IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අයවැය යථාර්ථය

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සතියේදී පැය හතරහමාරකටත් වඩා දීර්ඝ අයවැය කතාව පාර්ලිමේන්තුවේ කරමින් 2026 වසර සඳහා වූ ඔහුගේ දෙවැනි අයවැය ඉදිරිපත් කළේය. එය ඉතා වෙහෙසකර ව්‍යායාමයක් වුවද, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉඳහිට එල්ල වුණු ප්‍රතිවිරුද්ධ වදන් හමුවේ සිය සුපුරුදු සංසුන් බව රැකගනිමින් සැමදෙනාට ප්‍රිය හාස්‍ය මුසු චතුර වදන්වලින් කතාව රසවත් කරන්නටත් ඔහු සමත් වූයේය.

එය ඔහුගේ පාලනයේ පළමු වසරේ ජයග්‍රහණයන් ගැන කතා කළ සාම්ප්‍රදායික අයවැය කතාවක් විය. එහි පළමු වසරේ අයවැයේ ක්‍රමෝපායික අරමුණු, ඊළඟ වසරේ රජයේ සාර්ව ආර්ථික අපේක්ෂාවන්, පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජනනය කළ යුතු වර්ධනය සහ ආයෝජන, සංචාරක ව්‍යාපාරය වැනි වර්ධන උත්ප්‍රේරකයන්, නවීකරණය සහ ඩිජිටල්කරණය, පර්යේෂණ හා සංවර්ධනය ශක්තිමත් කිරීම, පිරිසුදු ශ්‍රී  ලංකාවක් වැඩසටහන, විවිධ අංශවල රාජ්‍ය සේවාව ආදායම් යෝජනා අයවැය කළමනාකරණ ක්‍රමවල වෙනස්කම් කතාවේදී අවධානයට පාත්‍ර වූයේය.

අනුර කුමාර දිසානායක පවසන ආකාරයට ඔහුගේ රජයේ මෙහෙවර ඉටු කර කරනු ලැබුයේ. ආර්ථික හා දේශපාලන ව්‍යුහය නවීකරණය, ජනතා කේන්ද්‍රීය පාලනය ශක්තිමත් කිරීම සහ බිම්මට්ටමේ දිවි ගෙවන ජනතාවට ආර්ථික ජයග්‍රහණයන් ගෙන ඒම ආදිය ඇසුරෙනි. ධනය බෙදාහැරීමේ පරිපූර්ණත්වය හඟවන අවසාන වශයෙන් කී මෙහෙවර ඉතා වැදගත් අරමුණක් වන්නේ ඔහුගේ රජය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය, පොදුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හඳුන්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආධාර දෙනු ලබන ආයතන හඳුන්වා දුන් ප්‍රතිපත්තීන් තුළ රාමුගත කර තිබෙන බැවිනි. එම ප්‍රතිපත්තීන් පරිපූර්ණ ආර්ථික වර්ධනයක් ඇතිකිරීමේලා ඉතා දුර්වල ඒවාය.

දැඩි මතධාරී වාමාංශිකයකු නව ලිබරල්වාදය වෙත මාරුවීම:-

2024 මැතිවරණයට පෙර මවිසින් අනුර කුමාර දිසානායක නව ලිබරල් විරෝධී ජනාධිපති අපේක්ෂකයකු ලෙස වර්ගීකරණය කරන ලද්දේ රාජ්‍ය අංශය විස්තාරණය කිරීමට ඔහු දුන් පොරොන්දු පදනම් කරගෙනයි.

පළමු දශක හත තුළ සෝවියට් සමූහාණ්ඩුව පවත්වාගෙන ගිය ආකාරයේ රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රතිපත්තීන් වූ මේවා සාමාන්‍යයෙන් ද්රිජිස්ට් ප්‍රතිපත්තීන් ලෙස හැඳින්වේ. එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවට කියා සිටියේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති, නිසා ආර්ථික ව්‍යසනය, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා දිගු පෝලිම්, ශ්‍රී ලංකාව සෙසු ලෝකයෙන් හුදෙකලාවීම ආදියට මග පාදන ඒවා බැවින්, රටට එකල එවැනි දේ දරා ගැනීමට නොහැකි වන නිසා ජනතාව අනුර කුමාර දිසානායක ඡන්දයෙන් බලයට පත් කර නොගත යුතු බවයි. එහෙත් අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසුව අංශක 180° කින් ආපසු හැරී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අඛණ්ඩව කරගෙන යෑමට කැපවූයේ එය ඔහුගේ තේරීමක් නිසා නොව එය අවශ්‍යතාවයක් ලෙස සළකාය. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන ලද්දේ 1970 ගණන්වල සහ 1980 ගණන්වල මුල් භාගයේ වොෂින්ටනයේ පැවැති ආයතන තුනක්, ඉදිරිපත් කළ ප්‍රතිපත්ති පැකේජයක් ලෙසයි. ඉස්මතු වූ ආර්ථිකයන් උදෙසා එම හඳුන්වා දීම කළ ආයතන නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා එක්සත් ජනපද භාණ්ඩාගාරයයි. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ජෝන් විලියම්සන්ගේ මූලිකත්වයෙන් හෙබි මෙම ප්‍රතිපත්ති වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි ස්ථානයේ නම නිසා මෙම ප්‍රතිපත්ති පැකේජය හඳුන්වා දීමට 1989 දී වොෂින්ටන් සම්මුතිය යන නම පද බැඳුණේය.

මියගිය වොෂිංටන් සම්මුතිය අනුගමනය කිරීම:-

වොෂින්ටන් සම්මුතිය යටතේ පෙනී සිටිමින් විලියම්සන් ප්‍රබල ප්‍රතිපත්ති උපායක් හඳුනා ගත්තේය. බයිබලයේ සැමදෙනා දන්නා සුචරිතය පවත්වා ගැනීම උදෙසා වූ කාර්ය ලැයිස්තුව වන ‘දස පනත’ නමින්ම ඒවා හඳුන්වන ලද්දේය. ඒවා නම්. මූල්‍ය (බදු ආදායම්) ශික්ෂණය, නොසලකා හරින ලද ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ක්ෂේත්‍ර වෙත රාජ්‍ය වියදම් ප්‍රතිව්‍යාප්තිය, බදු පදනම පුළුල් කිරීම, පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් තීරණය කිරීමට වෙළෙඳ පොළට ඉඩදීම, වෙළෙඳාම නිදහස් කිරීම. ඍජු විදේශ ආයෝජන නිදහසේ ගලා ඒමට ඉඩ දීම, රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකරණය, වියදම්සහගත නියාමයන් ඉවත් කිරීම. දේපළ අයිතීන් ආරක්ෂා කිරීම ආදියයි.

2000 ගණන්වලදී නව ලිබරල් වාදී ප්‍රතිපත්ති ක්‍රම ස්වභාවික මරණයකට ගොදුරු වුවද. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඒවායේ සහයෝගය පතන රටවල් උදෙසා එම ප්‍රතිපත්තීන්ම නොකඩවා නිර්දේශ කරනු ලැබුවේය.

විස්තීරණ ණය පහසුකම් සැපයීම ලෙස වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය දීම සඳහා ඉදිරිපත් කර ඇති ගිවිසුම සහ අමතරව යෝජනා කර ඇති පියවර බොහෝමයක් මෙම නව ලිබරල් ප්‍රතිපත්ති මූලධර්මයන්හි අනුගත ඒවාය. එම නිසා, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව, බටහිර රටවල් සහ ඒවාට සහයෝගය දෙන වෙනත් රටවල්වල සහයෝගය ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනට එකඟ වීමේදී අනුර කුමාර දිසානායකට එක රැයින් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට මාරු වීමට සිදුවූයේය. ඔහුගේ 2026 අයවැය මෙම ප්‍රතිපත්ති වෙනුවෙන් කැපකොට ඇත. මෙය තම දේශපාලන දිවිය පුරා දැඩි මතධාරි වාමාංශිකයකුව සිටි අනුර කුමාර දිසානායකට ආචාරශීලී වෙනස් වීමකි.

නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථික පරිවර්තන පනත යනුවෙන් හැඳින් වූ මෙම නීතිමය සැළසුම්වලින් බැඳී සිටිනු වෙනුවට මෙම කේන්ද්‍රීය ප්‍රතිපත්ති අනුර කුමාර දිසානායක ඉවත හෙලනු ඇතැයි මා බලාපොරොත්තු වුවද. ඔහුගේ පූර්ව ගාමියාටත් වඩා ප්‍රබල අයුරින් ඔහු ඒවා අනුගමනය කරන බව ඔහුගේ පළමු අවුරුද්දේ කාර්ය සාධනයෙන් සහ 2026 අයවැයෙන් පෙන්නුම් කෙරේ. මේ නිසා රනිල් වික්‍රමසිංහ රියදුරු අසුනේ සිටියදී අනුර කුමාර දිසානායක රජය ධාවනය වන බවත් වෙනසකට ඇත්තේ මෙම රජය අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ප්‍රවේශය අනුගමනය කිරීම බවත් මට පෙනී ගියේය. මෙය ආචාරශීලී වර්ධනයක් වනුයේ ඒ නිසා අපේක්ෂාසහගත ආයෝජකයන්ට නිශ්චිත භාවයක් පිරිනැමීමේ ආර්ථික ප්‍රතිපත්තීන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කෙරෙනු බැවිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්මත ප්‍රතිපත්ති පැකේජය:-

මූලික සාර්ව ආර්ථික අංශයන් සාමාන්‍ය තත්වයට යළි පත් කරගැනීම සහ ආර්ථිකය යථාතත්ත්වයට පත්කර ගැනීම. ශ්‍රී ලංකාවේ  තෝරාගත් විදේශ ණය ගෙවීම අත්හිටුවීම කළ 2022 අප්‍රේල් මාසයේ පටන් ආරම්භ වූ ක්‍රියාදාමයකි. අනුගමනය කිරීමට අවශ්‍ය වූ ප්‍රතිපත්ති පැකේජය 2023 මාර්තු මාසයේදී අනුමත කළ විස්තීරණ ණය පහසුකම් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. විදේශ වාණිජ ණය ප්‍රතිව්‍යුකරණය, ආදායම් පදනම වැඩිකර ගැනීමෙන් අයවැය ගැටලුව විසඳා ගැනීම. අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සකසා ගැනීම. මහ බැංකුව ආණ්ඩුවෙන් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම ආදිය ප්‍රතිපත්ති පියවරයන් ලෙස සම්පූර්ණ කිරීම ඊට ඇතුළත් විය. 1997-98 කාලයේ නැගෙනහිර ආසියානු මූල්‍ය අර්බුදයෙන් මැලේසියාවට ප්‍රහාර එල්ල වීමෙන් පසුව මහතීර් මොහොමඩ් අනුගමනය කළ ආකාරයේ රටටම ආවේනික ප්‍රතිපත්ති නිර්මාණය කරගැනීමේ අවස්ථාව මේ ඔස්සේ ශ්‍රී ලංකාවට නොලැබී ගියේය. මෙය ශ්‍රී ලංකාවට පාරිතෝෂිකයක් හා සමාන වූ අතර රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම මෙම පාරිතෝෂික පමණට වඩා දුරකට තලුමැරුවෝ. එම නිසා 2024 දී අනුර කුමාර දිසානායක බලයේ යෂ්ඨිය සියතට ගන්නා විට මෙම ක්‍රියාදාමය ඔහුගේ පූර්ව ගාමියා වූ රනිල් වික්‍රමසිංහ විසින් අඩක් සම්පූර්ණ කර තිබිණි. අද පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීරණ මූල්‍ය පහසුකම් යටතේ නියම කළ වට්ටෝරුව හැරුණු කොට සර්ව ආර්ථික කටයුතු උදෙසා ස්වාධීන වූ වෙනත් ප්‍රතිපත්ති පැකේජයක් අනුර  කුමාර දිසානායකට නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති පැකේජයේ සීමා:-

