෙන මාර්ගෝපදේශ වෙනුවෙන් ලකුණු පුවරුවක් පවත්වාගෙන යනු ලැබීය. එසේම සිසුන් උදෙසා පවත්වාගෙන ගිය කාර්යාලයකින් පසුගිය කාලයේ එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් සේවා සපයනු ලැබීය. උත්ප්‍රාසයට කාරණයක් වූයේ හාර්වඩ් විශ්වවිද්‍යාලයට අදාළව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන ගිය ලකුණු පත්‍රය ට්‍රම්ප්ගේ පරිපාලනයේ ප්‍රහාරයට ලක්වීමයි. පරිපාලනය කියා සිටියේ හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන සිව් අවුරුදු වැඩ සටහන්වලට බැඳෙන සිසුන්ගෙන් සියයට 98%ක පමණ සංඛ්‍යාවක් නිසා ඔවුන්ට අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජන නිසා වසරකට සාමාන්‍යයෙන් එක් අයෙකු හේතුවෙන් ඩොලර් 16,816 ක පාඩුවක් අත්විඳින බවයි. එහෙත් උපාධිය ලැබීමෙන් අනතුරුව මෙම උපාධිධාරීන්ගේ මධ්‍යන්ය ඉපැයීම් කෙමෙන් ඩොලර් 101,817 දක්වා ඉහළ යනු ලබයි. එම නිසා අපේක්ෂා සහගත සිසුන් උසස් අධ්‍යාපනය ලැබීම පිනිස නොවරදවාම එන ස්ථානයක් බවට හාර්වඩ් විශ්වවිද්‍යාලය පත්වෙයි.
ජනපදවල සහ ස්වදේශීය ප්‍රජාව බලගැන්වීමේ පොරොන්දුව
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා හා සමාන ඇ.එ.ජ. අධ්‍යාපන ලේකම්වරිය වූ ලින්ඩා මැක්හොන්, 2026 අයවැයෙන් ට්‍රම්ප් කළ 15.3%ක අතිවිශාල අධ්‍යාපන වියදම් කම්පාදුවට හෙවත් ඩොලර් බිලියන 12ක් කපා හැරීමට පක්ෂව කතා කළාය. එ.ජා. ව්‍යවස්ථාදායකයින් ඉදිරියේ ඈ ඉදිරිපත් කළ තර්කය වූයේ එය ට්‍රම්ප් පරිපාලනයෙන් ගනු ලැබූ මූලික පියවරක් බවත් එ් අතර එයින් අධ්‍යාපනය උදෙසා රජයෙන් වැය කරන මුදල් නවතා දමන බවත්ය. එයින් පහත් මට්ටමේ ආදායම් ලාභී වරප්‍රසාද නොලත් සිසුන්ගේ පාසල් ප්‍රවේශය සඳහා වැය කළ ෆෙඩරල් අරමුදල් ඉවත් කර දැමිනි. TRIO සහ Gearup යනුවෙන් හැඳින්වූ එම සහයෝගිතා සේවාවන්ගෙන් දක්ෂ, උන්නතිකාමි සිසුන් සඳහා සහයෝගය ලබා දුනි.
එහෙත් එක්සත් ජනපද රජය මුළුමනින්ම අධ්‍යාපන කටයුතුවල නියැලීමෙන් ඉවත් වන බවක් මෙයින් අදහස් වූයේ නැත. ඇය කියා සිටියේ එම කාර්යය ජනපද රජය සහ ස්වදේශීය ප්‍රජාවන් තුළින් හැසිරවිය හැකි බවත් ස්වදේශීය අවශ්‍යතාවට අනුව අධ්‍යාපන කටයුතු ඒ මගින් ඉටු කළ හැකි බවත්ය. උදාහරණයකට යම් ස්වදේශීය ප්‍රජාවකට කෘෂිකර්මාන්තය උදෙසා අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට අවශ්‍ය වේ නම් ජනපද රාජ්‍යයට හෝ ස්වදේශීය ප්‍රජාවට එම සේවාව ෆෙඩරල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වඩා කාර්යක්ෂම ලෙස සම්පාදනය කළ හැකි වේ. එම නිසා ට්‍රම්ප්ගේ පරිපාලනයට අනුව එම තීරණය ගෙන ඇත්තේ ජනපද ආණ්ඩු සහ ස්වදේශීය ප්‍රජාව බල ගැන්වීම උදෙසාය.
