- නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනීම උප දර්ශක පහළට
- ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන අපේක්ෂා ඉහළ ගියත්, මැද පෙරදිග ගැටුම් පිළිබඳ වැඩි අවධානය
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේදී වාර්තා කළ දර්ශකාංක 66.7 ට සාපේක්ෂව 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 42.6ක් දක්වා පහළ ගොස් තිබේ.
2026 අප්‍රේල් මාසය සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි.
ඒ අනුව මාර්තු මාසයට සාපේක්ෂව නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශක පිළිවෙළින් දර්ශකාංක 69.9 ක සිට 36.4ක් දක්වාත්, දර්ශකාංක 68.8 ක සිට 30.5ක් දක්වාත්, දර්ශකාංක 55.9 ක සිට 47.0ක් දක්වා සහ දර්ශකාංක 59.9 ක සිට 44.0ක් දක්වාත් ලෙස පහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශකය පහළ ගොස් තිබේ.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන යන අංශවල උත්සව සමයේ ඉල්ලුම ක්‍රමිකව පහළ යෑම, නව ඇණවුම් උප දර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ බොහෝ නිෂ්පාදන ආයතන වසා තැබීම හේතුවෙන් අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන අඩු වීම නිෂ්පාදන උප දර්ශකයේ පහළ යෑමට බොහෝ දුරට හේතු විය.
පෙර වසරවල පැවති රටාවට අනුව උත්සව සමයේ කටයුතු සඳහා පැවති ඉහළ ශ්‍රම ඉල්ලුම අවසන් වීමෙන් පසු නිෂ්පාදකයින් තාවකාලික බඳවා ගැනීම් අඩු කිරීමත් සමග සේවා නියුක්ති උප දර්ශකය පහළ ගියේය.
ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු සඳහා වන අපේක්ෂා ඉහළ යෑමක් පෙන්නුම් කළ ද, මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් පවතින අවදානම් පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු සිය අවධානය යොමුකර තිබූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd