මහජන කොටස් හිමිකාරීත්වය නොමැති සමාගම් වෙත කොන්දේසි සහ අනුකූලතා කිහිපයක්


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ සිදු කරන සමාගම් ලැයිස්තුගත කිරීම් වේගවත් කිරීම සඳහා සහායක් ලෙස, ඉන්ට්‍රඩක්ෂන් ක්‍රමවේදය යටතේ සිදු කරන ලැයිස්තුගත කිරීම් සම්බන්ධයෙන් පවතින අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ වන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (CSE) පවසයි.
ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ලැයිස්තුගත කිරීම් සඳහා වන රෙගුලාසි සම්බන්ධයෙන් සංශෝධන සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි. මෙම සංශෝධනය එම කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාරාමුව ශක්තිමත් කිරීමේ මූලික ක්‍රමෝපායික මුලපිරීම් 12 අතර 6 වැනි ව්‍යාපෘතිය ලෙස පවතින නව ලැයිස්තුගත කිරීම් (රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්) යටතේ යෝජනා කර තිබූවකි.
මෙම 6 වැනි ව්‍යාපෘතිය මගින් ජාතික ප්‍රාග්ධන සැකසීම, ලැයිස්තුගත සමාගම් වෙත හිමිවන ප්‍රතිලාභ සහ අවස්ථා පෙන්නුම් කරමින් ලැයිස්තුගත කිරීම ප්‍රවර්ධනය කිරීම සහ මහාපරිමාණ සමාගම් කොටස් වෙළෙඳපොළ වෙත ආකර්ෂණය කරගනිමින් වෙළෙඳපොළ ශක්තිමත් බව, ද්‍රවශීලතාව සහ ආයෝජන විශ්වාසය තවදුරටත් දියුණු කරගැනීමත් අරමුණු වෙයි.
මෙලෙස ලිහිල් කෙරුණු නියාමන රෙගුලාසි යටතේ, ඉන්ට්‍රඩක්ෂන් ක්‍රමවේදයෙන් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ හෝ දිරි සවි පුවරුවේ ලැයිස්තුගතවීමට බලාපොරොත්තු වන, එහෙත් අවම මහජන කොටස් හිමිකාරීත්ව අවස්ථාව පවත්වාගෙන යා නොහැකි සමාගම් වෙත කොන්දේසි සහ අනුකූලතා කිහිපයක් යටතේ එම ලැයිස්තුගතවීමට අවස්ථාව ලබා දෙන බව බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (CSE) වැඩිදුරටත් සඳහන් කර සිටියි.