IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුරු පොල් ත්රිකොණයෙන් පොල් හිඟය විසඳේ ද ?

ප්‍රේමකීර්ති රණතුංග


උතුරු පොල් ත්‍රිකෝණයෙන් මෙම වසරට අදාළ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ ආරම්භ විය. උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ වූයේ 2023 වසරේදීය. උතුරු පළාතට අයත් පේදුරුතුඩුව, කෝකිලායි සහ සිලාවතුර කේන්ද්‍ර කර උතුරේ පොල් ත්‍රිකෝණය ආරම්භ කර තිබේ. පලෙයි ප්‍රදේශයේදී පොල් පැළ තවානක්ද ජනාධිපතිවරයා අතින් ආරම්භ වූ අතර, මෙතෙක් කාලයක් දකුණු ප්‍රදේශයේ සිට ගෙන යාමට විශාල වෙහෙසක් දැරූ පොල් පැළ සැපයුමට මෙමගින් ශක්තියක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. දකුණු ප්‍රදේශය සඳහා ලියාපදිංචි පොල් බීජ සැපයුම් ස්ථාන 39ක් ඇතත්, උතුරට ඇත්තේ ඉකුත්දා විවෘත කළ මෙම තවාන පමණකි.
උතුරු පොල් ත්‍රිකෝණයේ සිටුවීම සඳහා පොල් පැළ දස ලක්ෂයක් අවශ්‍ය බව සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා සඳහන් කළේය. උතුරේ පොල් ත්‍රිකෝණය යටතේ මෙම වසර තුළ අක්කර දහසය දහසක පොල් වගා කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අදහස් කරයි. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන පන්සියයක මුදලක් රජය වෙන්කර තිබේ. එම මුදල් යොදා ගැනෙන්නේ වගාවට සහනාධාර ලබාදීම, පැළ ලබාදීම ආදිය සඳහාය. ලබන වසරේ දී ද අක්කර දහසය දහසක් වගා කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා රුපියල් මිලියන හයසියයක මුදලක් වෙන් කිරීමට ද අපේක්ෂිතය. මෙම සියලු සැලසුම් ක්‍රියාත්මක වන්නේ 2030 වසර වන විට පොල් ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් බිලියන එක හමාරක් දක්වා ඉහළ නංවාගැනීමේ අරමුණෙනි.
2030 වසර වන විට උතුරේ සිටුවා ඇති බිම් ප්‍රමාණය අක්කර පනස් දහස දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාව වේ. මෙම වැඩපිළිවෙළ හඳුන්වා ඇත්තේ තල් රුප්පාවට පොල් රුප්පාව එකතු කිරීම වශයෙනි. 2024 වසරේ මුල් මාස හත තුළ පොල් ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් මිලියන 481ක් විය. එයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හත තුළ පොල් ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් මිලියන 661 දක්වා ඉහළ ගොස් ඇත. මේ යන ආකාරයට වසරින් වසර ආදායම ඉහළ නංවා 2030 වසර වන විට ඩොලර් බිලියන එකහමාරක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා උතුරු පොල් ත්‍රිකෝණය යොදා ගැනීම රජයේ අපේක්ෂාවය.
ෂාන් ඉමොප් නම් ඕලන්ද ආණ්ඩුකාරවරයා පොල් වැවීම දියුණු කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු සටහන් කර තිබේ. ‘‘පෙරට වඩා අද බීම වෙළෙඳාමේ අඩුවක් නැත. එහෙත් රා අරක්කු හිඟකම නිසා වෙළෙඳාමට සෑහෙන තරමින් ඒවා නොලැබේ. ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මය නම් අලුතින් ගස් සිටුවීමය. මෙරට ඇති ගස් පරණය. මම ගල්කිස්සේ සිට කළුතර දක්වා වෙරළබඩ ඇති සියලු ඉඩම් පොල් වැවීමට බදුදීම සඳහා සලකා බලමි. පොල් වගාවට අතිශය හිතකර මෙතරම් බිම් ප්‍රමාණයක් නිකරුණේ තැබීම සුදුසු නැත. මෙම ඉඩම් කුඩා කොටස්වලට කඩා දෙවසරකින් පොල් වවා දීමේ පොරොන්දු ඔප්පු පිට පවරාදීමට අදහස් කරමි. එසේ වුවහොත් රා සහ පොල්තෙල් දැනට වඩා බහුල ලෙස ඉපදවිය හැකිය....’’ එම ඕලන්ද ආණ්ඩුකාරයා සටහන් තබා ඇත.