ඇ.එ.ජ. අධ්‍යාපන ක්‍රමයේ දුර්වල කාර්ය සාධනය
මෙය දෝෂ සහගත තර්කයක් වනුයේ සෑම රටකටම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතු නිසාත් එය ප්‍රාන්ත රජයකින් හෝ ස්වදේශීය පාලන ආයතනයකින් පාලනය වනවාට වඩා මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය විය යුතු නිසාත්ය.
කෙසේ වුවද අවසාන වශයෙන් ඇසෙන පුවතට අනුව ෆෙඩරල් විනිශ්චයකරුවකු ට්‍රම්ප්ගේ ෆෙඩරල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ සැලැස්ම නවතා දමා ඔහු සේවාවෙන් ඉවත් කොට ඇති සෑම දෙනා නැවත සේවයේ පිහිටුවිය යුතු බවට නියම කර තිබේ. ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව තහනම් නියෝගයක් බලාපොරොත්තුවෙන් මෙම නඩුව ගොනුකොට ඇත්තේ 20කටත් වඩා වැඩි ප්‍රාන්ත (ජනපද) ආණ්ඩු විසිනි. එයින් අදහස් වන්නේ ට්‍රම්ප්ගේ නියෝගයේ ප්‍රතිලාභ ලබන්නට නියමිතව සිටි ඔවුන් තමන් වෙත පැවරූ අලුත් ක්‍රියාදාමයන් භාර ගන්නට නොකැමති බව පැහැදිලිව ප්‍රදර්ශනය කරන බවයි. මධ්‍යගතව සැලසුම් නොකළ ජාතික ප්‍රතිපත්තියකින් ඇ. එ. ජනපදයේ පොදු අධ්‍යාපනය අනාගතයේ දරුණු ලෙස පීඩාවට පත් වනු නියතය. මෙසේ සිදුවූයේ සංවර්ධිත රටවල ජාත්‍යන්තර සිසුන් ඇගයුමට ලක් කරන වැඩසටහන්වල ඇ. එ. ජනපදයට මධ්‍යස්ථ ප්‍රමාණයේ ශ්‍රේණිගත කිරීමක් පමණක් හිමිව තිබෙන පසුබිමකය. එවැනි වැඩසටහන් ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය උදෙසාවූ සංවිධානය (economic cooperation and development OECD යටතේ සිසුන් ශ්‍රේණිගත කිරීමේ PISA වැඩසටහන පවත්වාගෙන යනු ලබයි. PISA වැඩසටහන් එක්සත් ජනපදය දිගින් දිගටම ලැබුවේ චීනය හා සිංගප්පූරුවට වඩා අඩු ලකුණු ප්‍රමාණයන්ය. ඉහළ යන ආර්ථිකයක් සහිත එම රටවල් තම රටවැසියන් උදෙසා සාකල්‍යවාදී අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම ඉලක්ක කොට ප්‍රතිපත්ති පවත්වාගෙන යයි.
