
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සෑම තැනැත්තෙක්ම තක්සේරු වර්ෂයක් අවසාන වී එළඹෙන නොවැම්බර් 30 දින හෝ එදිනට පෙර ආදායම් බදු වාර්තාවක් භාරදීම අනිවාර්ය නීතිමය අවශ්‍යතාවකි. ඒ අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සමාගම්, හවුල් ව්‍යාපාර සහ තනි පුද්ගල යන සෑම තැනැත්තෙක්ම තමන්ගේ ආදායම් බදු වාර්තාව මාර්ගගතව (Online) ගොනු කළ යුතුය. මේ අතරින් ඇතැම් තැනැත්තන් බදු උපදේශන ආයතනයක හෝ තමන්ගේම කාර්ය මණ්ඩලයේ සහයෝගය ඒ සඳහා ලබා ගනී. එවැනි සහායක් නොමැති පුද්ගලයන්ට ආදායම් බදු වාර්තාව තනිවම සම්පූර්ණ කරගැනිම සඳහා මගපෙන්වීම මේ ලිපියේ අරමුණ වේ.
කිසියම් වර්ෂයක අප්‍රේල් මස 01 වැනි දිනෙන් ආරම්භ වන සහ ඊළඟට එළඹෙන වර්ෂයේ මාර්තු 31 දිනෙන් අවසන් වන මාස 12 ක කාලය තක්සේරු වර්ෂයක් ලෙස හඳුන්වනු ලැබේ. එම කාලය තුළ යම් පුද්ගලයෙකුට සේවා නියුක්තියෙන්, ව්‍යාපාර කිරීමෙන්, ආයෝජන මගින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ආදායම් උත්පාදනය විය හැකිය. එලෙස උපයාගත් මුළු ආදායම තක්සේරු කළ හැකි ආදායම වේ. මේ තක්සේරු කළ හැකි ආදායමෙන් කුලී ආදායම් සඳහා සහනය, සූර්ය පැනල සවිකර විදුලි බල මණ්ඩලයට සපයා තිබෙන විට හිමිවන සහනය සහ පෞද්ගලක සහනය අඩුකළ හැකිය. තවද දේශීය ආදායම් පනතට අනුව සුදුසුකම් ලබන ගෙවීමක් තිබේ නම් එයද අඩුකර බදු අය කළ හැකි ආදායම ගණනය කළ යුතුය.
ඒ අනුව පුද්ගලයන් සඳහා 2024/2025 තක්සේරු වර්ෂයේ බදු අයකළ හැකි ආදායමේ පළමු රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 6 බැගින් ද, ඊළඟ ලක්ෂ 5 සඳහා සියයට 12 බැගින් ද, ඊළඟ ලක්ෂ 5 සඳහා සියයට 18 ක් බැගින් ද, ඊළඟ ලක්ෂ 5 සඳහා සියයට 24 ක් ද, ඊළඟ ලක්ෂ 5 සඳහා සියයට 30 බැගින් ද, ඉන්පසු ඉතිරිවන ඕනෑම ප්‍රමාණයකට සියයට 36 බැගින් ද, පුද්ගල ආදායම් බදු අයකරනු ලැබේ.
ඉහත සඳහන් කළ පරිදි ගෙවිය යුතු බදු මුදල ගණනය කළ පසු ගෙවන ලද බදු බැර තිබේ නම් ඒවා අඩු කළ යුතුය. උදාහරණයක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ වැටුප් ගෙවීමේ දී ආයතනය විසින් අඩුකළ පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද (APIT), බැංකු විසින් පොලී මත අඩු කළ රඳවාගැනීමේ බද්ද (WHT), කාර්ත මත ගෙවන ස්වතක්සේරු ගෙවීම් (SA Payments) සහ වෙනත් රදවා ගැනීමේ බදු දැක්විය හැකිය. අදාළ බදු බැර ලබාගත් පසු තවදුරටත් ගෙවීමක් තිබේ නම් එම බදු මුදල ද ගෙවා අවසන් කළ යුතුවේ.
ඉන්පසු තනි පුද්ගලයෙකු ඉදිරිපත් කළ යුතු ආදායම් බදු වාර්තාව සම්පුර්ණ කළ යුතු අතර එය කොටස් 2 කින් සමන්විත වේ. එහි පළමු කොටසේ බදු ආගණනය දක්වන අතර, දෙවැනි කොටසේ බදු ගෙවන්නාගේ ප්‍රකාශය අන්තර්ගත වේ. 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ සම්මත ආදායම් බදු වාර්තාවේ බදු ආගණනය කිරීමේ කොටසට අදාළ වන උපලේඛන ද වෙන වෙනම ඇත. ඒවායෙන් තමන්ට අදාළ වන උපලේඛන පමණක් තෝරාගෙන සම්පූර්ණ කළ යුතුවේ. තවද එම තක්සේරු වර්ෂයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශය ද සම්පුර්ණ කළ යුතුය.
සම්මත ආදායම් බදු වාර්තාව සම්පූර්ණ කිරීමේදී ඇතැම් බදු ගෙවන්නන්ට ඇති විය හැකි දුෂ්කරතා සැලකිල්ලට ගෙන “සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාවක්” (Simplified IIT Return) සකස් කර තිබේ. මාර්ගගත ක්‍රමයට ආදායම් බදු වාර්තාව ලබා දීම අනිවාර්ය කළ 2023/2024 තක්සේරු වර්ෂයේදී මෙය හඳුන්වා දුන් අතර එය තවදුරටත් දියුණු කර 2024/2025 තක්සේරු වර්ෂය වෙනුවෙන් ද ඉදිරිපත් කර තිබේ. මෙලෙස සරල කරන ලද ආදායම් බදු වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන කණ්ඩායම වන්නේ සේවා නියුක්ති ආදායම (ප්‍රාථමික හෝ ද්විතීයික) බැංකු හෝ මුල්‍ය අායතන මගින් පොලී අාදායම ලැබෙන සහ සූර්ය පැනල මගින් ආදායම ලබන පුද්ගලයන්ය. එයට අමතරව ඉහත සඳහන් කළ කණ්ඩායමට අයත්වන එහෙත් එම තක්සේරු වර්ෂයේ බදු අයකළ හැකි ආදායමක් නොමැති අවස්ථාවක දී ශුන්‍ය වාර්තාව (NIL) ද මේ සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව මගින් ම ලබා දිය හැකිය.
සෑම තැනැත්තෙකුම තම ආදායම් බදු වාර්තාව මාර්ගගතව (Online) ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවකි. වාර්තාව සම්පූර්ණ කිරිමට පෙර ඒ සඳහා යම් සුදානමක් අවශ්‍ය වේ. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතියට පිවිසිම සඳහා වන මුරපදය (PIN), සේවා යෝජකයා විසින් වැටුපෙන් අඩු කළ බදු පිළිබද සඳහන් T-10 සහතිකය, බැංකු හෝ මුල්‍ය ආයතන විසින් පොලී මත රඳවාගැනිමේ බදු අඩු කිරිම් පිළිබද ලබාදෙන සහතික (WHT Certificates) සහ සූර්ය පැනල ආදායම දැක්වෙන ලේඛනද අවශ්‍ය වේ. තවද ඒ සියල්ල පරිලෝකනය (Scan) කර මෘදු පිටපත් (PDF) ලෙසද තිබිය යුතුය. මෙයට අතිරේකව අදාළ තක්සේරු වර්ෂයේ ඔබගේ වත්කම් සහ බැරකම් පිළිබද තොරතුරුත් විද්‍යුත් තැපැල් ලිපිනයත් සුදානම් කර ගත යුතුය.
