කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කටුපොල් වගාව පිළිබඳව කතන්දර දෙකක් තිබේ. එකක් මේ වගාව ලංකාවට යෝග්‍ය බවය. අනෙක කටුපොල් වගාව ලංකාවට යෝග්‍ය වගාවක් නොවන බවය. කෙසේ නමුත් දැන් කටුපොල් වගා කිරීම නීතියෙන් තහනම් කර ඇත. එහෙත් දැන් පහත රට නැවතත් කටුපොල් වගාව පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් තිබේ. ඒ ඇතැම් වතු සමාගම් කටුපොල් වගාව කරන්නේ යයි චෝදනාව මතුවීමත් සමගමය.
දිනෙන් දිනම පාඩු පිට පාඩු ලබන වතු කර්මාන්තය අනිවාර්යයෙන්ම ලාබ ලබන තත්වයට පත්කළ හැක්කේ කටුපොල් වගාවෙන් බව එම වගාවේ නිරත පිරිස් කියති. නොඑසේනම් වතු කර්මාන්තයේ මළගම හෙට අනිද්දා විය හැකි බැව් ඔවුහු කියති. කටුපොල් වගාවෙන් කිසිදු පරිසර දූෂණයක් හෝ ජල මූලාශ සිදීමක් සිදු නොවන බව තමන් කරන ලද පරීක්ෂණවලින් ඔප්පුවී ඇති බව කටුපොල් වගා කර ඇති වතු සමාගම්වල අය කියති. කටුපොල් වගාව ලංකාවට යෝග්‍ය නොවන බවට පවතින දුර්මතය නිසාම ලංකාවටම ආර්ථික වාසියක් ගැනීමට තිබෙන හොඳම අවස්ථාව කිසිදු පදනමක් නැතිව අහිමිව ගොස් ඇති බවද ඔවුහු කියති.
කටුපොල් වගාව ලංකාවටම විශේෂයෙන්ම පහත රටට බිල්ලෙක් බව එම වගාවට විරෝධය දක්වන පිරිස් කියති. මේ වගාව නිසා මේ වනවිට පහත රට වගා රැසක්ම විනාශවූ බව පහත රට වතු වෘත්තීය සංගම්වල අය කියති. මේ නිසාම මේ වගාව නැවත පහත රට ව්‍යාප්ත කිරීමට ඉඩ නොදෙන බව ද ඔවුහු කියති. එහෙත් ප්‍රශ්නය එය නම් නොවේ.
කිසිදු පරිසර හානියක් නොමැතිනම් මේ වගාවෙන් රට ගොඩ දා ගත හැකිනම් වැසීගෙන යන වතු සහ එහි සේවකයන් සුරක්ෂිත වේනම් මේ වගාව ස්ථාපිත කිරීමේ වරද කුමක්ද. එහෙත් කටු පොල් වගාවෙන් අපේ රටේ මහා පරිසර දූෂණයක් සිදුවේනම් එම වගාව තහනම් කිරීම පිළිබඳව විවාදයක් අනවශ්‍යය. රට ආර්ථික අතින් ගොඩ ඒමට උත්සාහ ගන්නා අවස්ථාවකදී කටුපොල් වගාව පිළිබඳව සත්‍ය හඬ නගා කීම වගකිව යුත්තන්ගේ වගකීමකි.
අපේ රටේ වගාව අතහැර ඇති ඉඩම් බොහෝ තිබේ. එමෙන්ම ඊට නොදෙවැනි ආකාරයට මොනම වගාවක්වත් කර නැති ඉඩම්ද ඇත. මේ අවස්ථා දෙකම රටට බරක්ය. කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අපේ රටේ මුඩු ඉඩම් සහ වගා නොකරන ඉඩම්,වගාව අතහැර ඇති ඉඩම් තිබිය නොහැක. මේ සියලුම ඉඩම්වල සාර්ථකව වගා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය රටටය. එහෙත් එය ලංකාවේ පරිසර තුල්‍යතාවට අහිතක් වන වගාවක් නොවිය යුතුමය.
පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ: කටු පොල් වගාව තහනම් කරලයි තියෙන්නේ. එහෙම තියෙද්දිත් පහත රට ඇතැම් වතු සමාගම් කටුපොල් වගාව පටන් අරගෙන. වතු සමාගම් මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා කටුපොල් තහනම ඉවත් කරවා ගැනීමට. රජයේ අදාළ බලධාරීන් එක්ක ඔවුන් සාකච්ඡා පවත්වලා තියෙනවා කියලයි ආරංචි.
ගැසට්වලින් තහනම් කරලා තියෙන කටුපොල් වගාව යළි ස්ථාපිත කිරීමේ බලය තමන්ට ලැබේවේවී යයි වතු සමාගම්වල අය ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. පරිසරයට හානිදායක කටුපොල් වගාව තහනම් කළේ සංගමයක් විදිහට අපි සටන් කරලයි. මේ වගාව ආයෙත් පටන් ගත්තොත් අපි එයටත් විරෝධය දක්වනවා.
පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න: ගැසට් මගින් මේ වගාව තහනම් කරලා තියෙන්නේ හේතුවක් ඇතිවනේ. තහනම් කර ඇති දෙයක් කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්. එහෙනම් කටුපොල් පැළ මේ කාලයේ සිටුවීම නීතිවිරෝධියි. පේන විදිහට තහනම් කර ඇති මේ වගාවට රජයත් හීන් නූලේ සහයෝගය දෙනව කියලයි අපිට හිතෙන්නේ. තහනම් කටුපොල් වගාව සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් විදිහට අපි ඉන්නේ ඉතාම අවදියෙන්. මේ වගාවෙන් ලාබ ලැබෙනවා ඇති. ඒත් පරිසරය විනාශ වෙනවනම් මොකටද ඒ වගාව. අපි රජයට කියනවා මේ සඳහා අවසර දෙන්න හදනවා නම් ඒ යෝජනා දැන්මම අකුල ගන්න කියලා.
පහත රට කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති රුවන්ත කොඩිතුවක්කු: අපේ පහත රට තේ ඉඩම් විශාල ප්‍රමාණයක් නැතිවුණා මේ කටුපොල් වගාව නිසා. අධික ලාබයක් ලැබීමේ පටු පරමාර්ථය නිසා සශ්‍රීක තේ ඉඩම් කොච්චර නැතිවුණාද. අපි රජයෙන් ඉල්ලන්නේ මේ තහනම් වගාව යළිත් ගේන්න හදලා නැති ප්‍රශ්න හදා ගන්න එපා කියලයි.
වතුවලින් ලාබ ගන්න මොනතරම් වැඩ කරන්න පුළුවන්ද. කටුපොල් වගාව විතරද කරන්න පුළුවන්. පරිසරයට හානියක් නැති ලාබ ගන්න පුළුවන් වගා තව කොච්චර තියෙනවද. ඒ එකක්වත් ක්‍රියාත්මක නොකර වතු සමාගම් ඇයි මේ කටුපොල් වගාවට විතරක් මෙහෙම නහින්නේ.
සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් පියන්ත: කුරුඳු කර්මාන්තයටත් කණ කොකා හැඩුවේ මේ කටුපොල් වගාව නිසයි. කුරුඳු ගලවලා වතු සමාගම්වල උදවිය ඒවායේ කටුපොල් ඉන්දුවා. ඒකෙන් අපේ පැතිවල කුරුඳු ඉඩම් අඩුවුණා. මේ කටුපොල් වගාවෙන් වාසි වතු සමාගම්වලට විතරයි. එම වගාවෙන් සේවකයන් ඉතාම සුළු පිරිසකටයි ප්‍රයෝජනය තියෙන්නේ.