ඉහළ මට්ටමේ ගෝලීය කාර්ය සාධනය සමග එ.ජ.ජ. අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා සසඳා බැලීම
ඉහළ මට්ටමේ ගෝලීය කාර්ය සාධනය හා සසඳා බැලූවිට ඇමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා 2025 වසරේ මුල් කාලයේ …Adviseredu Educating බුද්ධි මණ්ඩලයෙන් හඳුනාගනු ලැබීය. මුදල් යෙදවීමේදී එක්සත් ජනපදය රඳා පවතින්නේ දේශීය බදු මතයි. එයින් අසාමානතාවයට මග පාදන අතර ඉහළ කාර්යක්ෂමතාව පවතින රටවල් මධ්‍යගත මූල්‍ය යෙදවීම් ඔස්සේ සමාන ලෙස සම්පත් බෙදා හැරීම තහවුරු කර ගනී. එක්සත් ජනපදය ඉහළින්ම පරීක්ෂණ උදෙසා රඳා පවතින අතර ඉහළ කාර්ය සාධනය පවත්වා ගන්නා රටවල් විචාරාත්මක චින්තනය හා ගැටලු නිරාකරණය කෙරේ. අධ්‍යාපනය යොමු කරයි. එ. ජනපදයේ ගුරු සහයෝගිතා ක්‍රමය ජනපදයෙන් ජනපදයට අනුව වෙනස් වන නිසා එහි අඛණ්ඩව නොවෙන්ව පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් නැත. ඉහළ කාර්ය සාධනය ඇති රටවල ඉතා විස්තීර්ණ වූ ගුරුවරයා සූදානම් කිරීමේ වැඩසටහන හා ගුරු උපදේශකත්වයන් පවතී.
සිසුන්ට දැනුම ලබාදීම සඳහා ඇ.එ. ජනපදය දීර්ඝ පාසල් පෑ ගණන් කෙරේ, විශ්වාසය තබයි. කාර්ය සාධනය ඉහළ රටවල පාසලේ ගත කරන පැය ගණන කෙටි වන අතර පන්ති කාමරවලින් පිටත ක්‍රියාකාරකම් හා නිර්මානාත්මක බව කෙරේ අවධානය යොමු කෙරේ. එක්සත් ජනපදයේ පාසල් ක්‍රියාකාරකම් පදනම් වී ඇත්තේ විවිධාකාර තෝරාගත් පරීක්ෂණයන් මත වන අතර ඉහළ කාර්ය සාධනය පෙන්වන රටවල එය සාකල්‍ය වූ ශිෂ්‍ය කේන්ද්‍රගත අධ්‍යාපන ප්‍රවේශයකි. එබැවින් අවශ්‍ය වනුයේ ෆෙඩරල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීම නොව ඉදිරියේදී වෙනස්වන ගෝලීය ප්‍රමිතින්ට හා ක්‍රමයන්ට අනුරූප වන පරිදි එය ප්‍රතිසංස්කරණය කිරීමයි.
දැනුම් පදනම ගොඩනැගීමේදී එක්සත් ජනපදය මන්දගාමී වෙමින් පවතී.
මේ ආකාරයට ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් මධ්‍යගත මෙහෙයවීමකින් තොරව ක්‍රියාත්මක කර ඇති වර්තමාන පොදු අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හරවා ඇ. එ. ජනපද තවත් පසු පසට තල්ලු කරනු ලබයි. ඉහළ මතු වෙමින් පවතින ගෝලීය දැනුම් ආර්ථික ක්‍රමයේ ඉගෙනීම හා ඥානය අත්පත් කර ගැනීම මූලික කාරණයන් වන බැවින් එක් පැත්තකින් ඇ.