IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළඳාම

අවුකන විහාර බිම

මල් බඳුන් බිම තබා අවදිමත්ව සිදුකෙරෙන වෙළෙදාම​


කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළෙඳාම 

මල් තියාගෙන විකුණන්න අකුලන කුඩ ටිකක්වත් දෙන්න පුළුවන් නම් ලොකු සහනයක්
බොහෝ දෙනකුගේ ජීවනෝපාය මල් වෙළෙඳාමයි
වන්දනා නඩ එන්නේ සති අන්තයේ


බුල්නෑව ප්‍රදීප් රණතුංග 


අනුරාධපුරය දිස්ත්‍රික් මායිමේ ගල්නෑව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට අවුකන රජමහා විහාරස්ථානයට එන වන්දනාකරුවන්ට ඕලු‍, නෙලු‍ම්, මානෙල් ආදි මල්, පහන්, හඳුන්කූරු විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ළියන්ට උදාවේ. විවිධ දුෂ්කරතා මැද ගෙවීයන ඔවුනගේ දිවියට එය මද හව්හරණකි. 
අවුකන, වලව්වේගම, සිරිමාගම, කලාවැව ආදි ගම්මැදිවල සිට ගැමිළියෝ මෙහි ‍වෙළෙඳාමට පැමිණෙති. කලකදී දෙස්, විදෙස් සංචාරකයන්ගෙන් පිරීයන අවුකන විහාර බිම තවත් කලකදී දෛනිකව යන එන වන්දනාකරුවන් කිහිපදෙනකුට සීමාවෙයි. විසල්, විචිත්‍රවත් අවුකන බුදු රුවට යන පියගැට පෙළ පාමුල රුක් සෙවණකට වී ඔවුහු වන්දනාකරුවන් එන තෙක් මග බලති. සිය වෙළෙඳාම කරගැනීමට පුංචි වෙළෙද කුටි කිහිපයක් හෝ නොවීමෙන් මේ ගැමි ළියෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විදිති. 
 මල් විකුණා දිවි සටන ගෙනයෑමට වෙහෙසෙන කුසුමා රංජනී කළේ මෙවැනි ඉල්ලීමකි. 
“පොඩි හරි වැස්සක් වහින කොට හැමදේම තෙමෙනවා. අපිට ලොකු දෙයක් නෙමෙයි පොඩියට මේ වෙළෙඳාම කරගන්න මොකක් හරි සෙවණක් හදලා දෙන්න කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපිට එහෙම දෙයක් කරගන්න තරං හයියක් නෑ. නිකං මෙහෙම තියාගෙන වෙළෙඳාම් කරන්න ගියහම රිළවුන්ගෙන් එහෙමත් බේරගන්න හරි අමාරුයි. ලොකු හාමුදුරුවෝ අපිට අනුකම්පා කරලා වෙළෙඳාම් කරගන්න ඉඩදීලා තියෙනවා. ඒත් උන්වහන්සේට අපිට කඩ හදලා දෙන්න බැහැනේ. කාගෙන් හරි උදව්වක් ඉල්ලන්නේ ඒකයි. 
නැගෙනහිර දෙසට මුහුණලා ඇති ප්‍රතිමාව අව් රැසින් නැහැවී යන හෙයින් අව්කන ලෙස ව්‍යවහාර කරන්නට වූ බව ජනප්‍රවාදයක සඳහන් වෙයි. ධාතුසේන රජ දවස ඉදිව ඇතැයි සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව අඩි 38 කුත් අගල් 10 ක් උසින් යුතුවේ. ප්‍රතිමාව පද්මාසනයක් මත පිහිටා ඇත. පද්මාසනය ද සැලකු විට පිළිමය අඩි 43 ක පමණ උසකින් යුක්තය. කලාවැවට අභිමුඛව අවුකන විහාරස්ථානය පිහිටා තිබේ. මෙතෙක් මෙරටදී හමුව ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විශිෂ්ට කලා ප්‍රතිභාවක් සහිත හිටි පිළිමය ලෙසද අවුකන පිළිමය ලෝ පතලව තිබේ. මේ ජනප්‍රසාදය විහාරයට යාබද ගැමියන්ගේ ආර්ථික සමෘද්ධිය සඳහා ද පාදක කරගත හැකිව තිබේ. එහෙත් මෙතෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසී නැති බව ගැමියෝ පෙන්වා දෙති. 
