ඡායාරූප සහ සටහන - දියතලාව - ඩී.කේ.රත්න
පාරම්පරික හුණු කර්මාන්තයට බලපා ඇති ගැටලු රැසක් හේතුවෙන් මේ වන විට එම කර්මාන්තය කඩාවැටීමට ලක්වී විනාශයට පත්වෙමින් පැවතීම නිසා බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ හුණු කර්මාන්තයේ යෙදෙමින් සිය ජීවිතය ගොඩගත් පාරම්පරික හුණු කර්මාන්තකරුවෝ විශාල පිරිසක් කිසිවක් කර කියා ගත නොහැකිව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
බදුල්ල ප්‍රදේශයට අයත් සොරණාතොට, මැඩිතලේ හා දුන්හිද ප්‍රදේශයේ ගම්මානවල පදිංචි විශාල පිරිසක් ඈත අතීතයේ රජ දවස සිටම සිය ජීවන වෘත්තිය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවටම මෙම හුණු කර්මාන්තයේ යෙදෙමින් සිය ජීවනෝපාය සරි කර ගනිමින් ජීවත්වෙති.
එහෙත් මේ වන විට මෙම කර්මාන්තයට අවශ්‍ය හුණු ගල් ලබා ගැනීමට ඇති දුෂ්කරතාවත්, දර සහ පොලිතීන්වල මිල විශාල ලෙස ඉහළ යාමත්, මේ වන විට රට පුරා විශාල ලෙස තීන්ත පැවතීමත් නිසා තමන් නිෂ්පාදනය කරන හුණුවලට වෙළෙඳපොළේ නිසි මිලක් නොතිවීමත් නිසා මේ වන විට මෙම හුණු කර්මාන්තයේ යෙදෙන පිරිස් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි එම පිරිස කියති.
හුණු නිෂ්පාදනය කිරීම සදහා යෝග්‍ය හුණු ගල් මේ වන විට මෙම ප්‍රදේශයේ නොමැති හෙයින් එම ගල් මහනුවර දිගන ප්‍රදේශයෙන් රැගෙන ඒම කරන අතර ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ. එම ද්‍රව්‍ය හා දර ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීමට සිදුවීමත්, මෙම අමු ද්‍රව්‍යවල මිල ඉතාමත්ම ඉහළයාම නිසා විශාල වියදමක් දැරීමට සිදුවීමත් මත මේ වන විට මෙම හුණු කර්මාන්තය කිරීමෙන් ජීවත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇතැයි බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ හුණු කර්මාන්තයේ යෙදෙන පිරිස් කියති.
වෙළෙඳපොළේ තීන්ත විශාල ලෙස පැවතීම නිසා තම හුණු සදහා මේ වන විට ඉල්ලුම අඩුවී ඇති බවත් විට කෑමට පමණක් මේ වන විට ජනතාව හුණු භාවිත කිරීමට පුරුදුවීම නිසා තමන් නිපදවන හුණු වෙළෙඳපොළට රැගෙන ගිය විට අලවි කර ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවත් හුණු කර්මාන්තයේ යෙදෙන පිරිස් කියති.
අතීතයේදී සිංහල අලුත් අවුරුදු සමයේදී ජනතාව නිවෙස්වල හුණු ආලේප කිරීම නිසා එම කාලවලට විශාල ඉල්ලුමක් පැවතියද මේ වන විට ජනතාව තම නිවෙස්වල හුණු ආලේප නොකර තීන්ත ආලේප කිරීමට පුරුදුවීම නිසා මේ වන විට අලුත් අවුරුදු සමයට පවා හුණු සඳහා ඉල්ලුම අඩුවී ඇතැයි හුණු කර්මාන්තයේ යෙදෙන පිරිස් කියති.
