ලියුකේමියා රෝගයෙන් පෙළෙන දැරියකගේ පැතුමක් ඉටු කිරීමට නත්තල් කැරොල් ගායකයෝ දහස් ගණනක් ඇයගේ නිවස වටා රැස්වූහ. පෙන්සිල්වේනියාවේ ජීවත් වන ඩෙලැනි බ‍්‍රවුන් අවුරුදු 8ක කුඩා දැරියකිඅට වැනි උපන් දිනය සමරනවාත් සමගම නොබෝ දිනකින් ඇය සියල්ලන් සමු ගෙන යන බව වෛද්‍යවරු පවසති.

ඇයගේ සියලූ පැතුම් ඉටු කිරීමට කටයුතු කරන ඇගේ මව ජෙනිෆර් බ‍්‍රවුන්  මේ ‘ලැනිගේ කණ්ඩායම’ නමින් ෆේස්බුක් පිටුවක්ද පවත්වා ගෙන යයි. ඇයගේ හැම පැතුමක්ම ඇය එහි සඳහන් කරයි.

මේ අනුව ජනපි‍්‍රය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමග මුහුණු පොත හරහා කථා කිරීමද, කිඹුල් පැටියෙක් ඇල්ලීම ආදී පැතුම් ඉටු කළේය.

”අද අපිට ජීවිතයේ අහන්න ලැබෙන කනගාටුදායකම ආරංචිය ලැබුණා. ලැනිගේ ලේ වල 70% ක් පිළිකා සෛල තියෙනවාලු. වෛද්‍යවරුන් පිළිකාවට බෙහෙත් කළොත් වෛරසය ලැනි මරණවා. වෛරසයට බෙහෙත් කළොත් පිළිකාව ඇය මරණවා.” යනුවෙන් ඇයගේ උපන් දිනයට දිනයකට පෙර ෆේස් බුක් සටහනක් විය.

විශාල ගායකයින් පිරිසක් එක විට තම මිදුලේ සිංදු කියනවා ඇසීම ඇගේ එක් පැතුමක් බවද ඇය සඳහන් කළේය. එසේම ඇයගේ අවසන් පැතුම මෙය විය හැකි බවද පැවසීය. 

ඒ අනුව පැමිණි 4000 ක් පමණ දෙනා ඉටිපන්දම් දල්වා, නත්තල් තොප්පි පැළඳ ඇයගේ පැතුම ඉටු කළහ. ඒ වන විටත් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ හාන්සි වී ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය ‘මට ඔබ ඇසෙනවා. මම ආදරෙයි’ යනුවෙන් මහපට ඇඟිලි දෙක උඩට කළේය.