IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


කුණු කොල්ලෙට විකිණෙන පුත්තලමේ වී අස්වැන්න

 

  • පුත්තලම දිස්ත්‍රික්කයේ 2025 යල කන්නයේ හෙක්ටයාර් 18166 ක වී වගා කරලා
  • මෙට්‍රික් ටොන් 70000 ක අස්වැන්නක් ලබා ගැනිමට අපේක්ෂිතයි
  • නිසි යාන්ත්‍රණයක් නොමැති කමින් මෙවරද අස්වැන්න පුද්ගලික වී මෝල්කරුවන්ට 
  • අපිට වී වේළමින් කාලය කන්න බෑ. රජය තෙත වී නොගෙන අපි අසරණ කරලා
  • අඩුම තරමින් රුපියල් 110 කට වැඩි මිලක් තෙත වී සඳහා තිබිය යුතුයි
  • සියලු‍ වියදම් ගණනය කිරීමෙන් පසු ගොවියාගේ අතට ලැබෙන්නේ රුපියල් 32000 ක සොච්චමක්

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
මාස තුනකට වැඩි කාලයක් වල් අලින් ඇතුළු වන සතුන් සමග පොර බදමින් ලබා ගන්නා වී අස්වැන්න නිසි මිලකට ලබා දීමට තමන්ට නොහැකි වී ඇති බවත් කුඹුරට පැමිණෙන පුද්ගලික වී මෝල්කරුවන්ගේ තැරැව්කරුවන් තම අස්වැන්න කොල්ල කමින් සිටින බව වී ගොවීහු මහත් වේදනාවෙන් පවසති.
කුඹුරෙන් ලබා ගන්න තෙත වී සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් තමන් බරපතළ අසාධාරණයට ලක්වෙමින් සිටින බව ගොවීහු පවසති.
රජය විසින් තෙත වී මිලදී නොගැනීමත් සමග මෙවර යල කන්නයේ ද තම වී අස්වැන්න පුද්ගලික අංශයේ වෙළෙඳුන් කුණු කොල්ලයට මිලදී ගැනීමට කටයුතු කරමින් තිබීමෙන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බවට ගොවීහු චෝදනා කරති.
පුත්තලම දිස්ත්‍රික්කයේ 2025 යල කන්නය ඉලක්ක කර ගනිමින් හෙක්ටයාර් 18166 ක වී වගා කර ඇත. එම වී වගාවේ අස්වැන්න මේ වන විට ලබා ගනිමින් සිටින බවත් මෙට්‍රික් ටොන් 70000 ක අස්වැන්නක් ලබා ගැනිමට නියමිත බව කෘෂිකර්ම නිලධාරීහු පවසති.
තබ්බෝව, ඉගිනිමිටිය, සියඹලන්කොටුව, කොට්ටුකච්චිය, ඇතුළු මහා ජලාශ යටතේ හා දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ජලාශ 200 ක් ආශ්‍රීතව සේම අහස් දියෙන් මෙලෙස හෙක්ටයාර් 18166 ක් වගා කර ඇති බව කෘෂීකර්ම නිලධාරීහු පවසති.
