කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


ගාල්ල දිස්ත්‍රික්කයේ හොරංගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පිහිටි එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය පිට පිටම අටවැනි වසරටත් වසර 2025 නිමා වෙද්දී ලංකාවේ වැඩිම තේ නිෂ්පාදනය කර අලෙවි කළ තේ කර්මාන්ත ශාලා සමූහය බවට පත්ව තිබේ.
එම තේ කර්මාන්ත ශාලා සමූහය ගිය වසරේ එලෙස වාර්තා තැබූවේ තේ කිලෝ 10,379,568 ක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට බෙදා හැරීමත් සමගය.
මේ තේ කර්මාන්ත ශාලා සමූහය විසින් Orthodox, CTC යන තේ වර්ග දෙකම නිෂ්පාදනය කර අලෙවි කර මෙ​ම වාර්තාව තබා තිබේ. මෙලෙස මේ වාර්තාව අඛණ්ඩව අට වැනි වරටත් තැබීම සඳහා ගාලු‍ දිසාවේ සහ ඒ අවට තේ සපයනු ලබන කුඩා තේවතු හිමියන් 30,000ක් පමණ තේ දලු‍ සැපයූහ. එසේම හාරදහසක් පමණ ශ්‍රම බලකායක් සෘජු හා වක්‍ර රැකියාවේ නියුක්ත වෙමින් එයට දායක වූහ.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය තේ කර්මාන්ත ශාලා දහතුනකින් සමන්විතය. එවර්ග්‍රීන්, බොම්බෙල, තුන්දොළ, තලංගහ, කැටන්දොළ, වතුරවිල, වලහන්දූව, හිල්ගාර්ඩ්න්, රෑකඩහේන, කන්නෙලිය, ලිහිනියාව, මාරකන්ද, දිවිතුර එම තේ කර්මාන්ත ශාලා දහ තුනය.
මෙලෙස ලංකාවේ වැඩිම තේ නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටින එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය  ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලැබීය.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයට මෙලෙස පිට පිටම වසර අටක්ම මෙ වාර්ථා තැබීමට හැකිවූයේ එම කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අරුණ ද සිල්වා, සමස්ත මෙහෙයුම් ක්‍රියාවලි සම්බන්ධීකාරක සහ උප සභාපති සෙනාල් ද සිල්වා අධ්‍යක්ෂකවරුන් වන මිනුල් ද සිල්වා, දුෂර ශංක සමූහ සාමාන්‍යාධිකාරී ලසන්ත අල්විස්, රෑකඩහේන වතු සමාගමේ සාමාන්‍යාධිකාරී බී. ඩබ්ලිව්. ටී. නදීෂන යන මහත්වරුන්ගේ දැඩි ඇපකැපවීම මතය.