පසුගිය සැප්තැම්බර් 11 වැනිදා නූතන ලෝක ඉතිහාසයේ ගමන් මඟ තීරණාත්මකව වෙනස් කළ සන්ධිස්ථානයක් වන එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීමේ එකොළොස් වැනි සංවත්සරය සනිටුහන් කෙරිණ. මෙම ප‍්‍රහාරයත් සමග එක්සත් ජනපදයේ බුද්ධි අංශ නිල වශයෙන් හා නිල නොවන වශයෙන් සම්බන්ධතා පැවැත්වූ ඉස්ලාමීය සංවිධාන හා කණ්ඩායම් ගණනාවක් ත‍්‍රස්තවාදීන් ලෙස හඳුන්වා ඔවුන්ට රැකවරණය හා අනුබලය ලබා දුන්නේ යැයි චෝදනා කළ රාජ්‍යවලට එරෙහිව හමුදාමය ක‍්‍රියාමාර්ග ගැනීම ත‍්‍රස්තවාදයට එරෙහිව ලෝක යුද්ධයක් ඇරැඹීම ලෙස එවකට සිටි ජනාධිපති ජෝර්ජ් බුෂ් හැඳින් වූයේය. 80 දශකයේ දී ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදාවලට එරෙහිව සටන් කිරීමේ දී ”විමුක්ති සටන්කරුවෙක්” ලෙස හැඳින්වූ අල්කයිඩා නායක බින් ලාඩන් එක්සත් ජනපදයේ අංක එකේ සතුරා බවට පත්විය. බින් ලාඩන් ඝාතනය කළ ද ත‍්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධය අවසන් වූයේ නැත. පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදාවලට එරෙහිව සටන් කළ තවත් විමුක්ති සටන්කරුවෙක් හා ඔහුගේ නායකත්වයෙන් ඇති සංවිධානය ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසුවාය. ඒ ජලවුදීන් හකානි සහ ඔහුගේ සටන් කණ්ඩායමයි. දශකයකට අධික කාලයක් ගත වුවද ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ගැන වගකිවයුතු කිසිම පුද්ගලයෙක් මේ වනතෙක් ප‍්‍රසිද්ධ නඩු විභාගයකට ඉදිරිපත් නොකිරීම මානව අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය ගරු කරන රටක් වශයෙන් එක්සත් ජනපදය ලත් විශාල පසුබෑමකි. සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වශයෙන් සැලකෙන බින් ලාඩන්ට රැකවරණය ලබාදීමේ වරද නිසා ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හිමිකරගෙන සිටි තලෙබාන් බලයෙන් ඉවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීමට දියත් කළ යුද්ධය තවම නිමාවී නැත. 2014 අවසන් වනවිට ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් සටන්කරුවන් විනාශ කර දැමීමට සටන් කරන එක්සත් ජනපද හා නේටෝ හමුදා ඉවත් කර ගැනීමට සූදානම් වුවද මෙතෙක් ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය තහවුරුවී නැත. මහජන ඡුන්දයෙන් තේරී පත්වූ ජනාධිපති හමීඞ් කර්සායිගේ පාලන බලය අගනුවර වූ කාබුල් නගරයෙන් ඔබ්බට පැතිර යන්නේ නැත. වරින් වර කාබුල් නගරයේ ජනාධිපති මාලිගයට මෙන් නේටෝ හමුදා මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමට කැරැලිකරුවෝ සමත් වෙති. මෙහිදී වඩාත් වැදගත් කරුණක් වන්නේ 9/11 වශයෙන් හැඳින්වෙන 2001 සැප්තැම්බර් 11 ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය ගැන නිවැරැදි සත්‍ය තොරතුරු ජනතාව අතට පත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කළේ ද යන්නයි. මෙම ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් එක්සත් ජනපදයේ අධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලූ විනිශ්චයකාරවරයකු සිද්ධිය සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු යැයි පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තීන්දු කළේය. මෙම නඩු විභාගය ඉරානයේ නියෝජනයක් නැතිව ඒක පාක්ෂිකව පැවති නමුත් එවැනි නිගමනයකට පැමිණීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි සහ සාධක ඉදිරිපත් වන්නට ඇතැයි සිතිය හැක. එහෙත් 2011 සැප්තැම්බර් මාසයේ දී ප‍්‍රකාශයක් කළ ඉරාන ජනාධිපති මොහමඞ් අහමඞ්නෙජාඞ් මෙම සිද්ධිය ගැන එක්සත් ජනපදය මෙතෙක් ඉදිරිපත් කළ තොරතුරු සම්පූර්ණයෙන් ප‍්‍රබන්ධ කරන ලද ඒවා යැයි බැහැර කළේය. එහෙත් අල් කයිඩා සංවිධානය සිය ප‍්‍රකාශකයකු මගින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව සටන්කාමීන්ගේ ශක්තිය අවප‍්‍රමාණය කිරීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිට චෝදනා කෙරිණ. වෙනත් මැදහත් නිරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම සිද්ධිය ගැන පැහැදිලි කිරීම් ගණනාවක් එක්සත් ජනපද බලධාරින් විසින් සිදු කළ යුතුව ඇත. එම නිරීක්ෂකයින් දක්වන ආකාරයට ප‍්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනා ගැන එෆ්බීඅයි ආයතනය කලින්ම අනතුරු හඟවා තිබූ නිසා සැලකිලිමත් වූයේ නම් ඔවුන් රටට ඇතුළු වන අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබිණ. එසේ වූයේ නම් මෙම උත්සාහය සාර්ථක නොවන්නේය. දෙවැනිව 2001 ගී‍්‍රෂ්මයේ දී නිව්යෝර්ක් හා වොෂින්ටන් නගරවලට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇති ඉඩකඩ ගැන සීඅයිඒ සංවිධානය අනතුරු හඟවා තිබිණ. එහෙත් බලධාරින් ඒ ගැන ද සැලකිල්ලක් යොමු කර නැත. තුන්වැනිව ඉදිරිපත් වන්නේ වඩාත් බරපතළ චෝදනාවකි. පැහැදිලිව දක්නට ඇති තොරතුරු අනුව මගී ගුවන් යානා පැහැරගත් කොල්ලකරුවන් එම යානා හප්පවා ඇත්තේ ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයේ අංක එක සහ දෙක යනුවෙන් නම්කර ඇති ගොඩනැගිලිවලටය. එහෙත් මෙම ප‍්‍රහාරයෙන් අංක 7 ගොඩනැගිල්ල ද සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර එය සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලිකර නැත. අනෙක් අතට විවේචකයින් පෙන්වා දෙන ආකාරයට ජෙට් ගුවන් යානාවක ඇති ඉන්ධන ගිනි ගැනීම නිසා දැඩි උෂ්ණත්වයට හා කම්පනයට ඔරොත්තු දෙන ආකාරයේ වානේ කඳන්වලින් නිමවා ඇති ගොඩනැගිල්ලක් ඉතා කෙටි කාලයක් ඇතුළත දැවී විනාශ වී යෑමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිතය. එමනිසා මෙම ගොඩනැගිලි තුන විනාශවීම ජෙට් ගුවන් යානා ඉන්ධන ගිනි ගැනීමෙන්ම සිදුවූයේය යන්න ඔවුහු බැහැර කරති. මෙවැනි අදහස් හා මත පසුගිය වසර කීපය තුළම එක්සත් ජනපදයේත් ඉන් බැහැරවත් සාකච්ඡා වෙමින් පැවතිය ද එක්සත් ජනපද බලධරයින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. මෙවැනි තත්ත්ව යටතේ බොහෝ රටවල සිදුවෙන ආකාරයට කරුණු සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නේ ද නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 9/11 සිද්ධිය සම්බන්ධයෙන් විශාල සාහිත්‍යයක් ද ගොඩ නැගී ඇත. එවැනි සමීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට අල් කයිඩා සංවිධානය හා එක්සත් ජනපද බුද්ධි අංශ අතර සම්බන්ධතා දශක ගණනාවක් තිස්සේම පැවතුන බවට සාක්ෂි දැකිය හැක. ඔවුන් පවසන ආකාරයට 1990 ගණන්වල සිට 2001 ජූනි දක්වාම පැරැණි යුගොස්ලාවියාවේ බොස්නියා, කොසොවෝ හා මැසිඩෝනියා රාජ්‍ය ඉස්ලාමීය සටන්කරුවන් පුහුණු කිරීම ආයුධ සැපයීම වැනි කරුණු සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ ප‍්‍රමුඛ වැඩ කොටසක් ඉටුකළ බව පෙනේ. එක් වාර්තාවක සඳහන් වන ආකාරයට 2001 අගෝස්තු මාසයේ දී එනම් ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමට සති කීපයකට පෙර මැසිඩෝනියාවේ දී අත්අඩංගුවට ගත් ඉස්ලාමීය සටන්කරුවන් සමග ඇමරිකානු බුද්ධි අංශවලට සම්බන්ධ නිලධාරීහු ද සිටියහ. මෙම ඉස්ලාමීය සටන්කරුවන් හා අල් කයිඩා සංවිධානය සමීප සම්බන්ධතා පැවැත්වූ බව ඇමරිකානු බුද්ධි අංශවලට රහසක් නොවේ. 9/11 සිද්ධිය එක්සත් ජනපද තානාපති කාර්යාලවලට පහරදීම හා ඒඩන් වරායේ දී ඇමරිකානු නාවික හමුදාවට අයත් යාත‍්‍රාවකට පහරදීම අල් කයිඩා සංවිධානය විසින් සැලසුම්කොට කි‍්‍රයාත්මක කිරීම ගැන එක්සත් ජනපදය චෝදනා කරන නමුත් ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව සටන් කළ හා සිරියාවේ අසාඞ්ගේ පාලනයට එරෙහිව සටන් කරන අල් කයිඩා හා සම්බන්ධ යැයි සැක කරන කණ්ඩායම්වලට එක්සත් ජනපදයේ සහාය ලැබෙන බව ද ප‍්‍රකට කරුණකි. සිරියාවේ නිදහස් සිරියානු හමුදාව නමින් සටන් කරන කණ්ඩායමට ප‍්‍රංශය අවි ආයුධ හා පුහුණුව ලබාදෙන අතර එම හමුදාව තුළ අල් කයිඩා සාමාජිකයින් සිටින බව ද ප‍්‍රංශය පිළිගනී. පැරැණි යුගෝස්ලාවියාව, බොස්නියාව, කොසෝවෝ හා මැසිඩෝනියා ප‍්‍රදේශවල මෙන්ම මැදපෙරදිග රටවල පවතින පාලන ක‍්‍රමයට එරෙහිව සටන් කරන අල් කයිඩා ඇතුළු සටන්කරුවන්ට එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල ආධාර හා අනුබලය නොකඩවා ලැබෙන බවට සාක්ෂි අපමණය. ඉන් අනුමාන කළ හැකි වන්නේ සීතල යුද්ධය අවසන් වුවත් විවිධ රටවල පාලකයින් ඉවත් කිරීමටත් තමන්ට හිතවත් නව පාලකයින් පත් කර ගැනීමටත් බටහිර ජාතීන් නොයෙකුත් උපාය මාර්ග යෙදවීමට සමත්ව සිටින්නේය යන්නයි. පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරිය හකානි ජාලය තහනම් නියෝගය අත්සන් කිරීමේ දේශපාලනය තේරුම් ගැනීමට මෙම පසුබිම් විස්තරය ද වැදගත්ය. එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලයෙන් සම්මත කර ගත් නීතියක් අනුව දෙන ලද අවසාන දිනයට දින දෙකකට පෙර හිලරි ක්ලින්ටන් මහත්මිය මෙම නියෝගය අත්සන් කළේ හකානි ජාලය දුර්වලකොට අසීරු තත්ත්වයකට පත් කිරීම සඳහාම නොවේ. ඇය මෙම නියෝගය අත්සන් කිරීමෙන් දින දෙකටක පසු ලන්ඩන් ගාඩියන් පුවත්පතේ පළවූ වාර්තාවක් අනුව හකානි නායකත්වය සමග සාම සාකච්ඡා ඇරැඹීම මෙම තහනම නිසා නතරවී නැත. හකානි නායක ජලාවුදින් ගේ සොහොයුරෙක් වන ඉබ‍්‍රාහිම් හකානි සමග සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන අතර ඊට පාකිස්තානු රජයේ සහයෝගය ද හිමිවේ. මෙවැනි පසුබිමක් යටතේ 2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීම කුමන කණ්ඩායමක් විසින් සිදුකළත් එහි ප‍්‍රතිඵලය වශයෙන් මැද පෙරදිග විශේෂයෙනුත් අපි‍්‍රකාවේ බොහෝ රටවලත් විවිධ සන්නද්ධ ගැටුම් උත්සන්න වීමටත් ජනතා අයිතිවාසිකම් වඩාත් සීමා කිරීමටත් හේතුවූ බව පෙනේ. දේශසීමා හෝ ජාත්‍යන්තර නීතිය නොසලකා තමන්ට අවශ්‍ය කරන පුද්ගලයින් දඩයම් කිරීමට බලපත‍්‍රයක් හිමිකර ගෙන සිටින සුපිරි බලවත් රාජ්‍යවලට මුළු ලෝකයම එකම ගම්මානයක් කර ගැනීමට පාදක වූ ප‍්‍රබල හේතුවක් වන්නේ ද 9/11යි.
සටහන : මහින්ද හත්තක
ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම් අවස්ථා ප‍්‍රහාරයට ගොදුරුවූ  ඥාතියකු සිහිපත් කරමින් ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සැමරුමට ජනාධිපති ඔබාමා එකතුවී ප‍්‍රහාරයෙන් දිවි බේරාගත් තැනැත්තියක්