IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අඬාහැලෙන දිය ඇල්ල ඩොලර් උල්පතක්

සංචාරකයන්ට එන්න හරිහමන් පාරක් තොටක් නැහැ

වර්ෂා කාලවලදී මේ මාර්ගය වාරිමාර්ගයක්. ඒත් බලධාරීන්ට වගේ වගක් නැහැ

ඇල්ල නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට වැසිකිළි කැසිකිළි අවශ්‍යතා ඉටුකර ගැනීමට තැනක් නැහැ

විදෙස් සංචාරකයන්ට නිසි ආරක්ෂාවක් නැති එකත් ප්‍රශ්නයක්

ඇල්ල නැරඹන්න දේශීය සංචාරකයකුට රුපියල් 75 යි. 

විදේශීය සංචාරකයකුට රුපියල් 930 යි

සියලු‍දෙනාගේම ඔළු ගණනට මුදල් ගත්තත් ටිකට් කඩන්නේ එකයි දෙකයි


කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත


මෙරටට ඩොලර් අද්දවා ගත හැකි සම්පත් රැසක්ම ගාලු‍ දිසාවේ තිබේ. මේ සම්පත්වලට නිසි අවධානයක් අදාළ බලධාරීන්ගෙන් ලැබෙන තෙක්ම ඒවා කැළෑවේ පිපී කැළෑවේම මියදෙන මල් මෙන්ය. වටිනා කමක් නැත්තාසේය. එයින් වනුයේ එම සම්පත්වලින් මෙරටට ගත හැකි ප්‍රයෝජන නොගෙනම ඒවා විනාශයට පත්වී යාමය. මෙය කවදා කොහෙන් නවතී දැයි අපි නොදනිමු.

ඇල්පිටිය පිටුවල අඬාහැලෙන දිය ඇල්ලද එසේය. මේ දිය ඇල්ල ඇල්පිටියට පමණක් නොව මෙරටටම සම්පතක් කර ගැනීමට හැකියාව ඇතත් අදාළ බලධාරීන් ඒ දෙස නොබලා මර නින්දේය. මේ සම්පත නිසි ආකාරයට ප්‍රයෝජනයට ගතහොත් එය රටට ඩොලර් උත්පාදනය කරන ඩොලර් මැෂිමක් වැනිය.

අඬාහැලෙන දිය ඇල්ලට මේ නම ලැබීමට විශේෂ හේතුවක් තිබේ. ඒ ගලින් ගලට ගලන දිය පහර ගලා එන විට නැගෙන ශබ්ධය කෙනකු අඬන ශබ්ධයට සමාන නිසාය. ඒ නිසාම මේ දිය ඇල්ලට මේ නම ලැබී තිබේ. මේ රටේ මෙවැනි දිය ඇල්ලක් තවත් නැත. ඒ නිසාම දෙස් විදෙස් සංචාරකයෝ මේ දිය ඇල්ල නැරඹීමට ලොකු කැමැත්තක් දක්වති. එහෙත් මේ දිය ඇල්ල සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ලොකු ප්‍රචාරයක් ලබා නොදීම ප්‍රශ්නයකි. ඒ අයට ඒ සඳහා සැබෑ වුවමනාවක් නැත.

ඇල්පිටියේ අඬාහැලෙන දිය ඇල්ලෙන් රටට ඩොලර් අද්දවා ගත හැකි ආකාරය පිළිබඳව අප සමග කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ. 

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇළවේලි හා වනාන්තර සුරක්ෂිත කිරීමේ සංවිධානයේ සභාපති යසස් පණ්ඩිතරත්න මෙසේ කීවේය.

ඇල්පිටියේ අඬාහැලෙන දිය ඇල්ල සුන්දර වස්තුවක්. ලෝකයේම කොහේවත්ම නැහැ මේ වගේ දිය ඇල්ලක්. මේ දිය ඇල්ල ගලන්නේ කෙනෙක් අඬන ශබ්ධයක් ඇතිව. මේ නිසාම මේ දිය ඇල්ලට සංචාරකයන් බොහෝ කැමැතියි. එක පාරක් මේ දිය ඇල්ල බලපු සංචාරකයෙක් ආයෙත් සැරයක් දෙකක් මේ ඇල්ල බලන්න එනවාමයි. ඒ තරමටම සංචාරකයන් මේ දිය ඇල්ලට කැමැතියි.

එවන් වටිනා දිය ඇල්ලක් සංචාරක ව්‍යාපාරය සඳහා කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. එහෙත් අපේ අය මෙතනට ඇවිල්ලා මේ ස්ථානය විනාශ කරන එකයි දුක. ඒ අය කාපු, බීපුවා අතන, මෙතන ඉවක් බවක් නැතිව දාලා යනවා. එහෙත් අදාළ බලධාරීන් මේ ගැන බලන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ සුන්දර ඇල්ල විනාශවෙන එකයි. එහෙම වුණොත් මේ දිය ඇල්ල නරඹන්න එන සංචාරකයොත් නතරවේවි.

