හොඳම කළමනාකරණ පිළිවෙත් - සමාගම් සම්මාන උළෙල 2026 [Chartered Professional Management (CPM) Best Management Practices Company Awards 2026]  හි දී එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම (ASTL)  නොකඩවා තුන්වන වරටත් කළමනාකරණ පිළිවෙත් සඳහා ජයග්‍රහණ අත්පත් කරගත්තේ ය.  ඒ අනුව සංචාරක හා ආගන්තුක සත්කාර සේවා අංශ කාණ්ඩයෙන් එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සම්මානයට පාත්‍ර විය.  තවද, එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පළමු පෙළේ සමාගම් 40 අතරට එක්වීමේ හැකියාව ද ඒ හරහා හිමි වූ අතර මෙය, විශිෂ්ටත්වය හා ඉහළ ප්‍රමිතිය කෙරෙහි සමාගම දක්වන අඛණ්ඩ කැපවීම ඇගයීමට ලක් වූ තවත් සුවිශේෂී අවස්ථාවකි.       
සංචාරක කර්මාන්තය තිරසර සංචාරක කර්මාන්තයක් වෙත ගෙන යාමේ උත්සාහයට එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම යොමු කළ ක්‍රමෝපායික අවධානය මනාව විදහා දැක්වීම මෙම ජයග්‍රහණයට තවත් හේතුවකි.  සිය  මෙහෙයුම් කටයුතු සිදුවන පාරිසරික, සංස්කෘතික සහ සමාජ-ආර්ථික වටපිටාව යථාවත් කර, වැඩිදියුණු කිරීම උදෙසා සමාගම විසින් තිරසර භාවය ඉක්මවා යන ප්‍රවේශයක් ගෙන ඇත.  එසේ ප්‍රවේශ වී ඇත්තේ පුනර්ජනනීය සංචාරක කර්මාන්තය (regenerative tourism) වෙතටයි.    
පුනර්ජනනීය සංචාරක කර්මාන්තය (regenerative tourism)   යනු සංචාරක ව්‍යාපාරයේ දී සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට දැනුවත් භාවයෙන් යුතු සාමාන්‍ය ජනතාවගේ දායකත්වය ලබාගැනීම හරහා ඔවුන් වෙත ද අප පරිසරයට සේ ම ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදා කර දීමයි.  එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් වැනි සමාගම්, සංචාරක ක්ෂේත්‍රයේ සෑම කොටස්කරුවකු හා සෑම පාර්ශ්වකරුවකු ම එකට එක් කරමින්, සමාගමේ දිගු-කාලීන ඉලක්කවලට යමින්, මතු පරපුර වෙනුවෙන් පරිසරය හා සමාජය වඩාත් යහපත් හා සුරක්ෂිත තැනක් බවට පත් කිරීමට කටයුතු කිරීමට පෙරමුණ ගෙන ඇත.  එහි ප්‍රතිඵලයක් ලෙස තිරසර සංචාරක ක්‍රියාපටිපාටි, පුනර්ජනනීය සංචාරක කර්මාන්තයකට පරිවර්තනය වීමේ යහපත් මාවතක් වෙත යොමු වෙමින් පවතියි.  උදාහරණයක් ලෙසට, වන සත්ව සම්පත සුරැකීමෙන් පරිසරයට ආදරය කරන විදේශිකයන්ට එය රසවිඳීමේ අවස්ථාව ලබාදිය හැකිය.  ඒ හරහා ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව මෙන්ම සතුන් හා පරිසරය සුරැකීමට ද හැකි වේ.          
එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නලින් ජයසුන්දර මහතා මෙසේ කියා සිටියේය.  “එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම තුළ ක්‍රියාත්මක තිරසර සංචාරක ක්‍රියාවලිය යනු තවත් එක් හුදෙකලා වැඩපිළිවෙළක් නොවෙයි.  එය අපගේ සමාගමේ ක්‍රමෝපාය දිශානතියට හා පාලන කාර්යරාමුවට බෙහෙවින් වැදගත් වූ ක්‍රියාවලියකි.”  එයිට්කින් ස්පෙන්ස් සමූහය විසින් අනුගමනය කරනු ලබන සවිමත් පාලන ක්‍රමවේදය, වගවීම හා අධීක්ෂණය සහතික කෙරෙන ප්‍රතිපත්ති හා සමීපව පෙළගස්වා ඇති තිරසර වැඩපිළිවෙළ සමගින් මෙම ක්‍රියාවලි වෙතට එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ අප දක්වන දායකත්වය ද මෙමගින් පිළිබිඹු වේ.  ශ්‍රී ලංකාවේ ගමනාන්ත කළමනාකරණ සමාගම් අතරින් ගෝලීය තිරසර සංචාරක කවුන්සිලය (GSTC)  සහ Travelife ද්විත්ව සහතික කිරීම් හිමි කරගෙන ඇති එකම සමාගම ද එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම බව සඳහන් කිරීම වටී.  ඊට අමතරව, ISO  සහතික කිරීම් ද ASTL  සමාගම සතු ය.  වගකීමෙන් යුතු, පුනර්ජනනීය සංචාරක කර්මාන්තයකට නායකත්වය දෙමින් කටයුතු කරනASTL  සමාගමට එකී සහතික කිරීම් ඉමහත් ශක්තියකි.  
ලද ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිනිය වන ස්ටෂානි ජයවර්ධන මෙනෙවිය මෙසේ පැවසුවාය. “තිරසර භාවය යනු එයිට්කින් ස්පෙන්ස් සමූහයේ ආචාරධර්මවල පුළුල් පැතිකඩකි.  එය අපගේ ක්‍රමෝපාය දිශානතියට හා පාලන කාර්යරාමුවට කාවද්දා ඇති අයුරු මනාව පෙන්නුම් කිරීමට එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම නැවත වරක් සමත් ව තිබෙනවා.  සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව අපගේ සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍ර පුරාවට අප මෙහෙයුම් කටයුතු කරන්නේ වගවීම, ගැළපීම, හා වගකීම සහිත දියුණුවක් සහතික කරමිනි.” 
එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ සියලු වැඩපිළිවෙළ කේන්ද්‍රකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක හා සමගාමී වන ප්‍රජා බලගැන්වීම, පාරිසරික සංරක්ෂණය, හා වගකීමෙන් යුතු සංචාර කටයුතු වටා ය.  තම ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට තිරසර පිළිවෙත් මනාව කාවැද්දීමට සමාගම කැප වී සිටින්නේ එසේ ය.  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංචාරකයන්ට පිරිනමන සේවාවෙහි උසස් බව වෙනුවෙන් ඉදිරිය ගැන සිතා කටයුතු කිරීමේ ප්‍රවේශයක් අනුගමනය කිරීමට එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම නිරන්තරයෙන් තම අවධානය යොමු කර ඇත.        
සංචාරක සේවා අංශ කාණ්ඩයෙන් ජයගැනීම හා පළමු සමාගම් 40 අතරට පැමිණීම යන ද්විත්ව පිළිගැනීම්වලින් එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සාඩම්බරයෙන් පෙන්වා දෙන්නේ තම මෙහෙයුම් කටයුතුවල විශිෂ්ටත්වය, නවෝත්පාදනය, හා දිගු-කාලීන වටිනාකම් නිර්මාණය වෙත දක්වන නොසැලෙන කැපවීමයි.  සංචාරක කර්මාන්තය යනු නිරන්තරයෙන්ම වෙනස් වෙමින් දියුණුවෙන් දියුණුවට පත්වන කර්මාන්තයකි.  එය මනාව වටහා ගෙන ඇති එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම, ප්‍රජාවන්ට හා පරිසරයට සුබවාදී දායකත්වයක් සපයමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටියි.