IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගමේ සංවර්ධනයට නවීකරණය බාධාවක්ද?

 

සංවර්ධනයේ බිහිදොර ලෙස සැලකෙන්නේ ගමයි. දකුණු ආසියානු රටවල් ගතහොත් ඒවායින් බහුතරයක්ම ගැමි සමාජ ලෙස සැලකේ. මෙසේ රටේ මුළු ජනගහනයෙන් බහුතරයක් ගමේ ගැමියන් වීම නිසා බොහෝ විට සම්ප්‍රදායික ගම පිළිබඳව පරමාදර්ශද ගොඩනගාගෙන ඇති තත්වයක් ඇත. එබදු පරමාදර්ශ ආශ්‍රය කරගෙන ශ්‍රී ලංකාව අලලා කෙරී ඇති බොහෝ සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයන මගින්ද ගම පිළිබඳව සාකච්ජා කර ඇත. එපමණක් නොව අපේ සිංහල නව කථා කිහිපයක්ද සම්ප්‍රදායික ගම පිළිබඳව චිත්‍ර ගොඩ නගා ඇති බව ගම්පෙරළිය බැද්දේගම මඩොල්දූව වැනි නිර්මාණ විමසීමෙන් පෙනී යයි. මෙයින් පෙනීයන්නේ ගම පිළිබඳ සාකච්ජාව සංවර්ධනයටත් සාහිත්‍යයටත් සමාජ ප්‍රගතිය පිණිස කරනු ලබන පර් යේෂණයටත් එකසේ වැදගත් අර්ථවත් විමර්ශනයක් බවට පත්ව ඇති බවයි.
ගැමි සමාජයේ ආරම්භය සිදුවූයේ කවදාද යන්න විමසා බැලීමේදී පෙනී යන්නේ එයට දිගු ඉතිහාසයක් පවතින බවය. මිනිසා සමූහයක් ලෙස ජීවත්වීම ආරම්භ වූ පසුව නිර්මාණය වූ ප්‍රථම ගැමි සමාජයක් ලෙස කථා කළ හැකි ඒකකයක් ක්‍රි.පූ 6750 සිට ක්‍රි.පූ. 1500 දක්වා අතර කාලය තුළ ලොව විවිධ ප්‍රදේශවල දැකිය හැකි බවට සාධක ඇත මහාවංශයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැමි සමාජය නිර්මාණය වන්නේ විජය ප්‍රමුඛ ආර්යයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමත් සමඟ බව පොදුවේ පිළිගැනේ. එකට සම්බන්ධ වූ පවුල් සමූහයක් විසින් කැලෑව එළිකර වැවක් සහ නිවාස තනා එම වැව යටතේ කෘෂි කාර්මික කටයුතු කළ පිරිසකින් මෙම ගැමි සමාජය බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වුවද නූතන සංවර්ධන කාර්යයන්හිදී ගම පිළිබඳව නිරන්තරව සාකච්ජා කළද යම් යම් පරිපාලන කටයුතු අරභයා ගම සහ ග්‍රාමීය සමාජය පිළිබඳ පැහැදිලිවුත් නිශ්චිත වූත් සීමා දක්නට නොලැබෙන බව කිව යුතුය. නූතනයේ අධ්‍යාපන සහ පරිපාලන කටයුතු සඳහා පවතින්නේ නාගරික සහ වතු අංශය යනුවෙන් සාදාගත් බෙදුමකි. මෙයට පදනම් වී ඇත්තේ ඉතා පටු සිතා ගැනීමකි. ජාතික සංගණන අවශ්‍යතා සඳහා නාගරික පරිපාලන බල ප්‍රදේශ නාගරික අංශය ලෙසත් පෞද්ගලික අංශය මගින් කළමනාකරණය කරමින් පවත්වාගෙන ගිය වතුකරය වතු අංශය ලෙසත් අන් සියලුම ප්‍රදේශ පොදුවේ ග්‍රාමීය ප්‍රදේශ ලෙසත් සලකා කරනු ලැබූ මෙම සම්ප්‍රදායික වර්ගීකරණය අද දක්වාම පවතී.