බදුල්ල සොරණාතොට මැඩිතලේ ප්‍රදේශයේ පදිංචි හුණු කර්මාන්තයේ නියුතු එච්.එම්.සරත් විජිත බංඩාර මහතා මෙසේ පැවසීය:- අපි බදුල්ල සොරණාතොට මැඩිතලේ ප්‍රදේශයේ හුණු කොටු කර්මාන්තය තමයි කරගෙන යන්නේ. මේ කර්මාන්තය අතීතයේ රජ දවස සිටම පරම්පරාවෙන් පරම්පරාවට මෙම ප්‍රදේශයේ කරගෙන යනවා. ඉස්සර මේ සදහා අවශ්‍ය හුණුගල් බදුල්ල ප්‍රදේශයේම ඕනෑ තරම් තිබුණා. එහෙත් දැන් එම හුණුගල් පැවති ඉඩම් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම නිසා මේ කර්මාන්තයට අවශ්‍ය හුණුගල් මෙම ප්‍රදේශයේ නෑ. එම නිසා මේ වන විට පිට මෙම හුණු ගල් මහනුවර දිගන ප්‍රදේශයෙන් රැගෙන ඒමට සිදුවී තිබෙනවා.
එම නිසා හුණුගල් රැගෙන ඒමට විශාල වියදමක් යනවා. ඒ වගේම දර සොයා ගැනීමටත් නොහැකිවෙලා තිබෙනවා. දර සදහාත් විශාල වියමක් යනවා. අනෙක අපිට මෙම දර ගල් ආදිය රැගෙන ඒමට පර්මිට් ගන්නත් වෙලා තියෙනවා. ඒවටත් විශාල වියදමක් යනවා වගේම දවස් ගාණක් රස්තියාදු වෙන්නත් වෙලා තියෙනවා.
විශාල වියමක් දරා මේ හුණු කර්මාන්තය කළත් නිෂ්පාදනය කරන හුණු අලවි කර ගැනීමට යාමේදී තවත් විශාල කරදරයකට පත්වෙනවා. මේ වන විට හුණු සඳහා වෙළෙදපොළේ හොද ඉල්ලුම් නෑ. මේ වන විට රටේම ජනතාව නිවෙස්වල හුණු ආලේප නොකර තීන්ත වර්ග ආලේප කිරීමට පටන්ගෙන තිබෙනවා. එම නිසා අපේ හුණුවලට ඉල්ලුම අඩවෙලා තියෙන්නේ. ඒ නිසා මේ වන විටත් බොහොමයක් හුණුකොටු වැසී ගොස් තිබෙනවා. මේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් නොකලොත් මෙම කර්මාන්තය නැත්තටම නැතිවී මෙයින් යැපුණ විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවකට ලක්වෙනවා. ඒ නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කර දෙන්නයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පදිංචි හුණු කර්මාන්තයේ නියුතු අකිල මදුසංඛ මහතා:- ඉස්සර නම් මෙම කර්මාන්තය ඉතා හොදින් කර ගෙන ගියා. අපිට හොඳ ආදායමකුත් ලැබුණා. අපි හැමදේම කළේ මෙම කර්මාන්තයෙන් උපයා ගන්නා මුදල්වලින් තමයි.
එහෙත් මේ වන විට මෙම කර්මාන්තයට කණකොකා හඩලා. දැන් මේ කර්මාන්තයෙන් විශාල පිරිසක් ඈත්වෙමින් සිටිනවා. කිසිදු රජයක් මේ ගැන සොයා බලන්නෙ නෑ. ඒ නිසා මේ වන විට මෙම කර්මාන්තයේ යෙදෙන පිරිස් දැඩි දුෂ්කරතාවට පත්වෙලා.
