තම සාමාජිකයන් හත් දෙනකු සිරියාවේ ඉඞ්ලිබ් නමැති පළාතේ දී පැහැර ගැනීමට ලක් වූයේ යැයි, අන්තර් ජාතික රතු කුරුස සංවිධානය ඊයේ (14) නිවේදනය කළේය.

එම පිරිස පැහැර ගනු ලැබ ඇත්තේ, ආයුධ සන්නද්ධ පිරිසක් විසිනි. ඔවුන් කැරැලිකරුවන් ද එසේත් නැතිනම් සිරියානු රජයට හිතවත් සටන්කාමීන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. තම සාමාජිකයන් සත් දෙනා වහා නිදහස් කරන්නැයි රතු කුරුස සංවිධානය ඉල්ලීමක් කර ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිරියාවේ මානුෂීය මෙහෙයුම්වල නියැළී සිටින රතු කුරුස සාමාජිකයෝ පැහැර ගැනීමට ලක් වූහ. එම පැහැර ගැනීම් සිදු කළේ සිරියානු රජය සමඟ සටන් කරන කැරැලිකරුවන්ය.

සිරියා රජයේ අනුමැතිය පරිදි මේ වනවිට රජය සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකයන් එරටට ගොස් රසායනික අවි ගබඩා පරීක්ෂාවට ලක් කරද්දී පවා, එරට රජය සහ කැරැුලිකාර පාර්ශ්වය අතර දිගින් දිගටම ගැටුම් හටගන්නා බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.


 

සිරියාවේ සිටින රතු කුරුස සාමාජිකාවෝ දෙදෙනෙක්