එහෙත් මෙම වර්ගීකරණය නූතනයෙහි ගම සහ ගැමියන් හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවන බව නොරහසකි. ජනගහන වර්ධනය වීම අධ්‍යාපනය ප්‍රවාහනය සන්නිවේදනය යනාදිය වේගයෙන් නවීකරණය වෙත්ම මෙම වර්ගීකරණයට හසුවූ තත්වයෙහිද සැලකිය යුතු වෙනස්කම් සිදුවීම මෙයට හේතුවකි. එහෙත් මෙම වර්ගීකරණය මෙම වෙනස්කම්වලට ගැළපෙන ආකාරයෙන් වෙනස් නොවූ බව සකස් නොවූ බව කිව යුතුය. සිදුවු එකම වෙනස නම් 1980 ගණන්වල නාගරිය අංශය ලෙස පරිපාලනමය වශයෙන් සැලකු නගර සභා සංකල්පය ඉවත් කර එම ප්‍රදේශ ප්‍රාදේශීය සභා ලෙස හඳුනාගැනීමය අනෙක් අතට පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ප්‍රධාන නගරවල තදබදය හේතු කර ගෙන පරිවාර නගර බිහිවීමද කැපී පෙනේ මේවායෙහි විශාල ලෙස ජිවත් වන්නේ ගැමියන් නොව දිවා කාලය තුළ ප්‍රධාන නගරයේ රැකියාවල නියුක්තව සිටින ජනකායකි මෙම ප්‍රජා විද්‍යාත්මක සහ සංවර්ධන සංකීර්ණතා නිසා ද ගම නිශ්චිත සීමාවක් සහිතව හඳුනාගැනීම දුෂ්කර වී ඇති බව කිව යුතුය.
කෙසේ වුවද ගම යැයි නාමික වශයෙන් හඳුනාගනු ලබන ඒකකයක් අද අපට දක්නට ලැබේ නිදහසට පෙර සහ නිදහසට පසුව එම ප්‍රදේශවල ගැමි ප්‍රජාව විසිරී ඇති අතර ගම් වශයෙන් සංවිධානය වූ ඒකක 20000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පැහැදිලිව හඳුනාගත හැකිය. එහෙත් එම ගම හැඳින්වීමට යොදාගනු ලබන ආදර්ශ පාඨ කොතරම් දුරට අර්ථවත්ද ගැළපේද යන්න ගැටලුවක් වී ඇත. උදාහරණ වශයෙන් ගමයි - පන්සලයි. වැවයි - දාගැබයි. ස්වයංපෝෂිත ගම ආදී ප්‍රකාශවලින් කියැවෙන කරුණු සැබෑ වශයෙන් නූතන ගමෙහි දක්නට නොලැබෙන බව ප්‍රකට රහසකි. බොහෝ සමාජ විද්‍යාඥයෝ ගම නගරය විසින් සූරාකන ඒකකයක් ලෙස හඳුන්වති. ගමේ සිටින පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් ගම විසින්ම නගරයට තල්ලු කිරීමත් නගරය විසින් ඔවුන් නගරය වෙත ඇද ගැනීමත් කරනු ලැබන්නේ යැයි සමාජ විද්‍යාත්මකව මතවාද ගොඩ නැඟී ඇත. මෙම ඇදගැනීමේ සාධකයත් තල්ලු කිරීමේ සාධකයත් අතර හිරවුණ නූතන ගම එම තත්වයට පත්වූයේ ඇයි. එහිලා බලපෑ මූලික කාරණා කිහිපයක් හඳුනාගත හැක. එම කරුණු නූතන ගමේ සමාජ සංචලතාව හෙවත් විපර්යාසය හඳුනාගත හැකි වෙනස්වීම් ලෙසද සැලකිය හැක. 