මෙම ප්‍රතිපත්ති පැකේජය තුළම වූ සීමා පවතින්නේ ඒවායින් ස්ථාවරත්වයට පත් කරනුයේ ආර්ථිකයේ නාම මාත්‍රික පැත්ත පමණක් බැවිනි. ඒවා නම් පොදු මිල මට්ටම සහ එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමන අනුපාතිකය ශුන්‍ය මට්ටමට ළඟාවීම, පොලී අනුපාතික. විනිමය අනුපාතිකය සහ ආණ්ඩුවේ විචක්ෂණ ශීලී අයවැය අවශ්‍යතාවන්ය. මෙම මූල්‍යමය වූ නාමමාත්‍රික ජයග්‍රහණයන් පරිකල්පණමය ඒවා වන අතර සහල්, පොල්, ඇඟලුම් ආදී රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සැබෑ අංශවල වර්ධනය වීමක් නොවේ. ජනතාවගේ සුබසාධනය, සමෘද්ධිමත් බව, පොහොසත් බව සහ ධනය වැඩිවීමක් එහිදී සිදු නොවේ. මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙකම ආර්ථිකයේ මූල්‍යමය වූ නාම මාත්‍රික අංශ ස්ථාවරකරණයේ වගකීමෙන් බැඳී තම කාර්ය භාරය මැනවින් ඉටු කළහ. දැන් ආර්ථිකයේ සැබෑ අංශ වැඩිදියුණු කිරීම තුළින් සමෘද්ධිමත්භාවය රැගෙන ඒම අනුර කුමාර දිසානායක රජයේ වගකීම වෙයි. 2026 අයවැයෙන් අනුර කුමාර දිසානායක මේ සඳහා පිළියම් යොදා ඇත්තේ මඳ වශයෙනි.

කල්තියා තෘප්තිමත් විය යුතු නැත.:-

සැබෑ ආර්ථික වර්ධනය, නිල විදේශ සංචිත, දළ ජාතික නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායමේ අනුපාතිකය සහ අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමේ අපේක්ෂාව ආදි වර්තමාන සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සෑහීමකට පත්ව සිටී. මගේ මතයේ හැටියට එය අත්තනෝමතික සෑහීමකට පත්වීමකි. මන්දයත් මෙම සංඛ්‍යාලේඛන එක්කෝ පමණට වඩා පුම්බා පෙන්වූ ඒවාය නැතහොත් ආර්ථිකයේ පවතින අවදානම්සහගත භාවය නිසා පසුබැසීමට භාජන විය හැකි ඒවාය. එය එසේ වන්නේ ඇයිදැයි මට විස්තර කර කියන්නට ඉඩ දෙන්න.