එ. ජනපදය ගෝලීය අධ්‍යාපනයේ ප්‍රමුඛයකු වනවාට වඩා පසුගාමී වන්නකු බවට පත්වන අතර අනෙක් අතට ගෝලීය සමෘද්ධිමත්භාවය බෙදා හදා ගැනීමේදී ද මන්දගාමී වන්නේය. MAGA යනුවෙන් කෙටියෙන් පවසන ඇමරිකාව නැවත විශිෂ්ටත්වයට පත් කිරීම (Making America Great Again) කෙරේ විශ්වාසය තබන ඇමරිකානුවන් හට එය සුබ පණිවිඩයක් නම් නොවන්නේය. යම් රටක් විශිෂ්ටත්වයට පත් කරනුයේ වසර සියයකට පෙර ඔස්ට්‍රියානු ඇමෙරිකානු ආර්ථික විශේෂඥ ජෝසෆ් ෂූම්පීටර් කී ආකාරයට සෙසු ලෝකයේ නවෝත්පාදනයන් නවීකරණයෙන් ඉගෙනුම් හා අලුත් ක්‍රමයට හැඩගැසීම සමග එම රටේ ජනතාවගේ තරග කිරීමේ හැකියාව විසිනි. අඩපනව ගිය අධ්‍යාපන ක්‍රමයකින් යම් රටක් එම තත්ත්වයට පත්වීමේ හැකියාව ලබන්නේ නැත. ඇමරිකානු ෆෙඩරල් රජය, අධ්‍යාපනයේ මූලික ගැටලු කෙරේ අවධානය යොමු කිරීම හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා නිර්දේශයන් කිරීමෙන් ස්වෙච්ඡාවෙන්ම ඉවත්වී එහි අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමන විට සිදු වන්නේ නැවත කිසිවිට නිවැරදි කළ නොහැකි වරදකි. එහි අහිතකර ප්‍රතිඵල ඇමරිකාවනුවන්ට වසර කිහිපයක් යනතුරුම අත්විඳින්නට සිදුවනු ඇත.
රිපබ්ලිකන්වරුන් හාර්වඩ් විශ්වවිද්‍යාලයට ප්‍රහාර එල්ල කිරීම
රිපබ්ලිකන්වරුන් හාර්වඩ් විශ්වවිද්‍යාලයට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ ට්‍රම්ප්ගේ දෙවැනි නිල කාලයේ නොවේ. එය 2023 දෙසැම්බර් මාසයේ පටන් ආරම්භ කළ ප්‍රහාරයකි. එම මාසයේදී ඊට මාස දෙකකට පෙර දකුණු ඊශ්‍රායලයට ප්‍රකෝපකිරීමෙන් තොරව පලස්තීනුවන් එල්ල කළ ප්‍රහාරයකට එකටෙක කිරීමක් ලෙස ඊශ්‍රායලය පලස්තීනයට ප්‍රහාර එල්ලකොට තිබිණි. එහිදී ගාසා තීරයේ අතිවිශාල සංඛ්‍යාවක් මියයාම නිසා හාර්වඩ් විශ්වවිද්‍යාලය ඇතුළුව එක්සත් ජනපද විශ්වවිද්‍යාලවල ඊශ්‍රායල විරෝධී උද්ඝෝෂණ හට ගත්තේය. එය හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කළ එකක් නොවේ. මෙය සිදුවූයේ ට්‍රම්ප් සිය මැතිවරණ සටනේ යෙදෙමින් පලස්තීන හිතවාදී විරෝධයන් බිඳ දමන්නට ප්‍රතිඥා දෙන පසුබිමකය. එසේම විවිධත්වය සමානාත්මතාව හා අන්තර්ගත කිරීම යන ගුණාංග අඩංගු DEI වැඩසටහන සහ විශ්වවිද්‍යාල මණ්ඩපවල ජනවාර්ගික අගතින් ඉලක්ක කරගත් හා අසාධාරණකම් පිළිබඳව ජනයා දැනුවත් කිරීම woke ideology වැනි වැඩසටහන්ද බිඳ හැරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දෙමින් සිටියේය.
