IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් තීරු බද්ද: තීරණාත්මක සාකච්ඡාවක්

  • ශ්‍රී ලාංකික දූත පිරිස ඇමෙරිකාවට
  • දෙරටේ ද්වි පාර්ශ්වික වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ ඉලක්ක
  • ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබාගැනීමේ මාර්ග සොයාබැලීම 
  • තීරු බද්දේ වැඩිම බලපෑම ඇඟලුම් කර්මාන්තයට

විමුක්ති එස් රුද්‍රිගු

දැනට අත්හිටුවා ඇති මෙරට භාණ්ඩ සඳහා පනවා තිබෙන සියයට 44 ක තීරු බද්ද සම්බන්ධයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවල දෙවැනි වටයට සහභාගී වීම සඳහා මුදල් හා ආර්ථික ස්ථායිකරණ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දූත පිරිසක් ඊයේ (26) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඇමෙරිකා වෙ​ෙළඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකා දූත පිරිස අතර දෙවැනි වටයේ සාකච්ඡා අද (27) සහ හෙට (28) පැවැත්වීමට නියමිතය.

එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද හේතුවෙන් පැන නගින ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස එරට බලධාරීන් සමග සාකච්ඡා පවත්වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකා වෙ​ෙළඳ  නියෝජිත කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නියෝජිත පිරිස එරට සංචාරයේ නිරතවන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවැසුවේය.

ඒ අනුව දෙරටේ ද්වී පාර්ශ්වික වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ ඉලක්කය ඇතුව ශ්‍රී ලංකා සහ ඇමෙරිකා බලධාරීන් මුහුණට මුහුණ හමුවන දෙවැනි අවස්ථාව මෙය  වනු ඇත.   ඇමෙරිකා වෙ​ෙළඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පෙර පැවැති අන්තර් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම හමුවීම සිදුවන අතර වෙළෙඳ සබඳතා තරකර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ කැපවීමද මින් පිළිබිඹු වේ.

ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළඳ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබාගත හැකි මාර්ග සොයා බැලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාකච්ඡාවලට සහභාගී වනු ඇතැයි පැවැසෙයි.

ඉහළ පෙළේ නියෝජිත පිරිස ඇමෙරිකාව බලා පිටත්ව යාමට ප්‍රථමයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් පසුගියදා හමුවක් පැවැති අතර ඉදිරි සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ඉදිරිපත් වන බව සහතික කිරීම එහි අරමුණ විය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්දිරරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

දෙරට අතර පැවැති පළමු වටයේ සාකච්ඡා පසුගිය මස අගදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ ඉතාමත් ඉක්මනින් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරනු ඇති බවයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්දක් පැනවූ අතර ඒ ඒ රටවල් එම රටවලදී ඇමෙරිකානු භාණ්ඩවලට පනවන තීරු බදු මත පදනම්ව එම බදු පැනවීම සිදුවිණි.

එහිදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා සියයට 88 ක තීරු බද්දක් පනවන බවට චෝදනා එල්ල කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට පැමිණෙන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවනු ලැබුවේය. පසුව ඇමෙරිකාවේ තීරු බද්දට පිළිතුරු දීමට නොගිය රටවල් සඳහා පැනවූ තීරු බද්ද පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට දින 90 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබූ අතර ශ්‍රී ලංකාවද එම රටවල් ගොඩට අයත්විය.

තීරු බද්ද ක්‍රියාත්මක වූයේ නම් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලින් සියයට 95.6 කට ඉන් බලපෑමක් එල්ල වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා බලධාරීන්ට ඇමෙරිකානු බලධාරීන් සමග එකඟතාවයට පැමිණීමට නොහැකි වුවහොත් ජනපති ට්‍රම්ප් මෙරට භාණ්ඩ සඳහා පැනවූ තීරු බද්ද එළැඹෙන ජූලි 7 වැනිදා අවසන් වීමට නියමිතය.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.3 ක ඉහළ යාමකි.

එකඟතාවයට පැමිණීමට නොහැකි වුවහොත් සියයට 44 ක තීරු බද්දෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ මෙරට ඇඟලු‍ම් අපනයන ක්ෂේත්‍රයටය. මෙරට ඇඟලු‍ම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාවය. ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ පසුගිය වසරේ මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර එම ආදායම ඉපැයූ ඇඟලු‍ම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක් ශ්‍රී ලංකාව අපනයනය කර තිබුණේ ඇමෙරිකාවටය. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් විය.



අදහස් (0)

ඇමෙරිකන් තීරු බද්ද: තීරණාත්මක සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site