ශ්‍රී ලංකාවේ Nissan මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම, සිය නවතම Nissan මාදිලිය වන Nissan GRAVITE මෙරට වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙම නව මාදිලිය ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් Nissan Magnite මාදිලියේ සාර්ථකත්වය මත පදනම්ව හඳුන්වා දෙන අතර හඳුන්වාදීමේ මිල රු. මිලියන 6.99 ක් වීම විශේෂත්වයකි. 
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සලකණු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම 7 - Seater MPV රථය, Nissan සන්නාමය තවදුරටත් සවිමත් කරමින් මෙරට වෙළෙඳපොළට එකතු වන තෙවැනි ප්‍රධාන පෙළේ Nissan නිෂ්පාදනය ලෙස හැඳින්විය හැකිය. නූතන පවුලේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස ශ්‍රී ලාංකීය සංස්කෘතික විවිධත්වයෙන් ලැබූ ආභාෂය මත නිර්මාණය කර ඇති Nissan GRAVITE රථය, ඉඩකඩ, බහුකාර්යතාව සහ සුව පහසුව මනාව සංකලනය කර නිපදවා ඇත. Nissan සන්නාමයට අනන්‍ය වූ ‘C’  හැඩැති සැලසුම් ලක්ෂණ (C-shaped design language), ශක්තිමත් පෙනුම සහ ඕනෑම මාර්ග තත්වයකට ගැලපෙන ලෙසින් බිම අතර ඉහළ පරතරයක් පවත්වා ගැනීම (High ground clearance) මෙම නව මෝටර් රථයට විශේෂයෙන් අනන්‍ය වන අංග වෙයි. එමෙන්ම, මෙම කාණ්ඩයේ මෝටර් රථ අතරින් hood branding සහ රථයේ පසුපස දොරෙහි දැකිය හැකි සුවිශේෂී badging සහිත එකම රථය මෙය වීම ද විශේෂත්වයකි.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Nissan Motor Company Ltd හි දකුණු ආසියානු කලාපීය ව්‍යාපාරික අංශයේ අලෙවියෙන් පසු සේවා සහ අධ්‍යක්ෂ අතුල් අගර්වාල් මහතා මෙසේ පැවසීය “ Nissan සමාගමේ දකුණු ආසියානු කලාපීය මෙහෙයුම් තුළ ශ්‍රී ලංකාව ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. ඒ නිසාම පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව තුළ අපේ සේවා සහ නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කිරීමට අපි කැපවී කටයුතු කළා. Nissan GRAVITE හඳුන්වා දීම එම වැඩපිළිවෙළෙහිම තවත් එක් සුවිශේෂී පියවරක්. නව Nissan GRAVITE රථය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමකින් යුත් අත්දැකීමක් ලබා දීමට හැකිවනු ඇති බව අපට විශ්වාසයි”‍.
AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “Nissan GRAVITE නිර්මාණය කර තිබෙන්නේ ශ්‍රී ලාංකීය පවුලේ අවශ්‍යතා සහ අභිලාෂ හඳුනාගෙන ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයටයි. මෙහි ඇති නම්‍යශීලී ආසන සැකසුම සහ ආකර්ෂණීය පෙනුම පාරිභෝගිකයන්ට ඉතා සමීප අත්දැකීමක් ලබා දෙනවා. මේ අවස්ථාව තවත් එක් නව රථවාහන මාදිලියක් හඳුන්වාදීමකින් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් Nissan සහ AMW දක්වන කැපවීම යළිත් තහවුරු කරන අවස්ථාවක් ලෙසින් හැඳින්විය හැකියි”‍.
Nissan GRAVITE හි ඇති සුවිශේෂී නම්‍යශීලී බව හේතුවෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි ආසන 2 සිට 7 දක්වා වූ විවිධ ආකාරවලින් ආසන සකස් කරගත හැකිය. උසස් ප්‍රමිතියෙන් යුත් මෙහි ඇතුළත කුටීරය (Cabin space), සියලු‍ම පේළිවල අසුන්ගන්නා අයට ඉහළ සුව පහසුවක් ලබා දෙන අතර, අවශ්‍යතාව පරිදි තෙවැනි පේළියේ ආසන ඉවත් කර රථයේ ගමන්මලු‍ තැබීමේ ඉඩකඩ (Boot space) ලීටර් 625 ක් දක්වා වැඩි කරගත හැකිය. එමෙන්ම, සියලු‍ම පේළි ආවරණය කරන වායුසමීකරණ පද්ධතිය සහ ඉඩ පහසුකම නිසා රථයේ ගමන් කරන අයට උපරිම පහසුවක් හිමි වේ.
නවීන තාක්ෂණයෙන් අනූන Nissan GRAVITE රථය තුළ රැහැන් රහිත Android Auto සහ Apple CarPlay පහසුකම් සහිත අඟල් 8 ක ස්පර්ශක තිරයක්, ඩිජිටල් තොරතුරු පුවරුවක් සහ රැහැන් රහිත දුරකථන ආරෝපණ පහසුකම් අන්තර්ගත වේ. පාරිභෝගික ආරක්ෂාව මූලික කර ගනිමින් නිපදවා එයාර් බෑග් (Airbag) 6, Electronic Stability Control (ESC), Traction Control System (TCS) Hill-Start Assist (HSA) ඇතුළු ප්‍රමුඛ පෙළේ ආරක්ෂණ පහසුකම් 30 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත කර ඇත.
වේග 5 කින් යුත් Manual හෝ EZ-shift (AMT) ගියර් පද්ධතියක් සහ 1.0 L සිලින්ඩර 3 කින් යුත් බල සම්පන්න එන්ජිමකින් සමන්විත Nissan GRAVITE රථය, විශ්වාසනීය ඉහළ කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර මෙහි එන්ජිම මගින් 6250 rpm හිදී උපරිම බලය 72PS ක් සහ 3400-3600 rpm හිදී උපරිම ව්‍යවර්ථය (Torque) 96Nm ක් ජනනය කරනු ලබයි. එමෙන්ම, රථයේ ඉන්ධන පිරිමැසුම්දායක බව ලීටරයට කිලෝමීටර් 19.6 ක් දක්වා ඉහළ අගයක් ගනී.
සීමිත කාලයක් සඳහා පාරිභෝගිකයන්ට හිමිවන ‘Launch Edition’ රථය තුළ JBL ස්පීකර් පද්ධතියක්, Dual Dash Cam, Air Purifier සහ Ambient Mood Lighting වැනි අතිරේක වටිනාකම් රාශියක් එක් කර ඇත. Nissan GRAVITE Forest Green, Onyx Black, Blade Silver, Storm White Metallic Grey වර්ණවලින් ලබාගත හැකි අතර ඒ සඳහා වූ වෙන් කරවා ගැනීම් දැන් දිවයින පුරා පිහිටි AMW ප්‍රදර්ශනාගාර හරහා සිදු කළ හැකිය.
Nissan සන්නාමයේ මෙම නවතම දියත් කිරීම, 2026 මැද භාගයේදී මෙරට වෙළෙඳපොළට පැමිණීමට නියමිත Tekton C-SUV රථය සහ 2027 මුල් භාගයේදී පැමිණීමට නියමිත 7-seater C-SUV රථය ඇතුළු ඉදිරි නවීනතම බහු-කාණ්ඩ නිෂ්පාදන පෙළ සමගින් සන්නාමයේ දිගුකාලීන සහ තිරසාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයනු ඇත.