මල් වෙළෙදාමේ යෙදෙන සුනේත්‍රා කුමාරි පැවසුවේ මෙවැනි අදහසකි.
“අපි කීපදෙනෙක් තමයි මෙතැනට වෙලා කීයක් හරි හොයාගන්න බලන්නේ. මල් ටිකක් හරි විකුණලා කීයක් හරි හොයාගන්නයි බලන්නේ. ඉරිදා, සෙනසුරාදා දවස්වලට නම් සෙනග එනවා. ඒත් සමහර දවස්වලට මෙතැන පාලු‍යි. සෙනග නෑ. වහින වෙලාවට එහෙම මේ වෙළෙඳාම කරන්න බෑ. වැස්ස පායනකන් අපි කොහාට හරි වෙලා ඉන්නවා. සමහර වෙලාවට තද අව්ව. අපි මල් බේසන් බිම තියාගෙන ඉන්නේ. ඉතිං මොකක් හරි පිළිවෙළක් තියෙනවා නම් හොදයි. පිළිවෙළක් නැතිවුණාම සමහරු අහක බලාගෙන යනවා.” 
සති අන්තයේ මෙහි යන එන දෙස් විදෙස් සංචාරක පිරිස සැලකිය යුතු ගණනකි. කවරෙකු හෝ පැමිණ මලක්, දෙකක් මිලදී ගනීවිය යන හැගීමෙන් ඔවුහු දවස ගෙවති. අවුකන සහ ඒ ආසන්නයේ ඇති වලව්වේගම ගම් දෙමායිමෙන් මහව සිට මඩකලපුව දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද මේ ඉසව්වේ ඇති පෞරණික බවට තවදුරටත් හේතුවී තිබේ. කුසුම් ඉලංගසිංහ ඕලු‍, නෙලු‍ම් මල් ටිකකින් දරුවන්ගේ හෙට දවස සදහා දිවි සටන ගෙන යන්නීය. ඈ මෙසේ පැවසුවාය. කලාවැව බලන්න එන අය අනිවාර්යෙන්ම අවුකනටත් එනවා. ඉතිං මිනිස්සු ඒ එන අයට වෙළෙඳාමක් කරලා කීයක් හරි හොයාගන්නවා. සමහර දවස්වලට ආදායමක් ඇත්තෙම නෑ. ගේන මල් ටික නිකම්ම පරවෙලා යනවා. පන්සල දියුණු වුණොත් ඒක අපටත් හොඳයි. අපේ වෙළෙදාම කරදරයක් නැතිව කරගන්න මොකක් හරි පිළිවෙළක් කරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපි ඉල්ලන්නේ ලොකු කඩ හදලා දෙන්න කියලා නෙමෙයි. අඩුම තරමින් උදේට ඇවිල්ලා වෙළෙඳාම කරලා සවසට අකුලලා තියලා යන්න පුළුවන් විදිහේ කුඩ ටිකක් හරි දෙනවා නම් ඒක ලොකු පිනක්.
මේ ගැමි ළියන්ගේ කටුක ජීවන පෙ‍වෙතට යම් පමණක හෝ පිහිටක් වී ඇත්තේ මේ කුඩා වෙළෙදාම පමණකි. හේන්, කුඹුරු කිරීමට ඔවුනට ඉඩම් ඇත්තේද නැත. කුමන කම්කටොලු‍ පැමිණියද ජීවිතය අතෑර යෑමටද ඔවුනට ඉඩක් ඇත්තේද නැත. එහෙයින්ම සිය ගැටලු‍ සඳහා යම් සහනයක් සලසන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරති. 



අදහස් (0)

කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළඳාම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site