සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ මැයි සිට සේවා ස්ථාන වල අන්තර්ජාල ප්‍රවේශය තහනම් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි අරමුණ වන්නේ සේවයේ නියුතු ආයතනයේ ඊ-මේල් සහ දත්ත හුවමාරු ක්‍රම මගින් සිදුවිය හැකි දත්ත පිටවීම් අවම කිරීමටයි. එමෙන්ම රජයේ සේවකයන්ටද සේවා කාර්යයන් සම්බන්ධ තොරතුරු පෞද්ගලික ඊ-මේල් වෙත යැවීම තහනම් කරන බවට නිලධාරීහු පවසති. 

මෙම පියවර සිංගප්පූරුවේ බෙහෙවින් උසස් ස්මාර්ට් තාක්ෂණ වැඩසටහනට විරුද්ධව කෙරෙන පියවරක් වනු ඇතැයි ඇතැමුන් සලකන නමුත් මෙය එලෙස සිදුවන්නක් නොවන අතර මෙම වැඩසටහන සයිබර් ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාවීමට සහ "වඩා ආරක්ෂිත වැඩ කිරීමේ පරිසරයක්" නිර්මාණය කිරීම සඳහා බව නිලධාරීහු කියති.

මේ තහනම ඉන්ෆොකොම් ඩිවෙලොප්මන්ට් ආයතනය විසින් එරට තොරතුරු ජාලය තවත් ආරක්ෂිත කිරීමට සිංගප්පූරු රජයේ අනුමැතිය සහිතව කෙරුණු තොරතුරු තාක්ෂණික ආරක්ෂක විශ්ලේෂණයක ප්‍රතිපලයක් බව ද සදහන් වේ.

ලොව අනෙකුත් රටවල මෙන් සිංගප්පූරුවටද සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවත් 2013 දී අගමැති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී තිබු බවත් එම නිලධාරීහු කියති.