ශ්‍රී ලංකා මන්දගාමී වර්ධනය සහිත ආර්ථිකය:-

නිදහසින් පසු කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකාව මන්දගාමී ආර්ථික වර්ධනයක් සහිත රටක් වූයේය. රටේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් වූ අතර, ආර්ථික වර්ධනය, ප්‍රවර්ධනය පිණිස විශේෂයෙන් යමක් නොකළ විට පවා මෙම වර්ධන වේගය ලබාගත හැකි වූයේය. එම නිසා සියයට 4 හෝ 5 අතර වූ ඕනෑම වර්ධනයක් එක්කෝ ශුන්‍ය වූ හෝ ශුන්‍යයට ළංවූ වර්ධනයක් වූයේය. මෙම ලිපි පෙළේ මින් පෙර ලිපියක මා පැහැදිලි කළ ආකාරයට වර්තමානයේ පවතින සියයට 5 වර්ධනය  පදනම් වී ඇත්තේ එක් අතකින් එය සසඳා බලන කලින් වර්ෂයේ පැවැති පහත් ආර්ථික පදනම සමග වන අතර එසේ වැඩිවීම සිදුවී ඇත්තේ ජනතාවට සැපයූ භාණ්ඩ සහනාධාරවල ශුද්ධ අගයට බදුවල අගය එකතු කිරීම නිසාය. සුබසාධනයේ දෘෂ්ටියෙන් බැලූ විට රටට සෑහීමකට පත්විය හැක්කේ වසරක් පාසා සියයට 9 කට වඩා ආර්ථික විස්තාරණයන් ලබා ගැනීමෙනි. අනුර කුමාර දිසානායක බලාපොරොත්තු වන්නේ මධ්‍යම කාලය තුළ සියයට 7 ක පමණ ආර්ථික වර්ධන වේගයකින් සැබෑ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට වුවද මගේ මතය අනුව ශ්‍රී ලංකාවට ස්ථීර සමෘද්ධිමත් බවක් ලබා ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේය.

නොමග යවනසුළු විදේශ සංචිත සංඛ්‍යා:-

මෑත කාලයේදී දළ නිළ සංචිත ඩොලර් බිලියන 6 මට්ටමකට වඩා ඉහළ යාම සම්බන්ධයෙන්ද ඔහු සම්මානය තමන්ට පවරා ගත්තේය. මෙය 2022 මුල් කාලයේ වාණිජ ණය ගෙවීම අත්හිටුවන බවට නිවේදනය කරන අවස්ථාවේ රටේ දළ සංචිත බින්දුවේ මට්ටමට වැටී තිබීම සමග සැසඳූ විට යම් ජයග්‍රහණයකි. කෙසේ වුවද වර්තමාන දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6 ක් ඇති බව පැවසීමද නොමග යවන සුළු කතාවකි. මන්දයත් එයට භාවිතයට ගත නොහැකි,  චීන මධ්‍යම බැංකුවෙත් ලැබූ ඩොලර් බිලියන 1.3 ක පමණ (SWAP) හුවමාරු ණය පහසුකමක්ද ඇතුළත් බැවිනි. මෙය හේතු දෙකක් නිසා රටේ නිල සංචිතවලට ඇතුළත් නොකළ යුතුයි.

එක් හේතුවක් වන්නේ එය යුවාන් හුවමාරු පහසුකමක් වන අතර ශ්‍රී ලංකාවට එය ජාත්‍යන්තර ගෙවීම් සඳහා භාවිත කිරීමට නම් එකී යුවාත් ශේෂයන් පළමුව ඇමෙරිකානු ඩොලරයෙන් යුරෝ වැනි දැඩි විදේශ මුදලකට පරිවර්තනය කළ යුතු වීමය. ගෝලීය මූල්‍ය වෙළඳපොළේ යුවාන් සඳහා සූදානම් වෙළෙඳපොළක් නොමැත. එම නිසා එය භාවිතා කළ හැක්කේ චීනයට කරන ගෙවීම් උදෙසා පමණකි.

එහෙත් චීන ණය පවා නියම කර ඇත්තේ ඩොලර්වලින් නිසා එබැවින් පළමුව (SWAP) හුවමාරු මුදල්, චීන ණය ගෙවීමට ඩොලර්වලට මාරු කළ යුතුවේ. අනෙක් කාරණය. ශ්‍රී ලංකාවට මෙම පහසුකම භාවිත කළ හැක්කේ රටේ නිල විදේශ සංචිත, රටේ මාස තුනක අනාගත ආනයනයන් උදෙසා ගෙවා ගැනීමට ප්‍රමාණවත් වූ විටෙක පමණක් බවට කොන්දේසියක් පැවතීමයි. මෙම යුවාන් පහසුකම භාවිතය උදෙසා ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩො. බිලියන 4.7 ක විදේශ සංචිතය, එකී මට්ටමට පහළ පවතින්නකි.

අනෙක් කාරණය අනුර කුමාර දිසානායක සෑහීමකට පත්විය යුත්තේ රටේ දළ සංචිතය පිළිබඳව නොව රටේ ශුද්ධ සංචිත සම්බන්ධයෙන් වීමය. රටේ ශුද්ධ සංචිත, වසර කිහිපයකට කලින් පැවති ශුද්ධ ණයගැතියකුගේ තත්වයෙන් අද වන විට ධනාත්මක පත්ව ඇති බව සැබෑවකි. එහෙත් මහ බැංකුවේ දත්තවලට අනුව 2025 සැප්තැම්බර් වන විට පැවැති ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 567 ක් හෙවත් ඩොලර් බිලියන 1.9 ක් පමණි. මේ නිසා ශ්‍රී ලංකාව පවතින්නේ ඉහළම අවදානම්සහගත තත්වයකයි. ඊට හේතුව රටේ මහ බැංකුවට ඩොලර් බිලියන 2-8 ක පමණ විදේශ (වගකීම්) බැඳියාවන් තිබීමයි.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තය වැරැදිසහගත අයුරින් ලුහුබැඳ යාම:-

අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ලුහුබැඳ යාමෙන් තෘප්තිමත් වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  මිස ආණ්ඩුව හෝ ශ්‍රී ලංකාව නොවේ ප්‍රාථමික ශේෂය යනු රජයේ දළ ආදායම හා පුනරාවර්ථන වියදම් යනුවෙන් හඳුන්වන පරිභෝජන වියදම් සමග ශුද්ධ පොලී ගෙවීම්වල එකතුවේ වෙනසයි. මෙසේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තය හඹා යෑමෙන් අවධාරණය කෙරෙන තාර්කික හේතුව රජය අභිමතාර්ථය අනුව ගෙවීම් සිදු කිරීමේදී දක්වන ශික්ෂණය එයින් පිළිබිඹු වීමය. පොලී ගෙවීම් අනිවාර්ය ගෙවීමක් වන නිසා එය අඩු කළ නොහැක්කකි.

එම නිසා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට රජය එහි අභිමතානුකූලව පරිභෝජන වියදම් වන වැටුප් ගෙවීම් හෝ ප්‍රාග්ධන වියදම් හෝ මෙම වියදම් දෙකම සීමා කරගත යුතුවේ. අභිමතානුකූළ පරිභෝජන වියදම් වැඩිවෙමින් පවතින නිසා. වර්තමාන අතිරික්තය ලබාගත යුත්තේ ප්‍රාග්ධන වියදම් කපා හැරීමෙන් සහ රජයේ බදු ආදායමේ පදනම පුළුල් කර ගැනීමෙනි. මෙම කටයුතු දෙකම අනාගත ආර්ථිකයට ඍණාත්මක ලෙස දායක වන කාරණාය.

ප්‍රාග්ධන වියදම් පහත හෙලීම, මහාමාර්ග, ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර ආදී යටිතල පහසුකම් අවශ්‍යතා පුළුල් කිරීම අඩුකරලන්නකි. බදු පදනම පුළුල් කිරීමෙන්, ජනතාවගේ පාලනය කළ හැකි සැබෑ ආදායම අඩුකරනු ලබන බැවින්, ඉතිරි කිරීම්වලට දායක වී ඒ හරහා ආයෝජනවලට මුදල් සැපයීමේ දායකත්වයට ඍණාත්මක ලෙස බලපානු ඇත. විදේශ ණය ගැනීමේ හැකියාව ලැබුණහොත් මිස ස්ථාවර සමෘද්ධිමත් බවට එළඹීම උදෙසා වූ සියයට 9 ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීම පිණිස අවශ්‍ය වන ආයෝජන මට්ටම් පවත්වා ගැනීමට එම නිසා අසමත් වනු ඇත. එම නිසා අයවැයේදී උත්සාහ කළ යුත්තේ ආදායම් ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමටයි. එය රජයේ ඉතිරි කිරීම් ඉහළ නංවා, දේශීය මූලාශ්‍රා වලින් අයෝජනවල කොටසකට මුදල් යෙදීම සඳහා රටට උපකාරී වේ. ආදායම් ගිණුමේ අඛණ්ඩව හිඟයක් පවත්වා ගැනීම නිසා මෙම තත්වය අත්කර ගැනීමට නොහැකි වී තිබේ.

ඩිජිටල්කරණය අත්‍යවශ්‍යය එහෙත් ප්‍රමාණවත් නැත.

2026 අයවැයේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගය වී ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථිකය ඩිජිටල් කරණය කිරීමයි. මෙය අනිවාර්යයෙන් කළ යුත්තක් වන අතර ඒ මගින්, ඵලදායිතාව නැංවීම හරහා රටේ නිෂ්පාදන පදනම වර්ධනය කිරීමට ආර්ථිකයට අවශ්‍ය සහයෝගය සැපයේ. එයින් ගෝලීය වෙළඳපොළේ අනෙකුත් තරගකරුවන් හා තරග වැදීමට අවශ්‍ය රටේ තරගකාරී හැකියාව ඉහළ නැංවේ. මගේ මතය අනුව එය අත්‍යවශ්‍ය වන නමුත්, ජනතාවට ධනය හා පොහොසත් බව ගෙන ඒම සඳහා ආර්ථිකයේ  ආංශික වර්ධනයක් සිදුකිරීමට එය ප්‍රමාණවත් නොවේ.

ආර්ථික වර්ධනය මන්දගාමී වුවහොත් නාමික (මූල්‍යමය වූ) අංශයෙන් ලබාගත් සාර්ථකත්වයන් සියල්ල අවදානමට ලක්වේ. එවිට රජයට, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15 ක් වූ එහි ඉහළ බදු ආදායම් පදනම පවත්වාගත නොහැකි වේ. එයින් වරක් පැහැර හරිනු ලැබූ විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව නොලැබී යයි. එවිට වැඩිවන ආනයන වියදම් ගෙවා ගැනීම පවත්වා ගත හැකි විදේශ විනිමය ඉපයුම් කළ නොහැකිවේ. ආනයන සීමා කළහොත් එක් අතකින් රටේ ආර්ථික වර්ධනය මන්දගාමී වන අතර අනෙක් අතට රටට අසීරුවෙන් ගොඩ නගාගත් ස්ථාවරත්වය කැප කිරීමට සිදුවේ. ඒ සමග වර්තමානයේ පවතින විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා අඩු පොලී අනුපාතිකයන් ඉවත්ව යනු ඇත.

සැබෑ ආංශික සංවර්ධන සැලැස්මක අවශ්‍යතාව:-

මගේ මතය අනුව සැබෑ ආංශික  සංවර්ධනයක් උදෙසා ශක්තිමත් සැලැස්මක් සකස් කර ගැනීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුවට කාලය පැමිණ තිබේ. එය වෙනම ව්‍යායාමයක් වන අතර වර්තමාන අයවැයෙන් එම ගැටලුවට ප්‍රමාණවත් විසඳුම් ලැබී නැත.

2025 නොවැ. 10 Daily FT හි පළවූ AKD'S neo liberal Budget 2026 Will it resolve slow growth issues quickly? ලිපියේ පරිවර්තනය.
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

අයවැය යථාර්ථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site