මාස තුනකට වැඩි කාලයක් දිවා රාත්‍රි නිදි වරමින් ආරක්ෂා කළ වී වගාවේ අස්වැන්න නිසි මිලකට ලබා දීම බරපතළ ගැටලු‍වක් බවට පත්ව ඇති බව සියලු‍ දෙනාගේ අදහසය.
ගොවින් පවසන්නේ කුඹුරු වගා කර අස්වැන්න ලබා ගන්නා තෙක් යන වියදම් ලෙස සී සෑමට රුපියල් 20000.00ක්, නියර සුද්ද කිරීම හා මඩ තැබිම රුපියල් 20000.00ක් ,බිත්තර වී සදහා රුපියල් 15000.00ක්, වැපිරිම සඳහා රුපියල් 10000,00ක්, පොහොර සදහා රුපියල් 25000.00ක් (රජය ලබා දෙන්නේ අක්කරයක් සදහා රුපියල් 10000 ක් පමණි), වල් තෙල් එක් වරක් සඳහා රුපියල් 20000.00ක්, කෘමි නාශක රුපියල් 15000.00ක්, අස්වනු නෙළිමට රුපියල් 18000.00ක්, මාස තුනක් වියදම් රුපියල් 15000.00ක්, අනිකුත් වියදම් රුපියල් 5000. 00ක් වැයවන බවය.
සියලු‍ වියදම් ගණනය කළ විට වැයවන මුදල රුපියල් 163,000.00 කි.
අක්කරයකින් ලැබෙන්නේ වි කිලෝ 2300 කි. තෙත වී කිලෝවක් සඳහා මේ වන විට ලැබෙන්නේ රුපියල් 85 කි. ඒ අනුව ලැබෙන සම්පුර්ණ මුදල 195,500.00 ක මුදලක් බව ගොවීහු පවසති.
මාස තුනක් නිදි වරමින් දිනපතා කුඹුරු වෙත පැමිණි ගොවියාට මෙම මිල ගණනය කිරීමෙන් පසු අතට ලැබෙන සොච්චම් මුදල රුපියල් 32000 බව සඳහන් කළ යුතුමය.
 කෙසේ නමුත් බහුතරයක් ගොවීන් වගා කරුනු ලබන්නේ තමන්ට අයිති කුඹුරු නොවන අතර එය වෙනත් අයකුගේය. කුඹුරේ අස්වැන්නෙන් හතරෙන් එකක් ලබා දිමේ පොරොන්දුවට වගා කළහොත් මාස තුනකට වැඩි කාලයක් වෙහෙසී දහදිය වගුරමින් කළ වගාවෙන් අන්තිමට අතපිස දමාගෙන තවත් යම් මුදලක් ණය වී හිස් අතින් ගෙදර යාමට කුලී පදනමට වගා කරනු ලබන ගොවියාට සිදුව තිබේ.
පවතින දැඩි ආර්ථික අපහසුතා හමුවේ දස අතේ ණය වී ලක්ෂ ගණන් වැය කරමින් වගා කළ වි වගාවේ අස්වැන්න මෙලෙස කුණු කොල්ලයට ලබා දීමෙන් ණයකරුවන්වීම වැළැක්විය නොහැකි තත්වයක් බවට ගොවීහු චෝදනා කරති .