සිය මැතිවරණ පොරොන්දු ඉටු කරමින් රාජ්‍ය ආයතනයන්ට විශ්වවිද්‍යාල හා විද්‍යාලවල සියලුම DEI වැඩසටහන් ප්‍රබල අයුරින් පාලනය කිරීමට නියෝග කරන විධායක නියෝග පෙළකටම ට්‍රම්ප් අත්සන් තැබුවේය. ඉන් අනතුරුව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පාසල් හා විශ්වවිද්‍යාල යුදෙව් විරෝධී සැමිටික් විරෝධී හිරිහැර මුලිනුදුරා දැමීමට කාර්ය සාධන බළකායක් පත් කරනු ලැබීය. එම කාර්ය සාධන බළකාය හාර්වඩ් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල 10කට පිවිසී විධායක නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
හාර්වඩ් විශ්වවිද්‍යාලය වෙතින් පිළිගත නොහැකි ඉල්ලීම්
ට්‍රම්ප් පරිපාලනය හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් ඉටු කළ නොහැකි ඉල්ලීම් පෙළක්ම එක දිගට ඉල්ලා තිබේ. එහි සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ බලය අඩුකර දමන ලෙසත් පරිපාලන පිළිවෙත් ප්‍රතිසංස්කරණය කරන ලෙසත් ඇමරිකානු හරපද්ධතීන් හා සංස්ථාපිතයන්ට සතුරු ලෙස සැළකෙන සිසුන් ඇතුළත් කර ගැනීමෙන් වැළකෙන ලෙසත් ඉල්ලා තිබේ. ඒ අතර ඉහත කී SEI වැඩසටහන් අහෝසි කිරීම, ඇතැම් අධ්‍යයන වැඩසටහන් විගණණය කිරීම, මැද පෙරදිග සම්බන්ධ මධ්‍යස්ථාන විගණන කිරීමද කළයුතු බවට ඉල්ලා තිබේ. විශ්වවිද්‍යාලය විසින් මේවා ඉටු නොකළ විට එ.ජනපද රජය හාර්වඩ් වැඩසටහන්වලට කළ වියදම්වලට සාධාරණය ඉටුවන අයුරින් බුද්ධිමය සහ සිවිල් අයිතිවාසිකම් තත්ත්වයන් පවත්වා ගැනීමට අසමත්වී ඇති බව 2025 අප්‍රේල් මාසයේදී නිල වශයෙන් දැනුම්දී ඇත.
මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් හාර්වඩ් විශ්වවිද්‍යාලය, ට්‍රම්ප් පරිපාලනයට විශ්වවිද්‍යාලය එහි ස්වාධීනත්වය, පාවා නොදෙන බවත් එහි ව්‍යවස්ථාමය අයිතීන් අත්හැර නොදමන බවත් ලිඛිතව දන්වා ඇත. මේ ආකාරයට ඇ.එ. ජනපදයේ සර්ව බලධාරී ජනාධිපතිවරයාත් එහි ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනත් අතරත් විවෘත එදිරිවාදිකම් පැන නැගී තිබේ. ස්වභාවිකව ට්‍රම්ප් හට සටනින් පරිදින්නට ඕනෑ නැති නිසා ඔහු හාර්වඩ් විශ්වවිද්‍යාලයට දඬුවම් දෙන්නට පියවර කිහිපයක්ම ගත්තේය.
පර්යේෂණ අරමුදල් අත්හිටුවීම
ඉන් එක් පියවරක් වන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඩොලර් බිලියන 2.2 වූ පර්යේෂණ අරමුදල් ඇතුළු අරමුදල් අත්හිටුවීමය. ඊට අමතරව විශ්වවිද්‍යාලයක් ලෙස බදු ගෙවීමෙන් වියුක්තව සිටීමට ඇති හිමිකම හාර්වඩ් විශ්වවිද්‍යාලයට අහිමිවේය යන්නත් දේශපාලන ආයතනයක් ලෙස ඊට බදු ගෙවන්නට සිදුවේය යන අදහසත් ට්‍රම්ප් ඇඟවූයේය. කරුණු හෙළිදරව් වන ආකාරයට හාර්වඩ් පරිපාලනය දණගැස්ස වීමට කළ හැකි හැම දෙයක්ම ට්‍රම්ප් පරිපාලනය කරන බව පැහැදිලි විය. එම නිසා සිය අයිතීන් ආරක්ෂා කර ගැනීමට හාර්වඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනය අධිකරණය වෙත ගෙන ගියේ හිතුවක්කාර ලෙස අරමුදල් කපා හරිමින් එක්සත් ජනපද ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනා කරමිනි.
