සම්මානිත මහාචාර්ය අසෝක නුගවෙල
2019 වසරේදී ශ්‍රී ලංකා පරිසර අධිකාරිය විසින් ද, පසුව 2021 වසරේදී එවකට පැවැති රජයේ නියෝගයකින් ද ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම අදටත් බලපැවැත්වේ. කටුපොල් වගාව සම්බන්ධව මෙවැනි දැඩි තීරණයක් ගෙන ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. කටුපොල් වගාව ජෛව විවිධත්වයට, පසට, වර්ෂාපතනයට, ජල සුරක්‍ෂිතතාවට, ශරීර සෞඛ්‍යයට සහ පොදුවේ ජන ජීවිතයට අහිතකර බලපෑමක් ඇති වේ යැයි ඒත්තු ගන්වා බලධාරින් මෙම තහනමට පොළඹවා ගෙන ඇති බව නොරහසකි.
එහෙත්, ගෝලයීය ප්‍රවණතා බැලුවහොත් රටවල් 43ක හෙක්ටයාර මිලියන 30ක මෙම බෝගය වගා කර එමගින් ගෝලයීය එළවළු තෙල් අවශ්‍යතාවෙන් සියයට 40ක් පමණ සපයයි. මේ ආකාරයෙන් කටුපොල් වගා කර ඇති එකදු රටකවත් ශ්‍රී ලංකාවේ ජනගත කර ඇති පාරිසරික ප්‍රශ්න වාර්තා වී නොමැත. එහෙත්, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් කටුපොල් වගා කිරීමට වනාන්තර ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ පාරිසරික ප්‍රශ්න විශාල වශයෙන් කතාබහට ලක් වී ඇත. මෙම පාරිසරික ගැටලු මුල් කරගනිමින් හටගත් විරෝධතා හේතුවෙන් මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවල් ස්වභාවික වනාන්තර කටුපොල් වගා කිරීමට භාවිත කිරීම නවතා, තිරසාරව කටුපොල් වගා කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ද හඳුන්වා දී ඇත. ස්වභාවික වනාන්තර ඉවත් කර ඕනෑම බෝගයක් වගා කිරීමෙන් අහිතකර පාරිසරික බලපෑම් ඇති වන බව සත්‍යයකි. එහෙත්, ශ්‍රී ලංකාවේ කටුපොල් වගා කිරීමට ස්වභාවික වනාන්තර යොදා ගැනීම කිසිසේත් සිදු වී නොමැත.
තහනමට ලක් වීමට පෙර ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 20,000ක කටුපොල් වගා කිරීමට 2009 සහ 2016 යන වසරවලදී පැවැති රජයන් අනුමැතිය ලබා දී තිබුණි. එහෙත්, 2019 සහ 2021 යන වසරවල තහනම ක්‍රියාත්මක කරන අවස්ථාවේ රටේ කටුපොල් වගා කර තිබූ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 11,000ක් පමණය. ඒ අනුව තහනම හේතුවෙන් කටුපොල් හෙක්ටයාර 9,000ක් පමණ නව වගා ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට නොහැකි විය. එපමණක් නොව ආර්ථිකව ඵලදායි ආයු කාලය ඉක්මවා ගිය කටුපොල් හෙක්ටයාර 2,000ක් පමණ නැවත වගා කිරීම ද මින් නැවතුණි. ඒ අනුව තහනම හේතුවෙන් හෙක්ටයාර 11,000ක් පමණ කටුපොල් වගා කිරීමට ආයෝජකයන්ට නොහැකි විය. තහනම ක්‍රියාත්මක කරන විට සමාගම් විසින් රුපියල් මිලයන 500කට වැඩි ප්‍රමාණයක් රෝපණ ද්‍රව්‍ය ආනයනය කිරීමට, තවාන් ස්ථාපනය කිරීමට සහ බිම් සැකසීම සඳහා ආයෝජනය කර තිබුණි. තහනම හේතුවෙන් එම ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් වැවිලි සමාගම් සඳහා නොලැබුණි.
සාමාන්‍ය පාලන තත්වය යටතේ කටුපොල් හෙක්ටයාරයකින් වසරකට පාම් තෙල් මෙට්‍රික් ටොන් 4ක් පමණ ලබාගත හැක. ඒ අනුව, තහනම හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ හෙක්ටයාර 11,000කින් අපට අහිමි වන පාම් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 44,000කි. වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ බොර පාම් තෙල් මෙට්‍රික් ටොන් 1ක විකුණුම් මිල ඇමෙරිකානු ඩොලර් 1,000කි. ඒ අනුව කටුපොල් තහනම හේතුවෙන් අපට වගා කිරීමට නොහැකි වූ ඉඩම් ප්‍රමාණයෙන් අප රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 44කි. ශ්‍රී ලංකාවේ පාම් තෙල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඇති අතර, දේශීය පාම් තෙල් අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් 200,000ක් පමණ වේ.
කටුපොල් තහනම රටේ සමස්ත ආර්ථිකයට ඍනාත්මක බලපෑමක් ඇති කරන ගමන්ම, වැවිලි කර්මාන්තයේ ආයෝජකයන්ට සහ සියලු සේවකයන්ට ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරගැනීමට තිබුණු මහඟු අවස්ථාවක් ද අහිමි කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වගා කරන වැවිලි බෝග අතරින් ඉහළම ලාභයක් ගෙන දෙන බෝගය කටුපොල්ය. සාමාන්‍ය කළමනාකරණ තත්වය, දැනට පවතින නිෂ්පාදන වියදම් හා විකුණුම් මිල අනුව කටුපොල් හෙක්ටයාරයකින් වසරකට රුපියල් ලක්ෂ 6ක පමණ ලාභයක් උපයාගත හැක. ඒ අනුව තහනම නිසා වගා කිරීමට නොහැකි වූ හෙක්ටයාර 11,000කින් ආයෝජකයන්ට උපයා ගැනීමට අහිමි වන ලාභාංශය වසරකට රුපියල් බිලියන 66කි. මීට අමතරව මෙම කටුපොල් හෙක්ටයාර 11,000ක වතු කම්කරුවන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් 3,500කගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාවක් ඇත.
ලෝකයේ බහුලව භාවිත වන එළවළු තෙල් වර්ගය පාම් තෙල්ය. එම ප්‍රමාණය ගෝලයීය අවශ්‍යතාවෙන් සියයට 40කි. ඒකීය භූමි ප්‍රමාණයකින් වැඩිම තෙල් අස්වැන්නක් ලබා දෙන බෝගය ද මෙය වන අතර, එය වෙනත් එළවළු තෙල් ලබා ගැනීමට වගා කරන බෝගවලට සාපේක්‍ෂව 4 සිට 10 ගුණයකි. ඒ නිසාම පාම් තෙල් නිෂ්පාදන මිල සහ වෙළෙඳපොළ මිල වෙනත් එළවළු තෙල්වලට සාපේක්‍ෂව අඩුය. මෙම කර්මාන්තය නිසාම ලෝකයේ දියුණු වු රටවල් රාශියක් ඇති අතර, මැලේසියාව සහ ඉන්දුනීසියාව ඊට කදිම නිදසුන්ය. ඉන්දියාව මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා සැලසුම් සාදා ක්‍රියාත්මක කරමින් පවතී.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙහි කටුපොල් වගාව සාර්ථකව කිරීම සඳහා අවශ්‍ය පාංශු සහ දේශගුණික තත්වය පවතී. එමෙන්ම, එම බෝගයට ආයෝජනය කර ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් වතු සමාගම් සහ කුඩා ඉඩම් හිමියෝ එම කර්මාන්තයේ ආයෝජනය කිරීමට ද කැමැත්තෙන් සිටිති. ඒ අනුව මෙම කර්මාන්තය වෙනත් රටවල මෙන් සාර්ථකව ස්ථාපනය කර රටෙහි ආර්ථික වර්ධනයට දායක කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වී ඇත. රටේ දියුණුවට ඉමහත් පිටිවහලක් වීමට විභවයක් ඇති මෙම කර්මාන්තය අප රටේ යාථාර්ථයක් කරගැනීමට අවශ්‍ය වී ඇත්තේ නිවැරැදි තොරතුරු පදනම් කරගෙන ප්‍රතිපත්ති සම්පාදකයන් හා දේශපාලකයන් තීරණයක් ගැනීමයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටුපොල් වගා තහනමේ ආර්ථික පසුබෑම