එම වෙනස්වීම් අතර ප්‍රධානතම වෙනසක් ලෙස සැලකිය හැක්කේ ගැමි ජනතාව ඔවුන්ගේ මූලික සිතුම්පැතුම් රටාව අභියෝගයට ලක්කරමින් දේශපාලන ද්‍රවීකරණයකට ලක්වීමයි. නගර සහ සුළු නගරවල දේශපාලන ආධිපත්‍ය දරණ පිරිස් සිය දේශපාලනික අවශ්‍යතා සඳහා ගැමියන්ගේ මනෝභාවය ඔවුන්ට ආවේණික හර පද්ධතිය සමගම වෙනස් කළ බව පැහැදිලි කරුණකි. ගමට සම්ප්‍රදායිකව නායකත්වය දුන් අය නූතනයෙහි ගමේ යල් පිරුණු චරිත බවට පත්ව ඇත. මරණාධාර සමිතිය හැර වෙනත් කිසිඳු ස්වේච්ඡා සංවිධානයක් අඛණ්ඩව එක දිගට පවත්වා ගැනීමට නූතන ගමට නොහැකි වී ඇත. ඉහත පෙන්වා දුන් පරිදි එදා ගමට නායකත්වය දුන් පිරිස් යම් යම් හේතු සාධක මත නිහඬ චරිත බවට පත්ව නොසිටී ද අනෙක් අතට මෙම දේශපාලන ද්‍රවීකරණයෙහි සමස්ත ප්‍රතිඵලය ලෙස ගැමියන් අතර ගැටුම් නිර්මාණය වීම සහ සාමුහික බැඳීම බිඳ වැටීම හඳුනාගත හැකිය. දිළිඳුකමත් දිළිඳුකම පිළිබඳ සංස්කෘතියත් මෙහිදී කැපී පෙනේ. ඉහත පෙන්වා දුන් ගැටුම් සඳහා ඉඩම් ආරවුල් බහුල ලෙස බලපාන බව පෙනී යන්නෙකි. අධ්‍යාපනයද ගමේ අසමගිය සඳහා අනියම් ලෙස බලපා ඇත. ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීම උදෙසා මුදල් වැය කිරීමට සමත් දරුවන් ඒ සඳහා ගමෙන් පිට පාසල් කරා ගියත් ගමේ දිළිඳූ දරුවන්ට සිදු වුයේ ගමේ පාසලට යාමටයි. මෙහි දී හඳුනාගත හැකි ප්‍රවණතාව වන්නේ පාසල් හැර යාම සහ එක් වරක් අනිවාර්ය වූ විභාගයකට මුහුණ දී ඉන් අසමත් වු පසු කිසිදු වෘත්තීමය අධ්‍යයනයකට හෝ යොමු නොවී අයාලයේ යන තරුණ පිරිසක් බිහි වීමයි. මේ පිරිස නූතනයෙහි විවිධ අපචාරවලට ගොදුරුවන බව සොයාගෙන ඇත. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැඩි අවධානයක් මොවුන් වෙත යොමු වීම වැදගත්ය. ගමේ පාසල ගමට සම්පතක් ලෙස සිතූ ආකල්පය මේ සමග වෙනස් වේ. නගරයේ ප්‍රධාන පාසල් හා බැඳුණු නව පන්ති පදනමක් දක්නට ලැබීම එයට හේතුවයි.
දෙවනුව නූතන ගමේ වෙනස්වීම සඳහා බලපෑ තවත් ප්‍රධාන කරුණක් වන්නේ යැපුම් ආර්ථිකය ගැමියන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට තරම් ප්‍රමාණවත් සම්මාදමක් නොකිරීම නිසා ගැමියා ගමෙන් බැහැරව වෙනත් ආර්ථීක කටයුතුවල නියුක්ත වීමයි මේ තත්වය නිසා තවදුරටත් ගම තුළ රැඳී සිටීම නිෂ්ඵලය යන සිතුවිල්ල ප්‍රබල ලෙස ගැමියන් තුළ නැඟී සිටීමයි. ගමේ සංවර්ධනය අරමුණු කර ගමට ව්‍යපෘති හඳුන්වා දීමේ දී මෙම අරාජික මානසිකත්වය විවිධ ගැටලු උද්ගත කරයි. 
තුන්වෙනුව යුද්ධය සහ වෙනත් ජාතික ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් ගැමියන් තුළ පැවැති අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු වී යම් යම් අසහනකාරී තත්ව නිර්මාණය කිරීමට තුඩු දුන් බව හඳුනාගත හැක. මෙහිම අතුරු ඵල ලෙස ඉච්ඡාභංගත්වය හේතුකරගෙන සියදිවි නසා ගැනීම් බීමත්කමට යොමු වීම් නීතිය පිළිබඳ විශ්වාසය නොමැති වීම් ආදිය පෙනෙන්නට තිබේ මෙහි දිගු කාලීන ප්‍රතිඵලයක් ලෙස එක්තරා අරාජිකත්වයක් ගැමි සමාජයෙන් නූතනයේ හඳුනාගත හැකිය.