විදේශ සිසුන් ඇතුළත් කර ගැනීම අවලංගු කිරීම
මෙම නඩුවේ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටියදී ට්‍රම්ප් පරිපාලනය හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් හා අමුත්තන් හුවමාරු කිරීමේ වැඩසටහන අවලංගු කරමින් ප්‍රතිචාර දැක්වූයේය. එසේ නවක විදේශ සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් දැනට සිටිනා විදේශ සිසුන්ගෙන් තම අධ්‍යාපනයන් නොකඩවා කරගෙන යන්නට කැමති නම් වෙනත් විශ්වවිද්‍යාලවලට මාරු වන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රචණ්ඩත්වය පෝෂණය කරන බවටත් යුදෙව් විරෝධය පවත්වා ගනිමින් තම විශ්වවිද්‍යාල මණ්ඩපවල චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධතා පවත්වා ගෙන යන බවටත් හාර්වඩ් විශ්වවිද්‍යාලයට චෝදනා එල්ල කරනු ලැබීය. විදේශ සිසුන් ඇතුළත් කර ගැනීම විශ්වවිද්‍යාලයේ අයිතියක් නොව වරප්‍රසාදයක් පමණක් බව කියමින් නියෝග නිකුත් කරනු ලැබුවේය. තනි විශ්වවිද්‍යාලයකට එය වරප්‍රසාදයක් විය හැකි මුත් ඇමරිකානු ජාතියට එය අයිතියකි. මන්දයත් එයින් වටිනා විදේශ විනිමය උපයා ගැනීමට රටට හැකිවන බැවිනි.
විදේශ සිසුන්ගෙන් අය කර ගන්නා ගාස්තුවලින් විශ්වවිද්‍යාල වාසි ලබන බව එම නියෝගවලින් තවදුරටත් කියා සිටී. එය පැහැදිලි ලෙසම සනාථ කළ නොහැකි තර්කයකි. හාර්වඩ් විශ්වවිද්‍යාලයට එරෙහිව ගෙන ඇති දණ්ඩනීය පියවර ඇ.එ. ජනපදයේ අනෙකුත් සියලු විශ්වවිද්‍යාලවලට අනතුරු හැඟවීමක් බවට ට්‍රම්ප් පරිපාලනය තරයේ අවවාද කර ඇත. වාර්ෂිකව එ. ජනපද විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන හා විද්‍යායතන තෝරාගෙන අධ්‍යයන ගාස්තු ගෙවා දමන මිලියනයකටත් වඩා සිසුනට මෙය අදාළ වේ. 2024 අවුරුද්දේ දත්තවලට අනුව මෙම විදෙස් සිසුන් අධ්‍යයන ගාස්තු ගෙවමින් හා වෙනත් වියදම් දරමින් එ.ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 44ට වැඩි මුදලකින් දායකවී තිබේ.
එ. ජනපද ගෙවුම් ශේෂයට එක්වන මෙම දායකත්වය අමතක කර දැමීම උදෙසා ට්‍රම්ප් පරිපාලනය එම හිලව්වට සේවා ආදායම් නැංවීම යොදා ගැනීමට රිසි වන සෙයක් පෙනී යයි.
ට්‍රම්ප්ගේ පියවර අධිකරණයෙන් නවතාලීම
මෙම නියෝගයට එසැනින්ම හාර්වඩ් විශ්වවිද්‍යාල අභියෝග කළේ, එය ක්‍රියාත්මක කිරීම අවහිර වන්නට අධිකරණයෙන් තාවකාලික වැළැක්වීමේ ආඥාවක් ඉල්ලා සිටිමිනි. හාර්වඩ් විශ්වවිද්‍යාල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ගොනු කළ මෙම නඩු දෙකේම තීන්දුව ඉදිරියේදී දීමට නියමිතය. එම තීන්දු දුන් විට ඒවා රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට එරෙහිවූ දුෂ්ඨ පාලනයේ හා බලාධිකාරිවාදයේ ක්‍රියාවන් සම්බන්ධ ව්‍යවස්ථාපිත නීතියේ සන්ධිස්ථානයක් සලකුණු කරන තීන්දු බවට පත්වේ.
ඇ.එ. ජනපදයේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයක් වනසා දැමීම
හාර්වඩ් විශ්වවිද්‍යාලය යනු ඇ.එ. ජනපද ජනාධිපතිවරුන්, දුසිම් ගණනින්, විදේශ රාජ්‍ය ප්‍රධානීන් නොබෙල් ත්‍යාගලාභීන්, ලෝක පූජිත විද්වතුන්, බිහිකළ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයකි. ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට අදාළ විශ්වවිද්‍යාල 5 අතරට එක් වෙමින් එය කීර්තියත් ගෞරවයත් ඇ. එ. වෙත ගෙන එයි. අඛණ්ඩව දැනුම එක්කරනු ලබන එය ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. 2004 සහ 2018 අතර කාලයේ එ. ජනපදයේ පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ කී්ර්ති නාම දරන පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර මිලියන 4.5කට වඩා ඉදිරිපත් කරමින් එහි නවෝත්පාදන ජීවගුණය එයින් ප්‍රදර්ශන කර තිබේ. පෞද්ගලික වෛර පිරිමසන්නට එවැනි උත්කෘෂ්ඨ අධ්‍යාපන ආයතනයක් මරා දැමීමෙන් කිසිදු යහපතක් ඇමරිකාවට සිදුවන්නේ නැත. ඇමෙරිකාව නැවත විශිෂ්ටත්වයට පත් කිරීමේ අරමුණ මුදුන්පත් කර ගන්නට නම් කළ යුත්තේ හාර්වඩ් විශ්වවිද්‍යාලය ආරක්ෂාකොට ප්‍රවර්ධනය කරනු විනා ඊට ඇදහිය නොහැකි චෝදනා එල්ල කොට එය වනසා දැමීම නොවේ.
අධ්‍යයන වැඩසටහන් උදෙසා විශ්වවිද්‍යාලයට බැඳෙන සිසුවකුට බාධාවකින් තොරව එම කාර්ය නියමිත කාලය තුළ සම්පූර්ණ කළ හැකි වන බවට සහතිකයක් දිය යුතුය. සිසුහු අවිනිශ්චිත ඉරණමට පාත්‍ර කරවන ඇමරිකානු රජය ගන්නා පියවර නිසා තම අධ්‍යයන කාර්ය උදෙසා ඇ. එ. ජනපදය තෝරා නොගන්නට ඉඩ තිබේ. මේ නිසා කැනඩාව එ. රාජධානිය, ඔස්ට්‍රේලියාව, රුසියාව හා මේ වනවිට චීනය ප්‍රතිලාභ ලබන්නට ඉඩ තිබේ. ඇ.එ. ජනපදයට දැන් අධ්‍යයන වෙළඳපොළ අහිමි වුවහොත් නැවත අනාගතයේ එය නැවත ගොඩ නගා ගන්නට ඊට නොහැකි වන්නට ඉඩ තිබේ. එම නිසා දැනට තාවකාලිකව නිවැරදි දේ ලෙස පෙනෙන කාරණා මත නොරැඳී මධ්‍යම කාලය හා දීර්ඝ කාලය සලකා තීරණ ගැනීම වගකීම එජ මත පැවරී ඇත.
මේ ආකාරයට ට්‍රම්ප් පරිපාලනයෙන් ඉගෙනුමට සහ …ඥානය ඒකරාශිකරණයට ඒකරාශිකරණයට එල්ල කරන හිරිහැර ඇමරිකානු ආර්ථිකයේ අනාගත සමෘද්ධිමත් බවට කිසිවිට හේතු වන බවට පෙරනිමිති පහළ නොවන්නේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප්ගේ අධ්‍යාපන ප්‍රහාරය