පහත රට ඉඩම් හිමියන්ගේ සංගමයේ සභාපති කේ. පී. සරත්: මේ වගාවෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. සාමාන්‍ය ජනයාට එයින් ලැබෙන සුගතියක් නැහැ. තේ කුරුඳු වගාවට ඇයි මේ වතු සමාගම්වල අය යොමු වෙන්නේ නැත්තේ. කටුපොල්ම විතරක් බදාගෙන ඉන්නේ ඇයි කියන කාරණය අපිට හිතා ගන්නවත් බැහැ.
සමාජ ක්‍රියාකාරීයකු වන අයි. එච්. හේමන්ත: කටුපොල් වගා කළ වතු තියෙනවා. එහි අස්වැන්න නෙළාගත් පසු ඉතිරි අපද්‍රව්‍ය ඉඩමේ දාලා යනවා. වර්ෂා කාලවලදී මේ අපද්‍රව්‍ය සේදිලා අපේ ඇළ දොළවල්වලට යනවා. මේ වගේ පරිසරයට අහිතකර දේවල් මේ කටුපොල් වගාව නිසා වෙනවා. කටුපොල් වගාව නිසා පස නිසරු වෙනවා කියන කතාන්දරයකුත් තියෙනවා.
කටුපොල් වගාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අයෙක් වන වතු අධිකාරී උපුල් ප්‍රනාන්දු මෙසේ කීවේය: කටුපොල් වගාව සම්බන්ධයෙන් තියෙන්නේ දුර්මතය. ඔය ඔක්කෝම බොරු සමහරවිට නොදන්නා කම නිසා වෙන්නත් ඇති. මේ මත පරිසර විද්‍යාඥයන් පරීක්ෂණ කරලා එළියට ආපු ඒවා නොවෙයි. ඒවායේ කිසිදු හරයක් නැහැ. ඔය කියන ආකාරයට කටුපොල් වගාවෙන් පස නිසරු වෙන්නේ නැහැ. ජල හිඟයක් ඇතිවෙන්නෙත් නැහැ. කටුපොල් ගහකට නැහැ විශාල, දිග මූල පද්ධතියක්. ඉතාම පොඩි මූල පද්ධතියකුයි තියෙන්නේ. ඉතිං කොහොමද පසේ වතුර හිදෙන්නේ. තේ ගහකට යන වතුර ප්‍රමාණයක්වත් කටුපොල් ගහකට යන්නේ නැහැ.
අපි කවුරුවත් නොදන්නවට කටුපොල් ගස් විශාල වශයෙන් පරිසරය රකිනවා. කටුපොල් ගස් තාල වර්ගයට අයත් ලොකු ගස් .ඒ ගස්වල අතු පැතිරිලා තියෙන නිසා වැසි ජලය බිමට වේගයෙන් වැටෙන්නේ නැහැ. බිමට වැටෙන වතුර විශාල ජල පහරක්වී ගහගෙන යන්නෙත් නැහැ. කටුපොල් වගාවට බිල්ලෝ මවලයි ඉන්නේ. ඒවා ඔක්කෝම මේ වගාවේ නියම තත්වය අවබෝධ කරගෙන කටුපොල් වගාවට ගියොත් අපේ රට ගොඩ.
පාඩු ලබන වතු සියල්ලම ලාබ ලෙස කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තවත් සියදහස් ගණනකට රැකියා දෙන්න පුළුවන්. රටේ ආර්ථිකය ඉතාම කෙටි කාලයකින් නැගිට්ටන්න පුළුවන්. අපි ඒ ගැන පරීක්ෂණ කළා, නිරීක්ෂණ කළා. ඒ ඔස්සේ යම් යම් නිගමනවලට ආවා. එහිදී ගම්‍ය වුණු කාරණය තමයි කටුපොල් වගාව අහිතකර වගාවක් නොව රටේ ආර්ථිකයට හිතකර වගාවක් කියලා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කටුපොල් වගාවේ ඇත්ත නැත්ත