ඉන්පසුව ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය හෝ පරිගණකයක් මගින් www.ird.gov.lk යන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එහි ඊ සේවා (e-services) තෝරාගෙන ඊ සේවා වෙත පිවිසීම (Access to e-services) මගින් තනි පුද්ගල බදු ගෙවන්නා (Individual Taxpayer) ඉදිරියේ සලකුණු කර ප්‍රවේශ වීමට (Proceed to Login) යන බොත්තම ඔබන්න. ඉන්පසු දිස්වන තිරයේ ඔබගේ TIN සහ PIN ඇතුළත් කර RAMIS පද්ධතියට පිවිස ඔබටම අනන්‍ය වූ මුරපදයක් සකසා ගන්න. මෙය අකුරු සහ ඉලක්කම් 8 කින් යුතුව සකසා ගත යුතුය.
ඉන්පසු ඔබට අදාළ Dashboard එකට පිවිසෙනු ලැබේ. එහි Return / Schedule යටතේ Individual Tax (IIT) තෝරාගෙන හෝ Return filing status අයිකනය යොදාගෙන වාර්තා දැක්වෙන පිටුවට පිවිසෙන්න. එවිට ඔබ වෙත මෙතෙක් නිකුත් වී තිබෙන සහ ඔබ විසින් ලබා දී ඇති ආදායම් බදු වාර්තා පෙන්නුම් කරනු ලැබේ. ඒ යටතේ තිබෙන 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ තිරුවේ අවසානයේ තිබෙන Submit e - file මගින් ඉදිරියට යන්න. ඉන්පසු දිස්වන පිටුවේ 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ තිරුවේ ඉදිරියෙන් ම තිබෙන කුඩා කොටුව මත සලකුණු කර Proceed බොත්තම ඔබන්න. ඉන් පසුව ඔබගේ ආදායම් මුලාශ්‍ර තෝරා ගැනීමට අවස්ථාව හිමිවේ. එහි 1 සිට 4 දක්වා තිබෙන ආදායම් හෝ 5 වැනි අංකය යටතේ තිබෙන ශුන්‍ය වාර්තාව (NIL) යන්න ඉදිරියේ තිබෙන තම තමන්ට අදාළ වන කුඩා කොටු සලකුනු කරන්න. ඉන්පසු ඉදිරියට ගිය විට සරල කරන ලද පුද්ගල ආදායම් බදු වාර්තාව ලැබේ. කෙසේ වෙතත් යම් පුද්ගලයකු සතුව ව්‍යාපාර ආදායම්, කුලී ආදායම් වැනි වෙනත් ආදායම් ප්‍රභවයක් පවතීනම් ඔවුන් අවසානයේ දක්වා ඇති කොටුව 6 මත ලකුණු කර සම්මත ආදායම් බදු වාර්තාව ලබා ගත යුතුය.