 

නිශාන්ත දේශපිය රණවීර: රටක් වටින මේ දිය ඇල්ල නරඹන්න එන සංචාරකයන්ට එන්න හරිහමන් පාරක් තොටක් නැහැ. පිටුවල හන්දියේ ඉඳලා මේ ඇල්ල තියෙන තැනට එන්න සංචාරකයන්ට දස වඳ විදින්න වෙලා තියෙනවා. ඒ තරමටම පාර අබලන්. පාරේ තාර හා ගල් ගැලවිලා විශාල වළවල් සෑදිලා. වර්ෂා කාලවලදී මේ මාර්ගය වාරිමාර්ගයක් වෙනවා. සංචාරකයන්ට යන්න වෙලා තියෙන්නේ එම මාර්ගයේ වළවල්වල බැස බැස වැටි වැටී. මේ මාර්ගයේ එන බොහෝ සංචාරකයන් මේ මාර්ග අපහසුතාව ගැන බලවත් කලකිරීමකින් තමයි අඬාහැලෙන දිය ඇල්ල නැරඹීමට එන්නේ. පාරේ අබලන් තත්වය නිසාම බොහෝ සංචාරකයන්ට දිය ඇල්ල නැරඹීමට පවා එපා වෙනවා. අපි කොයිතරම් දගලනවද ප්‍රදේශවාසීන් හැටියට මේ මාර්ගය හදා ගන්න. ඒත් අදාළ බලධාරීන්ට වගේවගක් නැහැ.

 

ඉන්දික සිරිවර්ධන මෙසේ කීවේය.

මේ වනවිට අඬාහැලෙන දිය ඇල්ල ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ඒ ප්‍රසිද්ධියත් සමගම රටක් වටින මේ සම්පතට රටේ බලධාරීන්ගේ අවධානයක් නැති එකත් මේ වනවිට ලෝකයේම ප්‍රසිද්ධ වෙමින් තියෙනවා. මේ දිය ඇල්ල බලන්න එන මාර්ගය හොදටම අබලන්. ප්‍රධාන පාරේ ඉදලාම ඇල්ල ළඟට යනකම්ම මාර්ගය අබලන්. 

තාර හා ගල් ගැලවිලා. අඩි විසි එකක් පළලයි මේ පාර. මේ පාරේ පයින්වත් යන්න බැහැ. අපිට කෙසේ වෙතත් මා මාර්ගයේ යන විදේශිකයන්ට තමයි ලොකු ගැටලු‍වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ලෝකයේ සෑම රටකින්ම පාහේ මේ දිය ඇල්ල නැරඹීමට එනවා. ඒ එන අය මේ පාරෙන් යන්නේ ලංකාව ගැන හොඳකින් නෙමෙයි.

අඬාහැලෙන දිය ඇල්ල නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට වැසිකිළි කැසිකිළි අවශ්‍යතා ඉටුකර ගැනීමට තැනක් නැහැ. අපේ ඇතැම් අය සංචාරකයන් ඇල්ලට රැගෙන යන්නේ නීත්‍යනුකූල පාරේ නෙමෙයි. ඒ අය එහේම කරන්නේ තමන්ගේ බඩ වඩා ගන්නයි. මේවා අදාළ බලධාරීන් සොයා බලන්නේ නැහැ. මේ වැඩේ නිසා සංචාරකයන් දැඩි අපහසුතාවට පත් වෙනවා.

 

සඳුනි රණවීර මෙසේ කීවාය: මේ ඇල්ලෙන් දියුණු කළ හැක්කේ ඇල්පිටිය පමණක් නෙමෙයි. පොදුවේ ලංකාවම. ලංකාවට ඩොලර් උනන උල්පතක් කරන්න පුළුවන් මේ දිය ඇල්ල. ඉස්සර වෙලාම මේ ඇල්ලට එන අබලන් මාර්ගය පිළිසකර කර යුතුමයි.

මේ දිය ඇල්ල නරඹන්න එන විදෙස් සංචාරකයන්ට නිසි ආරක්ෂාවක් නැහැ. මේ ළඟදී මේ ඇල්ල නරඹන්න පැමිණි විදෙස් කතකට අතවරයක් කරන්න තරුණයෙක් උත්සාහ කළා. අපි මැදිහත් වෙලා ඒ තරුණයා අල්ලා පොලිසියට භාරදුන්නා. ආයෙත් නම් ඒ කාන්තාව මෙහේ ඇල්ල බලන්න එන එකක් නැහැ.

