ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගත හැකි සුවිශේෂී ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, බ්‍රවුන්ස් සහ සමාගම සමගින් අත්වැල් බැඳගෙන ඇත. මෙරට කෘෂි ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කරමින් දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම මෙහි මූලික අරමුණයි.

මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයන්ට TAFE ට්‍රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්‍ර (Combine Harvesters) මෙන්ම  ස්වයංක්‍රීය වී මෝල් යන්ත්‍රෝපකරණ ඉතා සහනදායී ලීසිං ක්‍රමවේද යටතේ ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කිරීමෙහිලා දිගුකාලයක් පාරිභෝගික විශ්වාසය දිනා සිටින බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර්, TAFE, Yanmar සහ Browns Sumo වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් මෙරටට හඳුන්වා දී ඇත.

මෙම ලීසිං ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයන්ට ඉතා සහනදායී පොලී අනුපාත හිමිවන අතර, HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් හරහා විශේෂ රක්ෂණ වාරික පහසුකම් ද පිරිනැමේ. මීට අමතරව, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කරන ලදHNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද පාරිභෝගිකයන් වෙත නොමිලේ හිමි වේ.

තවද TAFE ට්‍රැක්ටර් මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා වසර දෙකක හෝ පැය 2,000ක වගකීමක් සහ නොමිලේ කෙරෙන සේවා වාර හතරක් හිමිවන අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ලියාපදිංචිය ද නොමිලේ සිදුකර දෙනු ඇත. එමෙන්ම තෝරාගත් TAFE 45DI, TAFE 7250 සහ TAFE 2WD  ට්‍රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය බ්‍රවුන්ස් සමාගම විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා මෙසේ සඳහන් කළේය.

“මෙරට ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා ගොවි ජනතාව ඉටුකරන සුවිශේෂී කාර්යභාරය අප මැනවින් වටහාගෙන තිබෙනවා. 
බ්‍රවුන්ස් සමාගම සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ගොවීන්ට තමන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ වඩාත් පහසු ලීසිං ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම HNB හි අරමුණයි.” 

මේ පිළිබඳව බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක මහතා මෙසේ පැවසුවේය.

“මෙරට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රමුඛතම ආයතන දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම සුවිශේෂී සන්ධිස්ථානයක්. 

උසස් තත්වයේ විශ්වසනීය යන්ත්‍රෝපකරණ සමගින් ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සහ අලෙවියෙන් පසු සේවා ප්‍රතිලාභ එකම වහලක් යටින් ලබා දීමෙන්, කෘෂි යාන්ත්‍රීකරණය මෙරට ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයන්ට ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ළඟා කරගත හැකි තේරීමක් බවට පත්කිරීම අපගේ අරමුණයි.”