සරල කරන ලද ආදායම් බදු වාර්තාව තිරයේ දිස්වන විට ඔබගේ සේවානියුක්ති ආදායම, පොලී ආදායම මෙන්ම සේවා ස්ථානයේදී අඩුකළ APIT සහ බැංකු පොලී මත අඩුකළ WHT ප්‍රමාණ ස්වයංක්‍රීයව RAMIS පද්ධතියේ පෙන්නුම් කරනු ලැබේ. එය පරික්ෂා කර වරදක් තිබේ නම් එය ඉවත් කර (Remove) නිවැරදි ඒවා ඇතුළත් කළ හැකිය (Add). යම් පුද්ගලයකුගේ සේවා නියුක්ත ආදායම හෝ පොලී ආදායම ස්වයංක්‍රීය වාර්තාවට ඇතුළත් වී නොමැති නම් T-10 සහතික සහ WHT සහතිකවලට අනුව අදාළ විස්තර ඇතුළත් කළ යුතුය. ඉන්පසු ස්වයංක්‍රීයව සැකසෙන ඔබගේ බදු සාරාංශය පරික්ෂා කරන්න. එහි තවදුරටත් ගෙවිය යුතු බද්දක් තිබේ නම් එය ගෙවීමට කටයුතු කළ යුතු අතර ආපසු ගෙවීමක් තිබේ නම් ඉදිරි කාලයේදී එම ආපසු ගෙවීම් ඔබ වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දීමට කටයුතු කරනු ඇත. මෙම කොටස අවසන් වූ පසු කෙටුම් පත සුරකින්න (Save draft) යන බොත්තම ඔබා ඊළඟ (Next) යන බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබගේ වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු ඇතුළත් කරන්න. (2023/2024 තක්සේරු වර්ෂය සඳහා ඔබ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබේ නම් එය 2024/2025 තක්සේරු වර්ෂය සදහා සංක්‍රීයව පෙන්නුම කරනු ඇත). ඉන්පසු කෙටුම් පත සුරකින්න (Save draft) යන බොත්තම ඔබා ඊළඟ (Next) යන බොත්තම ඔබන්න. එවිට ඔබ ප්‍රකාශය (Declaration) සිදුකරන පිටුවට යොමු කරනු ලැබේ. එහිදී අනුමත ගණකාධිකාරිවරයෙකු හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් ගෙවීමක් සඳහා වාර්තාව හෝ වාර්තාවේ කොටසක් සකස් කළේ නම් එම පුද්ගලයා පිළිබඳ අදාළ තොරතුරු ඇතුළත් කළ යුතුය. එසේ නොවේ නම් නැත (No) යන්න සඳහන් කර බදු ගෙවන්නාගේ ප්‍රකාශය සම්පූර්ණ කරන්න. එය අවසන් විමෙන් පසු කෙටුම් පත සුරකින්න (Save draft) යන බොත්තම ඔබා ඊළඟ (Next) යන බොත්තම ඔබන්න.
එවිට ඔබව සනාත (Confirmation) කිරීමේ පිටුවට යොමු කරනු ලැබේ. ඔබට අදාළ සියලුම තොරතුරු එම පිටුවේ දක්වා තිබෙන අතර සියල්ල නිවැරදි දැයි පරික්ෂාකර යම් සංශෝධනයක් (Edit) වේ නම් එය සිදුකරන්න. ඉන් පසුව අදාළ උපකාරක ලේඛන තිබේ නම් එවා උඩුගත (Upload supporting documents) කර අවසන් වූ පසුව ඔබගේ වාර්තාව මුද්‍රණය (Print) කර ගැනිම හෝ Pdf ලෙස සුරැකිව (Save) තබා ගැනීම හෝ කරන්න. මේ අවස්ථාවේ උපකාරක ලේඛන උඩුගත නොකර පසුව එය කරන්නේ නම් පසුව (Later) යන්නත් එවන් ලේඛන නොමැති නම් අවශ්‍ය නොවේ යන බොත්තමත් ඔබන්න. ඉන්පසු ඉදිරිපත් (Submit) කරන්න යන බොත්තම ද ඔබන්න. එවිට ඔබගේ වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු වේ.
මෙලෙස සරල කරන ලද ආදායම් බදු වාර්තාව ඉතා පහසුවෙන් ඉදිරිපත් කිරීමට ඔබට පහසුකම් සලසා ඇත. එය උපයෝගී කරගනිමින් නොවැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ආදායම් බදු වාර්තා භාරදී නීතියට අනුගත වන්න. එසේ නොවීම මත දේශීය ආදායම් පනතේ දක්වා තිබෙන දඩුවම්වලට ඔබ ලක්විය හැකිය. එවන් තත්වයන්ට මුහුණ නොදී ඔබගේ වගකීම ඉටුකිරීමට දැනුවත් කිරීම සහ උපකාර කිරිම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සරල කළ පුද්ගල ආදායම් බදු වාර්තාව බදු ගෙවන්නාට පහසුවක්