එක් නිවසක් සඳහා ලබා දෙන මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකා රුපියල් 1,000,000 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමට එකඟතාව


ප්‍රමුඛතම ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ වතුකර ප්‍රදේශවල නිවාස 50,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදි කරලා


ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රාමුව යටතේ ඉන්දියානු රජය විසින් විවිධ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ අනුව ඉන්දියානු රජය 2017 ඔක්තෝබර් සහ 2018 ඔක්තෝබර් අත්සන් තබන ලද අව‍බෝධතා ගිවිසුම් යට‍තේ ග්‍රාම් ශක්ති උතුර, ග්‍රාම් ශක්ති දකුණ I සහ ග්‍රාම් ශක්ති දකුණ II යන නිවාස ව්‍යාපෘති තුන සඳහා ද මූල්‍යාධාර ලබා දෙයි. 
මෙම අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිපාදන යටතේ ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය විසින් තෝරා ගන්නා ලද උතුරු සහ නැගෙනහිර පළාත්වල අඩු ආදායම්ලාභී පවුල් සඳහා අයිතිකරු මූලික ආකෘතිය යටතේ නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 500,000ක මුදලක් ලබා දෙන ලදී. කොවිඩ්-19 වසංගතයෙන් පසුව මිල ගණන් ඉහළ යාම මෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අභියෝග හේතුවෙන් වෙන් කරන ලද මූල්‍යාධාර යටතේ තම නිවාස සම්පූර්ණ කිරීම ප්‍රතිලාභීන්ට දුෂ්කර විය. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය රජය එක් නිවසක් සඳහා ලබා දෙන මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකා රුපියල් 1,000,000 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමට එකග විය. 
මේ සඳහා වන රාජ්‍යතාන්ත්‍රික ලිපි ඉන්දීය මහ‍ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. බී. කුමුදුලාල් මහතා විසින් 2025 දෙසැම්බර් 30 වැනි දින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී හුවමාරු කර ගන්නා ලදී. මෙම ව්‍යාපෘති තුන යටතේ ඉහළ නංවන ලද ආධාරවලින් පවුල් 1550කට වැඩි ගණනකට ප්‍රතිලාභ සැලසෙනු ඇත. 

ප්‍රමුඛතම ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ වතුකර ප්‍රදේශවල නිවාස 50,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදි කර ප්‍රතිලාභීන්ට භාර දී ඇත. මෙම ව්‍යාපෘතියේ සිව් වැනි අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදි වෙමින් පවතී. දෙසැම්බර් 30 වැනි දින ඉන්දියාව විසින් මූල්‍ය සහයෝගය ඉහළ නංවන ලද ග්‍රාම් ශක්ති ව්‍යාපෘති තුනට අමතරව ඉන්දියාව විසින් නිවාස ක්ෂේත්‍රයේ ඉහළ බලපෑමක් සහිත තවත් ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් එක් දිස්ත්‍රික්කයක නිවාස 25කින් සමන්විත ආදර්ශ ගම්මානය බැගින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මන්නාරමේ මඩු දේවස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා තාවකාලික නිවාස ඉදිකිරීම සහ මෑතකදී සම්පූර්ණ කරන ලද පූජ්‍ය සෝභිත නාහිමිගම යනාදිය එවන් ව්‍යාපෘති කිහිපයකි. දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සම්පූර්ණයෙන් විනාශ වූ සහ අර්ධ ලෙස හානි වූ නිවාස ඉදිකිරීම සඳහා ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 450ක නැවත ඉදිකිරීමේ සහ ප්‍රතිසාධන පැකේජය යටතේ සහයෝගය ලබා දීමට ද යෝජිතය.