අපේ රටෙන් මැණික් ගල් ගෙනිහිල්ලා තායිලන්තයේ මේ කර්මාන්තය බබළන විට අපේ රටේ මේ කර්මාන්තය වළපල්ලට යනවා
මෙරට ස්වර්ණාභරණ නිෂ්පාදන අපනයනය කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
එදා ගාලු දිසාවම බැබල වූ ග්‍රාමීය කර්මාන්ත අතර ඉදිරියෙන් සිටි ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය අද තිබෙනුයේ අසීරු අඩියක බව එම කර්මාන්තයේ නියුත්තෝ කියති.
මේ කර්මාන්තය ගාල්ල, ගිංතොට, කලේගාන, වතුගෙදර හා සීනිගොඩ ආදී ප්‍රදේශවල බහුලව සිදු කෙරිණ. එදා මේ ප්‍රදේශවල ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ජයටම කෙරීගෙන ගියේය. එම කර්මාන්තයේ නියුතු වූවෝ කාටවත් අතනොපා ජීවත් වූහ. එදා එවන් ප්‍රශස්ත මට්ටමක තිබූ ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය අද ගාලු දිසාවෙන්ම තුරන්ව යන තත්වයක පවතී. එම කර්මාන්තය යම් තාක්දුරට හෝ ගාලු දිසාවේ තවමත් රැඳී ඇත්තේ ඉතා සුළු පිරිසක් නිසාවෙනි. මේ ඔවුන්ගේ කතාවය.
පුෂ්කුමාර නාඔටුන්න මහතා: මේ කර්මාන්තය රට බබළවන්න පුළුවන් කර්මාන්තයක් මේක. එක මැණික් ගලක්වත් නැති තායිලන්තය ස්වර්ණාභරණ නිෂ්පාදනයෙන් කප් ගහලා තියෙන්නේ. තායිලන්තය ඒ කර්මාන්තයෙන් කප් එක ගහන්නේ අපේ රටෙන් මැණික් ගල් ගෙනිහිල්ලා. අපේ රටෙන් මැණික් ගල් ගෙනිහිල්ලා තායිලන්තයේ මේ කර්මාන්තය බබළන විට මැණික් ගල් තියෙන අපේ රටේ මේ කර්මාන්තය වළපල්ලට යනවා. වරද කාගේද? මේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ අපි තුන් හතර දෙනෙක් අතේ. තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකම ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ඉතා සරුවට කෙරීගෙන යනවා. ඒ රටවලට ලොකු විදේශ විනිමයක් මේ කර්මාන්තයෙන් ලැබෙනවා. අපේ පාෂාණ ආනයනය කර ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන තායිලන්තය ඇතුළු රටවල් අපිටම ඒවා ආපනයනය කරනවා.
අපේ රටට අවශ්‍ය ස්වර්ණාභරණ අපිටම හදාගන්න බැරි ඇයි කියන කාරණාව බරපතළ ප්‍රශ්නයක්. අපේ රටට විතරක් නෙමෙයි, අපෙන් පිට රටවලටත් ස්වර්ණාභරණ දෙන්න ඒවා නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. එහෙම කළොත් අපේ රටට ලොකු විදේශ විනිමයක් ගන්න පුළුවන්. අවශ්‍ය අදාළ බලධාරීන්ගේ අවධානයයි. කැපවීමයි. මග පෙන්වීමයි. ඒ සඳහා නවීණ තාක්ෂණය අපිට ලබාදෙන්න වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. අපේ නිෂ්පාදනවල ඇති ගුණාත්මක තත්වය මුළු ලෝකයාටම හඬගා කියා ඒ රටවලට අපේ ස්වර්ණාභරණ නිෂ්පාදන අපනයනය කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.
රවී තේනුවර මහතා : අපේ පරම්පරාවෙන් තමයි මේ කර්මාන්තය මට උරුම වුණේ. මම මේ කර්මාන්තයෙන් බැබැලුනා. ඒ නිසාම එදා මම ළඟ සේවකයන් විස්සක් වැඩ කළා. ඒ හැමකෙනාටම මම ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය හොඳට ඉගැන්නුවා. මේ කර්මාන්තයේ බිඳ වැටීම කොතෙක්ද කියලා කිව්වොත් අද මා ළඟ එක සේවකයෙක්වත් නැහැ. ඔවුන් මේ රැකියාව අතහැර දාලා වෙන රැකියාවලට ගිහිල්ලා.