හුණු කර්මාන්තයට අවශ්‍ය ගල් සහ දරවල මිල ඉතාමත්ම ඉහළ ගිහින්. ඒවා රැගෙන ඒම සදහා විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. කම්කරු කුලිය පවා මේ වනවිට ඉතාම ඉහළ ගිහින් තියෙනවා. ඒ සා විශාල වියදමක් දරා මෙම කර්මාන්තය කළත් අපේ නිෂ්පාදනවලට නිසි මිලක් නෑ. අලෙවි කර ගැනීමට රැගෙනගිය විට බොහෝ වෙළෙඳසැල් හිමියන් දැන් හුණු මිලදී ගන්නේ නෑ. මේ වන විට මේ කර්මාන්තයේ යෙදෙන සොරණාතොට ගම්මානයේ විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්වෙලා. ඒ නිසා මේ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කර හුණු කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන්නයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පදිංචි හුණු කර්මාන්තයේ නියුතු කේ.එම්.පියසේන මහතා:- අතීතයේ සිටම මෙම ගම්මානවල ජනතාව විශාල ලෙස හුණු කර්මාන්තයේ යෙදුනත් මේ වන විට මෙම කර්මාන්තය නැතිවීගෙන යමින් පවතිනවා. අතීතයේ සිට විශාල පිරිසක් ජීවත් වූ මෙම කර්මාන්තය විනාශවීමට ඉඩහැර බලාගෙන සිටීම ඇත්තටම විශාල අපරාධයක්. මේ වන විට මෙම කර්මාන්තයෙන් මුදල් උපයා ගැනීම දැඩි දුෂ්කරවී තිබෙනවා.
හුණු කර්මාන්තයේ යෙදුන විශාල පිරිසක් මෙම කර්මාන්තයෙන් ඉවත්වී වෙනත් රැකියා සදහා යොමුවෙමින් සිටිනවා. එම නිසා පාරම්පරික මෙම හුණු කර්මාන්තය විනාශවීමට ඉඩ නොදී රැක ගැනීමට කටයුතු කරන්නයි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පදිංචි හුණු කර්මාන්තයේ නියුතු එම්.ඒ.චමින්ද කෝපියන් මහතා :- හුණු කර්මාන්තය කරගෙනයාමට නොහැකි තත්වයක් මතුවෙලා තියෙනවා. හුණුගල් ලෝඩ් එකක් මේ වන විට රුපියල් පහළොස් දහසක් පමණ වෙනවා. දර ලෝඩ් එකක් රුපිය් පනස් දහසක් හැටදහසක් පමණ වෙනවා. දැන් වල් දර කපන්න දෙන්නෙත් නෑ. ඒ මුදලට අමුද්‍රව්‍ය මිලදී ගෙන මෙම කර්මාන්තය කර ලාබයක් ලබා ගන්න බෑ.
කම්කරුවන් සොයා ගැනීමත් දැඩි දුෂ්කරවී තිබෙනවා. දිනකට ඒ අයට රුපියල් දෙදහස් පන්සියයක් තුන්දහසක් පමණ ගෙවන්න වෙනවා ඒ ගානටත් කම්කරුවන් හොයා ගන්න බෑ. ඉස්සර මේ අවට පමණක් හුණුකොටු පනහක් පමණ තිබුණා. මේ වන විට එයින් දහයක් පමණ වැසී ගොස් තිබෙනවා. අපිත් මේ කර්මාන්තය කරන්නෙ ඉතා අමාරුවෙන්. අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තොත් නුදුරු දිනකදීම මෙම හුණුකොටු ටිකත් වැසී යයි.
සොරණාතොට ප්‍රදේශයේ පදිංචි හුණු කර්මාන්තයේ නියුතු ඩී.එම්.ප්‍රේමදාස මහතා:- මේ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය හොයා ගන්න විශාල වියදමක් යනවා. කම්කරු ශ්‍රමය ප්‍රවාහන වියදම් ආදිය බැලුවම වියදම අහස උසට නැගල තියෙන්නෙ. අපේ හුණු නිෂ්පාදන අලෙවි කර ගැනීමට ගියාම ඒවාට නිසි මුදලක් ලැබෙන්නෙ නෑ.
මේ වන විට මෙම කර්මාන්තය වැසී යන තත්වයකට පත්වෙලා. මේ වන විට බොහෝ පිරිසක් තම හුණු කොටු වසා දමා වෙනත් රැකියා සදහා යොමුවී සිටිනවා. එම නිසා මෙම පාරම්පරික හුණු කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන්නයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සොරණාතොට හුණු කර්මාන්තය විනාශමුඛයේ