වර්තමානයේදී ආනයනය කර ඇති නවීන වාහනවලට බොහෝ පාරිභෝගියන් භාවිත කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොගයක් මිලට ගැනීමට රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් ආයෝජනය කළ යුතු වුවත් සංස්ථා පිරවුම්හල්වලට එම තෙල් අලෙවියෙන් ලැබෙන මෙහෙයුම් ලාභාංශය රු.45000කට පමණ සීමා කර ඇති බැවින් රට පුරා පිරවුම්හල් රැසක මෙම ඉන්ධන දෙවර්ගය නොමැති බව සංස්ථා බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
 මෙම ඉන්ධන දෙවර්ගයේම දිනක අලෙවිය ලීටර් 500කට වඩා අඩු නිසා තොගයක් විකිණීමට සති දෙකකට වැඩි කාලයක් ගත වන බැවින් සංස්ථා පිරවුම්හල්වලට දෙන රුපියල් 45000ක වට්ටම් මුදල සේවක වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව සංස්ථා බෙදුම්කරුවෝ පෙන්වා දෙති.
විදේශීය සමාගම් මෙම ඉන්ධන දෙවර්ගයට ඛනිජ තෙල් සංස්ථාවට වඩා දෙගුණයකටත් වැඩි වට්ටම් ප්‍රතිශතයක් ගෙවයි. විදේශීය සමාගම් පාරිභෝගියන්ට වැඩි මිලකට ඉන්ධන අලෙවි කරන අතර බෙදුම්කරුවන්ට උපරිම සිල්ලර මිලට අනුපාතව සියයට 3ක වට්ටම් ප්‍රතිශතයක් දෙයි. එනිසා කොළඹ නගරයෙන් බැහැර දුර ප්‍රදේශවල සංස්ථා පිරවුම්හල්වල මෙම ඉන්ධන දෙවර්ගය නොමැති විමෙන් නව වාහන හිමියන් දැඩි අසීරුතාවකට පත් වී සිටින බව සංගමය අවධාරණය කරයි.