එදා මම අපේ නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට කිලෝග්‍රෑම් භාගයක රන් ආභරණ නිෂ්පාදනය කළා. ඒ තරමටම එදා අපිට වැඩ තිබුණා. වැඩ තිබුණු නිසා රැකියා අවස්ථාවලුත් වැඩි වුණා. අද අපේ කර්මාන්තය පිටරැටියන් අල්ලගෙන. ඔවුන් හොඳ ආදායමක් ඔවුන්ගේ රටට අරගන්නවා. අපේ කර්මාන්තය දිනෙන් දිනම වළපල්ලට යනවා.
ඉන්දික දිලිප් මහතා : එදා මේ කර්මාන්තයෙන් අපි හොඳට හම්බ කළා. පස්සෙ පස්සේ පිට රටවලින් බාල ස්වර්ණාභරණ ලංකාවට ගෙන්වන්න පටන් ගත්තා. ඒ එක්කම අපේ කර්මාන්තයට කණ කොකා හඬන්න පටන් ගත්තා. වැඩ අඩු වුණා. වෙළඳාම අඩු වුණා. මම කර්මාන්තය අතහැරලා දාලා රට ගියා. මේ කර්මාන්තය වැටෙන කොට අපිට වෙන කරන්න දෙයක් නැතිව ගියා. යම් කෙනෙක් මේ කර්මාන්තයට ආයෙත් පණ දෙනවා නම් අපිත් සූදානම් ඒ වෙනුවෙන් පෙරට එන්න. නැත්නම් තව ටික කාලයකින්ම මේ කර්මාන්තය අපේ ප්‍රදේශයෙන් විතරක් නෙමෙයි ලංකාවෙන්ම තුරන් වෙලා යාවී.
අරුණ තේනුවර මහතා : ගාලු දිසාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තය දැන් තියෙන්නේ අනතුරුදායක තැනක. අපේ පරම්පරාවෙන් පස්සේ මේ කර්මාන්තය නැති වෙලා යනවා සිකුරුයි. මේ කර්මාන්තයට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණම නිසා තරුණ පරපුර මේ කර්මාන්තයට එන්නේ නැහැ. බංකොලොත් වෙන කර්මාන්තයකට අතදාන්න දැන් හැදෙන පරම්පරාව කැමැති නැහැ. අපේ කර්මාන්තයට බැංකුවකින් ණය මුදලක්වත් දෙන්නේ නැහැ. ණය මුදලක් දෙන්නේ නැතිව කොහොමද මේ කර්මාන්තයට අවශ්‍ය මැෂිමක්වත් ගන්නේ. මේ නිසා අපේ කර්මාන්තය දිනෙන් දිනම පරිහානිය කරා යනවා.
එල්. බී. විජිත මහතා: ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරා ගණනක් ආපු කර්මාන්තයක්. එහෙත් අපේ පරම්පරාවෙන් පස්සේ මේක භාර ගන්න පරම්පරාවක් නැතිවීම ඉතාම කණගාටුදායකයි. මේ කර්මාන්තයෙන් ලෝකයේ ඉදිරියෙන්ම හිටියේ අපි. අදාළ බලධාරීන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කර්මාන්තය වළපල්ලටම ඇඳගෙන ගිහින්. වැටිච්ච මේ කර්මාන්තය නැගිට්ටුවන්න තවත් කල් තියෙනවා. අපේ රටේ බලධාරීන්, නිලධාරීන් මේ කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය අපිට හඳුන්වලා දුන්නේ නැහැ. පැරණි තාක්ෂණයටයි අපි තවමත් වැඩ.
ජනතාවට ඕන හොඳ බඩු නෙමෙයි බාල බඩු වුණත් ඉතා අඩු මිලටයි. අපිට හරි දේ වෙනවා නම් ලෝකයේ ස්වරණාභරණ නිෂ්පාදනයත් එක්ක හැප්පෙන්න අපට පුළුවන්. දැනටමත් අපි බැරි බැරි ගාතේ සටනක් දෙනවා මේ කර්මාන්තය රැක ගන්න. මේ යන ගමනත් එක්ක අපිට එය කරගන්න පුළුවන් වේවි දැයි සැක සහිතයි.
COMMENTS