ඕලන්දයන් ඒ ලෙසම කටයුතු කළ අතර, කෙටි කලකින් නිරිතදිග වෙරළබඩ තීරය පොල් රුප්පාවකින් වැසී ගියේය. බ්‍රිතාන්‍යයන් එනවිට ඔවුන්ට නිරිත දිග පෙදෙස එකම පොල් වත්තක්ව දක්නට හැකි වූයේ ඒ නිසාය.
ලන්දේසි පාලනය යටතේ වෙරබඩ ප්‍රදේශයේ සිටවූ පොල් වගාව ඔවුන්ගේ පාලන කාලය තුළ විශාල ආදායමක් ලබාදුන් අතර, එකල සත්කෝරලයේ පොල් සිටුවා තිබුණේ නැත. ලන්දේසීන්ගෙන් පසු ඉංග්‍රීසීහු සත්කෝරලයේද පොල් සිටවූහ.
පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන අපනයනයෙන් යටත් විජිත යුගයේ අතිවිශාල විදේශ විනිමයක් උපයා ගැනිණි. පොල් ආශ්‍රිත අපනයන ප්‍රවර්ධනය කිරීමට රජය අදහස් කරන්නේ නම් එම සංඛ්‍යාලේඛන අතිශය වැදගත්කමක් ගනී. එකල පොල් ගසේ අතුරු නිෂ්පාදන ලෙස කොප්පරා, පොල් තෙල්, අමු පොල් ගෙඩි, කපාපු පොල්, පුන්නක්කු සහ කොහු විදේශ රටවල් කරා අපනයනය කළේය. දේශීය වුවමනා වෙනුවෙන් අරක්කු, රා, හකුරු, විනාකිරි සහ පොල්කටු අඟුරු නිෂ්පාදනය කෙරිණි. එකල කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ විශාල ස්කාගාර නවයකින් පොල් රා ආශ්‍රිතව අරක්කු නිෂ්පාදනය කෙරිණි. ආණ්ඩුවේ ස්ගාකාරය පිහිටා තිබුණේ සීදූවේය. එහෙත් යටත් විජිත යුගයෙන් පසු  බලයට ආ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති අනුව මද්‍යසාරයට තැන දීම සීමා කළෙන් කළුතර දිස්ත්‍රික්කයේ පොල් ආශ්‍රිත අරක්කු කර්මාන්තය වැසී ගියේය. අද වන විට අතිවිශාල මුදලක් වැයකර විදේශයෙන් ගෙන්වන එතනෝල් මිශ්‍ර කර මත්පැන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් ජාතික ධනය ඉවතට ඇදී යන අතර, මත්පැන් පානයේ අඩුවීමක්ද සිදුව නැත.
1948-52 කාලයේ ලෝකයේ ප්‍රමුඛතම පොල්තෙල් අපනයනකරු වූයේ ලංකාවය. එය මෙට්‍රික් ටොන් 93000 ක් විය. 1962 දී එක්ලක්ෂ හාරදහසක් මෙරටින් පිටරට පැටවූ අතර, ඒ වර්ෂයේ සිට ලංකාව දෙවැනි තැනට ඇද දමමින් පිලිපීනය පොල් තෙල් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන රට බවට පත්විය. පසුව තවත් රටවල් එම කර්මාන්තයට ඇදී ආ අතර, අද වන විට ලංකාවට පොල්තෙල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ විදේශයෙනි.
බ්‍රිතාන්‍ය යුගය වන විට නිරිත දිග ප්‍රදේශයේ ගස් මැදීම බහුලව සිදුවිය. අරක්කු, රා සහ විනාකිරි එමගින් නිපදවා ගැනිණි. දකුණු පළාත ආශ්‍රිතව පොල් ලෙල්ලෙන් කොහු කර්මාන්තය බහුලව සිදුවිය. එකල පොල් ලෙලි තලා කොහු පිළියෙළ කිරීම හා කොහු කඹ ඇඹරීම කොස්ගොඩ, හික්කඩුව හා දොඩන්දූව ආශ්‍රිත ප්‍රදේශවල සෑම නිවසකම පාහේ සිදුවිය. 1926දී අරක්කු ගැලුම් 846085ක් ද, රා ගැලුම් 4264576ක් ද නිපදවිණි. එහෙත් මෙරට බීම ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ව්‍යාපාරයෙන් මාරාන්තික පහරක් එල්ල විය.
පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදනයක් වන පොල්තෙල් ලබා ගන්නේ කොප්පරා සිඳගැනීමෙනි. යන්ත්‍රානුසාරයෙන් කොප්පරා තලා තෙල් සිඳින විට ඉතිරිවන කොටස හැඳින්වුණේ පුන්නක්කු වශයෙනි. මෙම පුන්නක්කු ගවයන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස එකල මෙරට විකිණීමට තිබූ අතර, විශාල කොටසක් යුරෝපීය රටවල් කරා අපනයනය කෙරුණි. 1934 වර්ෂයේදී පුන්නක්කු හොන්ඩර 623470ක් පිටරට යැවීමෙන් රුපියල්‍්‍ 1687872ක ආදායමක් මෙරටට ලැබිණි. එකල කොප්පරා මැණුම් ඒකකය වූ කොප්පරා පාරමක් සාදා ගැනීමට පොල් ගෙඩි 1000ක් පමණ අවශ්‍ය විය. කොප්පරා පාරමකට පොල් මද රාත්තල් 560ක් දළවශයෙන් අවශ්‍ය වේ. 1949 වර්ෂයේදී කොප්පරා හොණ්ඩර හාරලක්ෂයක් පිටරට පටවා රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක ආදායමක් මෙරට රජයට හිමිවී ඇත.
කොහුලණු ඇඹරීම පොල් ගස ආශ්‍රිත තවත් අතුරු නිෂ්පාදනයකි. මෙට්ට කොහු, ලණු කොහු හා බුරුසු කොහු ලෙස තුන් ආකාරයක කොහු පිටරට පැටවිණි.
1949 වන විට යුරෝපය පුරාම මෙට්ට නිෂ්පාදනය වූයේ කොහු මිශ්‍ර කිරීමෙනි. ඒ අනුව 1949 වසරේදී කොහු ලනු හොණ්ඩර පනස්හය දහසක්ද, 1952 වර්ෂයේදී හොණ්ඩර හතළිස් හතර දහසක්ද අපනයනය කෙරිණි. පිළිවෙළින් රුපියල් විසිඑක් ලක්ෂයක හා විසි පන් ලක්ෂයක ආදායම් එම අපනයනවලින් උපයා ඇත. 1949 වසරේදී මෙරට කොහු අපනයනයෙන් රුපියල් අසූහතර ලක්ෂයක්ද, 1952දී රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්ද රජය උපයා ඇත.
පොල් ආශ්‍රිත වැඩිම ආදායම් ලැබුවේ පොල් තෙල් අපනයනයෙනි. 1949දී පොල්තෙල් හොණ්ඩර දාහත්ලක්ෂ අසූතුන් දහසක් රට පැටවීමෙන් රුපියල් දොළොස් කෝටි දහතුන් ලක්ෂයක ආදායමක්ද, 1952දී හොණ්ඩර විසි එක්ලක්ෂයක් රට පටවා රුපියල් දහතුන් කෝටි තිස් ලක්ෂයක ආදායමක්ද මෙරටට හිමි වී ඇත.
එම පොල් ආශ්‍රිත ස්වර්ණමය යුගය විවිධ හේතු නිසා රටට අහිමි විය. පොල් ගස් කැපීම, ජනාවාස සඳහා විශාල වතු කුට්ටි කිරීම හා වෙනත් රටවල් තරගකාරී මිලට පොල් ආශ්‍රිත අපනයන වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීම ඉන් ප්‍රධානය.
මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන දෙදහස් පන්සිය පනස් හතරකි. දෙදාස් තිහේ ඉලක්කය වන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියන එකහමාරක් ඉපැයීම සඳහා පොල් ගෙඩි මිලියන හාරදහස් දෙසීයක් පලදැරීම අවශ්‍යය. එනම් පොල් ගෙඩි 4200000000කි. මෙම ඉලක්කය අසීරු වුවත් එය ඉටු කරගත යුත්තේ පොල් ආශ්‍රිතව ලැබිය හැකි විදේශ විනිමය ප්‍රමාණය රටට අවශ්‍ය නිසාය. මේ සඳහා උතුරු පොල් ත්‍රිකෝණය සාර්ථක කර ගැනීම අවශ්‍යය.



අදහස් (0)

උතුරු පොල් ත්රිකොණයෙන් පොල් හිඟය විසඳේ ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31147 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site