සිවුවෙනුව නූතනයෙහි ගමේ වෙනසට සෘජුවම බලපෑ කරුණක් වුයේ මෑත දී හඳුන්වා දෙනු ලැබූ යම් සමාජීය ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩසටහන් නිසා ගැමියන් සිය ස්වාධීනත්වයෙන් මිදී මුළුමනින්ම රජය මත සියලුම කෘෂිකාර්මික සහ වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා පරාධීන තත්වයට පත්වීමයි. මෙම තත්වයට පත් වීම දිගු කාලයක් තිස්සේ මෙරට සිදු වු යම් යම් සිදුවීම් සමග ද බැඳී ඇත 1971 කැරැල්ල මර්දනය කිරීමෙන් අනතුරුව ගැමි සමාජය විශාල තිගැස්මකට ලක් වු බව පළමුකොට හඳුනාගත හැකිය. 
මෙම තත්වය 1977 දී ඇති වු යම් යම් ප්‍රතිසංස්කරණවලින් වඩාත් වෙනස් මුහුණුවරක් ගත් අතර අනතුරුව 2000 න් පසුව ඇති වූ නව තාක්ෂණික දියුණුව සහ මේ වන විට සමාජයේ දක්නට තිබූ බලය අයුතු ලෙස භාවිතය නීතියේ ආධිපත්‍ය ගිලිහි යාම සියලු කාර්යන්හිදී  මුදල මූලික වීම මත්ද්‍රව්‍ය පැතිරී යාමේ ක්‍රියාවලිය පුළුල් ව්‍යාප්තියක් දැරීම ආදී කරුණු සහ සිදුවීම් නිසා උත්සන්න වූ බව කිවයුතුය මෙහි උද්වේගකර ප්‍රතිඵලය ලෙස යළිත් පෙන්වාදිය හැක්කේ සම්ප්‍රදායික ගම පිළිබඳව පැවැති මතය මිථ්‍යාවක් වී ගමෙන් එක්තරා අරාජිකත්වයක් නිර්මාණය වීමයි.
අනෙක් අතට ගැමියන් සිය පාරම්පරික ගැමි හරයන්ගෙන් මුළුමනින්ම ඉවත් වී නව සමාජ කණ්ඩායමක් බවට පත් වීමයි. මේ තත්වය හොඳින් සනාථ වූ මෑත කාලීන උදාහරණය වන්නේ ගොවිකම සිය පාරම්පරික ජීවන වෘත්තිය ලෙස පිළිගෙන ජීවත් වූ ගැමියන් කෘෂිකටයුතු අරඹයා වීදි බැස රජයට විරුද්ධව අරගල කරන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමයි. ගොවියන් ලෙස ජීවත් වන මෙම පිරිස මුළුමනින්ම සිය ජීවිකා පවත්වාගෙන යන්නේ රජයෙන් නොමිලේ සපයන ඉඩම් ජලය කෘෂි යෙදවුම් සහ පාඩු ලබමින් එම නිෂ්පාදන මිල දී ගැනීම මතය එසේ නම් ඔවුන් ස්වයංපෝෂිත ජනකායක් නොව තවදුරටත් පරාධීනත්වයෙන් යුතු පිරිසක් බවට පිළිගැනීමට සිදු වේ. අනෙක් අතට යම් යම් බලකාමී පිරිස් ගැමියන් ගොවියන් ලෙස සිය අරමුණු සඳහා පාවිච්චි කරමින් සිටිති.
මෙයින් පෙනී යන්නේ ගම සහ ගැමියන් තුළ නූතනයේ ඇති වී ඇති බරපතළ වෙනස සංවර්ධනයේ සෙසු අංශකරා ද බලපා ඇති බවය. සංවර්ධනය සඳහා දියත් කරන ව්‍යාපෘති සංවර්ධන ක්‍රමෝපාය ගමට රැගෙන යාමේ දී මෙම තත්වය වාස්තවිකව තේරුම් ගැනීම වැදගත්ය.

 



අදහස් (0)

ගමේ සංවර්ධනයට නවීකරණය බාධාවක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site