මේ සංචාරකයන්ට ඇල්ල බලන්න යන්න තියෙන්නේ බෙරලිය රක්ෂිතය මැදින්. ඕනෑම අයකුට රක්ෂිතයේ සැගවිල ඉදලා විදෙස් සංචරකයකුට අතවරයක් හෝ අනතුරක් සිද්ධ කරන්න පුළුවන්. අඬාහැලෙන ඇල්ල නැරඹීමට එන සංචාරකයාට කිසිම ආරක්ෂාවක් නැහැ. ඇල්ල අවට අනවසරයෙන් වැලි ගොඩ දානවා. රක්ෂිතයේ වටිනා ගස් කොළන් කපාගෙන යනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම කරලා තියෙනවා. පරීක්ෂණ ප්‍රමාදයි. මේ ඇල්ල රැක්කේ නැත්නම් මේ පළාතටම විශාල පාඩුවක්.

 

නයනා රාජපක්ෂ මෙසේ කීවාය: අඬාහැලෙන ඇල්ල නැරඹීමට සංචාරකයෝ දෙපිරිසක් එනවා. දේශීය සහ විදේශීය ලෙස. මේ දෙපිරිසටම අඬාහැලෙන ඇල්ල නැරඹීමට නම් ඒ සඳහා ඇල්ල ආසන්නයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශපත් අලෙවි කවුළුවෙන් ප්‍රවේශපත් මිලදී ගත යුතුයි. දේශීය සංචාරකයන්ට එක මිලකුයි. විදේශීය සංචාරකයකුට එක මිලකුයි වශයෙන්. දේශීය සංචාරකයකුට රුපියල් 75 යි. විදේශීය සංචාරකයාට රුපියල් 930ක්. ප්‍රශ්නය මේ මිල ගණන් නෙමෙයි. ඇල්ල නරඹන්න එන සියලු‍ දෙනාගේම ඔළු ගණනට මුදල් ගත්තත් ටිකට් කඩන්නේ එකයි දෙකයි. නැත්නම් ටිකට් නොකඩාම කොළයක නම් ලියලා සල්ලි ගන්නවා. විදෙස් සංචාරකයන් දහයක් ආවොත් ඒ දහදෙනාගෙන්ම සල්ලි ගත්තත් ටිකට් කඩන්නේ දෙතුන් දෙනාටයි. මේ චෝදනාව ලොකුවටම තියෙනවා. රජයට එන්න ඕන මුදල් එකෙනෙක්, දෙන්නෙක්ගේ අතට යනවා. ඇල්ලෙන් රජයට ලැබිය යුතු ආදායම කාගෙවත් සාක්කුවලට යාමට ඉඩ නොදිය යුතුයි.

 

පිටුවල ලියනගේ නුවන්: අඬාහැලෙන දිය ඇල්ල පිළිබඳව හඬක් නගන්න ඕන කාලයක් මේක. එහෙත් අපේ අය කරන්නේ ඒකේ අනික් පැත්තයි. අඬාහැලෙන දිය ඇල්ල වගේ ඒ අයත් ඉන්නේ අඬ අඬායි. මේ දිය ඇල්ලෙන් රටට ඩොලර් ගේන වැඩපිළිවෙළක් ඒ අය කරන්නේ නැහැ. අඩුම තරමින්වත් මෙහෙම දිය ඇල්ලක් තියෙනවා කියලවත් අදාළ බලධාරීන් ලෝකයට හඬගා කියන්නේ නැහැ. එහෙම කියනවනම් මේ දිය ඇල්ල බලන්න ලෝකයේ හතර වටින්ම සංචාරකයෝ එනවා. 

අඬාහැලෙන ඇල්ල සමීපයේ බෙරලිය රක්ෂිතයේ ස්ථාපිත කර ඇති වන සංරක්ෂණ කාර්යාලයෙන් කළ විමසීමකදී අයථා ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් බෙරලිය රක්ෂිතයේ සිදුවන අනවසර ක්‍රියාකාරකම් පිළිබදව සාක්ෂි සහිතව අදාළ බලධාරීන්ට පැමිණිලි කළ හැකි බව එහි ප්‍රකාශකයකු කීවේය.

 

මේ පිළිබඳව ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගාලු‍ දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීවේය.

අඬාහැලෙන ඇල්ලට එන පාර ප්‍රතිසංස්කරණය කිරීමට අවශය කටයුතු මේ වනවිට සම්පාදනය කර තිබෙනවා. එය නුදුරු දිනයේදි සිදුවෙන බව කියන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සංචාරක ව්‍යාපාරය බලවත් කිරීම වත්මන් රජයේ අරමුණයි. ඒ නිසා ඒ යටතේ ඇල්පිටියේ අඬාහැලෙන ඇල්ල සංවර්ධනය කොට සංචාරක ආකර්ෂණය ඇති කිරීම රජයේ වගකීමයි. ඒ වගේම අනෙක් අඩුපාඩු හා චෝදනා සම්බන්ධයෙන් අදාළ දැනුවත් කිරීමට පියවර ගන්නවා.



අදහස් (0)

අඬාහැලෙන දිය ඇල්ල ඩොලර් උල්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 651 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site