ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු ධීවර සමිති නියෝජිතයින් හා පැවති හමුවකදී ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් පවසා තිබේ.

ධීවර සමිති නියෝජිතයින් 12 දෙනෙකු සමග පසුගියදා නවදිල්ලියේදී පැය 2 කට ආසන්න කාලයක් දෙරට අතර ධීවර ගැටලූවට ධීවර සමිති නියෝජිතයින්ගේද අදහස් ලබා ගැනීමට පැවැත්වුනු සාකච්ඡාවේදී ඉන්දියා විදේශ ඇමතිනිය මේ බව සඳහන් කර ඇත.

ගැටලූව විසදීමට ඉන්දියා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවත් එනිසා රජයට ඉඩදී ඉවසිල්ලෙන් සිටිනා ලෙසත් ඇය ධීවර නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් මුදා ගැනීමට ඉන්දියාවට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් ධීවරයින් නීති විරෝධී ලෙස නැවත නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසීම නිසා එම කටයුතුද වලටද බාධා පැමිණවී තිබෙන බව ඇමතිනී සුෂ්මා ස්වරාජ් ධීවර නියෝජිතයින් හමුවේ පවසා ඇත.

හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිත පිරිස ප්‍රථම වතාවට විදේශ ඇමතිනිය හමුවී තම ගැටලූ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බව පැවසූහ.එමෙන්ම මෙවර ඉන්දියා රජය තම ගැටලූ විසඳා දීමට කැපවීමෙන් කටයුතු කරන බවක් පෙනෙන හෙයින් ඇමතිනිය දැනුම්දුන් පරිදි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වැළකී සිටින ලෙස තම ප්‍රදේශයේ ධීවරයින්ට දැනුම්දෙන බවද ඔවුහු කීහ.