එසේම වල් අලි බහුල දිස්ත්‍රික්කවල ගොවීන් තම කුඹුරු ආරක්ෂා කර ගැනීමට දරණ උත්සාහය සුළු පටු නැත. ජීවිත අවදානමද පසෙක තබමින් මෙලෙස කුඹුරු ආරක්ෂා කර ගැනීමට රාත්‍රි නිදි වරන ගොවින් පසුගිය කාලයේ අවාසනාවන්ත ලෙස වල් අලි පහරින් මරණයට පත්විම් රැසක් වාර්තා වී තිබුණි.
එසේම වල් අලි ඇතුළු වන සතුන් කුඹුරුවලට කරුනු ලබන හානිය හමුවේ එහි පාඩුව දරා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ගොවීහු පවසති.
සියල්ල හමුවේ ඉතිරි වන වී අස්වැන්න මහත් පරිශ්‍රමයක් දරා කුඹුරෙන් ඉවත් කර ගත්තද ඒ වන විට අතට ලැබෙන මුදල වියදම් කර ඇති මුදල් සමග සන්සන්දනය කර බැලීමේදී නිරන්තරයෙන් පාඩු ලැබීම වැළැක්විය නොහැකි බව ගොවීන්ගේ අදහසය.
ගොවින් පවසන්නේ පසුගිය කන්නවලදි තෙත වී පුද්ගලික අංශයේ ව්‍යාපාරීකයන් විසින් මිලදී ගැනිම සිදුවු බවත් ඒ සදහා සාධාරණ නොමැති නමුත් රුපියල් 100 ඉක්මවු මිලක් ලැබුණ බවයි.
එහෙත් කෘෂීකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා තෙත වී සඳහා රුපියල් 102 මිලක් නියම කිරීමත් සමග පුද්ගලික වෙළෙඳුන් කුඹුරුවලට පැමිණ රුපියල් 85 සිට තෙත වී මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති ආකාරයක්ද දක්නට පුළුවන.
මේ පිළිබදව අදහස් දැක්වු පුත්තලම ආමකුලිය කුඹුරු යායේ ගොවියකුවන ඩි.එම්.එම්.කරුණාරත්න මෙසේ පැවසීය. 
“අපි අතේ සල්ලි තියාගෙන නෙවෙයි ගොවිතැන් කරන්නේ. දහ අතේ ණය වෙලා තමයි මේ සියල්ල කරන්නේ. ඒ කරලා අවසානයේ තුට්ටු දෙකට වී ඇට ටික දිලා දාන්න වෙනවා. හැමදාම ගොවියාට වුණේ ඒකයි. අපි හිතුවේ අලු‍ත් ආණ්ඩුවේ යාන්ත්‍රණය හොද වෙයි කියලා.
අපි දැන් වළ පල්ලට වට්ටවලා දාලා. ගොයම් කපද්දි කුඹුරට එන පුද්ගලික වී වෙළෙන්දෝ රුපියල් 85 සිට 95 දක්වා මිලක් නියම කරමින් වී ටික ගන්නවා. ඇත්තටම පුදුම දුකක් ඇති වෙන්නේ. මොකද මාස තුනකට වැඩි කාලයක් උදේ හවස කුඹුරට ඇවිත් කරන්න පුළුවන් සියලු‍ දේවල් කරලා අන්තිමට තුට්ටු දෙකට වී ටික දීලා අත පිහාගෙන ඉන්න වෙලා. 
තමන් පත්ව ඇති ගැටලු‍ සහගත තත්වය පිළිබදව ඩබ්ලියු. සේබස්තියන් ප්‍රනාන්දු මෙලෙස අදහස් දැක්වීය.
“මේ ආණ්ඩුවත් අපිව අමාරුවේ දැම්මා. අද අපේ වී හොඳ මිලකට දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව තෙත වී මීලට ගන්නේ නැති නිසා පිටස්තර වෙළෙඳුන් ඇවිත් හිගන ගාණට අපෙන් මිලට ගන්නවා. අපිට අඩුම තරමින් රුපියල් 110 කට වැඩි මිලක් තෙත වී සදහා තිබිය යුතුයි. 
මේ සම්බන්ධව කළ විමසීමේදී කෘෂිකර්ම හා පශු සම්පත් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
මේ වන විට රජය වී මීලදී ගැනිමට රුපියල් කෝටි 600 ක් පළමු අදියරේදී ලබා දී තිබෙනවා අදාළ දිස්ත්‍රික්කවලට. අපි බලයට පැමිණීමෙන් පසු ප්‍රතිසංස්කරණය කරපු වී ගබඩාවල මීලදී ගැනීම ආරම්භ කිරීමට කටයුතු කර ති​බෙනවා. ලබා දී තිබෙන මුදල් ප්‍රමාණවත් නැතිනම් තවත් මුදල් ලබා දීමට අපි කටයුතු කරනවා.
ඒ එක්කම තෙත වී ප්‍රශ්නයට අපි දැන් වී අලෙවි මණ්ඩලය හරහා ලියාපදිංචි වි සිටින ගැනුම් කරුවන්ට කෙළින්ම ගොවින් ළගට ගිහින් වී මීලදී ගන්න අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ අනුව නාඩු තෙත වී කිලෝවක් සඳහා රුපියල් 102 ක් සම්බා කිලෝවක් සඳහා 105ක් හා කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 112 ක මුදලක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. 
ඒ වාගේම ගොවින් වියළා අදාළ නියමිත ප්‍රමිතියට වී අලෙවි මණ්ඩල ගබඩාවලට රැගෙන එන නාඩු කිලෝවක් සඳහා රුපියල් 120 ක් සම්බා කිලෝවක් 125 ක්, කිරී සම්බා කිලෝවක් 132 ක් ලෙස ගෙවා මේ වන විට මීලදි ගැනීම ආරම්භ කර තිබෙනවා.

 



අදහස් (0)

කුණු කොල්ලෙට විකිණෙන පුත්තලමේ වී අස්වැන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site