
|
එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් |
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාබය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත.
2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 24.4 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6) වාර්තාගත ලාබයක් අත්කරගෙන ඇත. එය පසුගිය වසරට වඩා සියයට 7 ක වැඩිවීමකි. සමූහය ඩිරාම් බිලියන 150.5 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 41.0) වාර්තාගත ආදායමක් අත්කරගෙන ඇති අතර එය පසුගිය වසරේ ප්‍රතිඵලයට වඩා සියයට 3 ක වැඩි වීමකි.
ලොව වඩාත්ම ලාබදායක ගුවන් සේවය ලෙස එමිරේට්ස් ගුවන් සේවය සිය ස්ථානය තවදුරටත් රඳවා ගනිමින්, බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 22.8 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2) වාර්තාගත ලාබයක් අත්කරගෙන ඇත. එය පසුගිය වසරට වඩා සියයට 7 ක වර්ධනයකි. තවද සමූහයේ ආදායම වාර්තාගත ලෙස ඩිරාම් බිලියන 130.9 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 35.7) වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2ක වැඩි වීමකි.
එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. “අපගේ මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ අප මුහුණදුන් අසීරු අභියෝග ද අභිබවා යමින් අත්කරගත් මෙම කැපී පෙනෙන ප්‍රතිඵල මගින්, ආරක්ෂාව, විශිෂ්ටත්වය, නවෝත්පාදනය, සේවක පිරිස සහ හවුල්කාරීත්ව තුළ මුල් බැසගෙන ඇති එමිරේට්ස් සමූහයේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය හා නොසැලී සිටීමේ හැකියාව නැවත නැවතත් තහවුරු කරයි.”
“2025-26 මුල් මාස 11 තුළදී සමූහයේ දැක්ම ඉතා ධනාත්මක විය. අපගේ නිෂ්පාදන හා සේවා සඳහා ඇති දැඩි ඉල්ලුම, අපගේ ආදායම වැඩි කිරීමට හේතු වූ අතර නිෂ්පාදන, සේවක පිරිස, තාක්ෂණය සහ වෙළෙඳ සන්නාමය වෙනුවෙන් අප සිදුකළ තිරසර ආයෝජනවලට ස්තූති වන්නට අපි යහපත් ආන්තික අත්කර ගනිමින් සිටියෙමු. එලෙස මාසයෙන් මාසයට අපි අපගේ ඉලක්ක ඉක්මවා යමින් සිටියෙමු.”
“පෙබරවාරි 28 වැනි දින යුදමය ක්‍රියාකාරකම් හමුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ ගෝලීය වාණිජ ගුවන් ගමනාගමනයට විශාල වශයෙන් බාධා එල්ල විය. අපගේ සේවක පිරිසට සහ බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහාය වීමටත්, අපගේ වත්කම් ආරක්ෂා කර ගැනීමටත් හා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම තහවුරු කිරීමටත්, එමිරේට්ස් හා dnata විසින් වහාම පියවර ගන්නා ලදී.”
“එමිරේට්ස් සමූහය මීට පෙරත් විවිධ වූ අර්බුද හා බාධාවලට මුහුණ දී තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපි අපගේ ගනුදෙනුකරුවන් හා අපගේ සේවක පිරිස කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා ශක්තිමත්ව නැවතත් නැගී සිට තිබෙනවා.”
ශීඝ්‍රයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක් තුළ එම වෙනස්කම්වලට යුහුසුළුව ප්‍රතිචාර දැක්වීමට, ඒ හැකියාව ලබා දුන් අපගේ සේවක පිරිස අපගේ සාර්ථකත්වයේ විශාල කොටසකට හිමිකම් කියනවා. අපගේ සියලුම සේවකයන්ට මම මෙහිදී ස්තූති කිරීමට කැමැතියි. තීරණාත්මක කාලවලදී එමිරේට්ස් සමූහය ඔසවා තැබීමට සමත් වූ එම ගුණාංග ඔවුන් මනාව නිරූපණය කර තිබෙනවා.”
2025-26 වසර තුළදී, සමූහය විසින් සිය වර්ධන සැලසුම් වෙනුවෙන් නව ගුවන් යානා, පහසුකම්, උපකරණ, සහ නවතම තාක්ෂණය සඳහා සම්පූර්ණයෙන් ඩිරාම් බිලියන 17.9 (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.9) ක් ආයෝජනය කර ඇත.
පසුගිය මූල්‍ය වර්ෂයට වඩා සමස්ත මෙහෙයුම් පිරිවැය සියයට 2 කින් වැඩි විය. 2025-26 දී ගුවන් සමාගමේ විශාලතම පිරිවැය සංරචක දෙක වූයේ ඉන්ධන සහ සේවක පිරිවැයයි. 2024-25 දී තිබූ සියයට 31ක අගයට සාපේක්ෂව මෙම වසරේදී මෙහෙයුම් පිරිවැයෙන් ඉන්ධන සඳහා යෙදවූ පිරිවැය ප්‍රමාණය සියයට 29ක් විය.
එමිරේට්ස් ගුවන් සේවය ඩිරාම් බිලියන 19.7 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 5.4) නව වාර්තාගත ශුද්ධ ලාබයක් අත්කර ගත්තේ පසුගිය වසරේ ඩිරාම් බිලියන 19.1 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2) අගයට සාපේක්ෂවය. මෙය ගුවන් සමාගමේ ඉතිහාසයේ මෙන්ම 2025-26 වාර්තාකරණ වර්ෂය සඳහා සමස්ත ගුවන් සේවා කර්මාන්තයේ හොඳම කාර්යසාධනයයි.
එමිරේට්ස් SkyCargo සමාගම කැපී පෙනෙන වසරක් වාර්තා කළ අතර ලොව පුරා භාණ්ඩ ටොන් මිලියන 2.4 ක් ප්‍රවාහනය කර ඇත. එය පසුගිය වසරට වඩා සියයට 3 ක වර්ධනයකි. එමිරේට්ස් SkyCargo ඩිරාම් බිලියන 16.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4) ශක්තිමත් ආදායමක් වාර්තා කළ අතර එය එමිරේට්ස් හි මුළු ආදායමට සියයට 12 ක දායකත්වයක් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd