සාම මාවතකට හෝ දේශපාලන මාවකතට හෝ අවතීර්ණ වීමේ කිසිදු අපේක්ෂාවක් නැති ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්, විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ  බලය යළි අල්ලා ගනු ඇතැයි පසුගියදා බියක් හට ගැනිණි. ඒ බව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව එළිදැක්වූ රහස් වාර්තාවකින් සනාථ විය. නේටෝ රහස් වාර්තාව මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් වීමත් සමඟ තලේබාන් සංවිධානය ද විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ විදේශ සමඟ විශේෂයෙන් ඇමෙරිකානුවන් සමඟ කිසිම අවස්ථාවකදී සාම කතා පවත්වන්නේ නැති බවය. තලේබාන් සංවිධානය සාම මාවතකට පිවිසීමට සූදාමින් සිටින බවටත් ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැත්ත පළ කළ බවටත් පළ වූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ද තලේබාන් දැඩිමතධාරී නායකයෝ පවසති. නේටෝ රහස් වාර්තාවේ සඳහන් වන්නේ විදෙස් හමුදා සංග‍්‍රාම මෙහෙයුම් නිමාකොට පිට වී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ පාලන බලය යළි අත්පත් කර ගැනීමට තමන්ට හැකි වේවි යැයි තලේබාන් සටන්කාමීන් තදින්ම විශ්වාස කරන බවය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ එම රහස් වාර්තාවේ අඩංගු තොරතුරු ලොවට හෙළි කළේ බි‍්‍රතාන්‍යයේ ‘ලන්ඩන් ඔෆ් ටයිම්ස්’ සහ ‘බී.බී.සී.’ පුවත් සේවයයි. ”දැඩිමතධාරී තලේබාන් නායකයන්, සටන්කාමීන් සහ සාමාජිකයන් තදින් විශ්වාස කරනවා ඔවුන්ට යළිත් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමට හැකි වනු ඇති බව. 2011 වසරේදී තලේබාන් සංවිධානය විශාල වශයෙන් පසුබෑමකට ලක් විය. එහෙත් ඔවුන්ගේ ක‍්‍රමෝපාය හෝ චිත්ත ධෛර්යය හෝ කිසිවිටෙකවත් හීන වූ බවක් පෙනෙන්න නැහැ” යැයි එම වාර්තාවේ සඳහන් වේ. මාධ්‍ය විසින් ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබූ එම රහස් වාර්තාවේ අඩංගු කරුණු සත්‍යය යැයි නේටෝ ප‍්‍රකාශක ලූතිනන් කර්නල් ජේමී කමිං ද පවසා ඇත. ඇමෙරිකා ආරක්ෂක ලේකම් (ආරක්ෂක ඇමැති) ලියොන් පැනේටා පවසා ඇත්තේ දස වසරක් තිස්සේ පවතින ඇෆ්ගන් සංග‍්‍රාමය මේ වසර මැදදී අවසන් කිරීමට ඇමෙරිකාව සූදානම් බවය. ඒ අනුව ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කිරීමට නියමිතය. ඔවුන් එසේ පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශවලට නිසි පුහුණුවක් ලබා දී එය ශක්තිමත් කිරීමෙන් අනතුරුවය. මේ අතර ඇමෙරිකාව, ජර්මනිය සහ කටාර් බලධාරීන්ගේ සහාය ඇතිව තලේබාන් සංවිධානය, හොර රහසේම දෝහා නුවර සම්බන්ධීකරණ කාර්යාලයක් පසුගිය 26 වැනිදා පිහිටුවා ඇතැයි පැවැසෙයි. පසුගිය දින කීපය පුරාවටම තලේබාන් සංවිධානය ඇෆ්ගන් රජයත් ඇමෙරිකාවත් සමඟ ‘සාමකතා’ පවත්වනවා යැයි වාර්තා වූයේ එම කාර්යාලය හරහාය. එහෙත් තාලේබාන් සංවිධානය පවසන්නේ ඔවුන් කිසිදු අවස්ථාවක සාම කතා පැවැත්වූයේ නැති බවත් එසේ සාම කතා පැවැත්වීමට තමන් අපේක්ෂා නොකරන බවත්ය. එසේනම් ඇෆ්ගන් රජය හෝ ඇමෙරිකාව හෝ සාම කතා පැවැත්වූයේ කවුරුන් සමඟද ? ඔවුන් යුද්ධ කරන්නේ කවුරුන් සමඟද ? යන්න ප‍්‍රශ්නයකි. මුලදී ප‍්‍රතික්ෂේප කළ ද ඇමෙරිකාව සහ ජර්මනිය පැවැසුවේ ඇෆ්ගනිස්තානයට සාමය උදාකර දීමේ අරමුණින් එම සම්බන්ධීකරණ කාර්යාලය පිහිටුවීමට තලේබාන් සංවිධානයට අවසර සහ අවශ්‍ය සහාය ලබා දුන් බවය. වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර පවතින ගැටුම් සමථයකට පත් කර දේශපාලනික විසඳුමක් හරහා සාමය ඇති කිරීම එම සම්බන්ධීකරණ කාර්යාලයේ අරමුණ යැයි ද පැවැසෙයි. තලේබාන්වරුන් සමඟ ඇති අර්බුදයට දේශපාලනික විසඳුමක් අවශ්‍ය යැයි ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිගේ විශ්වාසයයි. ඇෆ්ගන් රජය ‘ඇෆ්ගන් සාම මණ්ඩලය’ පිහිටුවා ඇත්තේ ද එහෙයින්ය. අවි බිම දමා රජයට එක්වී දේශපාලන විසඳුමක් සොයමු යැයි ඇෆ්ගන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී තලේබාන්වරුන්ට දැනුම් දී ඇතත් තලේබාන්වරු ඒ හැම අවස්ථාවකදීම ඊට විරෝධය පළ කළහ. කටාර්හි පිහිටුවූ එම සම්බන්ධීකරණ කාර්යාලය සාම මාවතකට ප‍්‍රවේශවීමේ මූලික පියවරක් වනු ඇතැයි ‘ඇෆ්ගන් සාම මණ්ඩලය’ පෙන්වා දෙයි. කෙසේ නමුත් තමන් සාම සාකච්ඡාවලට එකඟ වන්නේ ඊට කිසිදු විදේශයක මැදිහත් වීමක් නැතිව බවත් තලේබාන් සංවිධානය අවධාරණය කරයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලිවලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු, අල් කයිඩා නායකයාව සිටි ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පලා ගියේය. අල් කයිඩාවට ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ගේ සහාය නොඅඩුව ලැබුණි. ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා දැමුවේ දස වසරක යුද්ධයක් ආරම්භ කරමින්ය. ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කිරීමේ මෙහෙයුම ඇරැඹුවේ එවකට ඇමෙරිකා ජනාධිපතිව සිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අණ පරිදිය. ජර්මිනිය, බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ නේටෝ රටවල සහාය ඊට ලැබුණි. වර්තමානයේ ඇෆ්ගනිස්තානයේ පවතින්නේ ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය රටවල අනුග‍්‍රහයෙන් පිහිටවූ රජයකි. එදා සිට තලේබාන්වරු අල් කයිඩා සටන්කාමීන් ද සමඟ එක්වී ඇෆ්ගන් රජයට එරෙහි ප‍්‍රහාර එල්ල කරති. ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජයට ඇමෙරිකා, බි‍්‍රතන්‍යය, ජර්මනිය සහ ප‍්‍රංශයෙන් විශාල වශයෙන් ආධාර හිමිවේ. බටහිර හිතවාදී ඇෆ්ගන් රජයේ පැවැත්ම රැඳී පවතින්නේ ද එම ආධාර මුදල් මතය. විදෙස් හමුදා පිටවී ගියත් ඇෆ්ගනිස්තානයෙහි ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා දිගටම මුදල් ආධාර ලබාදෙන බව ඉකුත් වසරේ ජර්මනියේ පැවැති ‘බොන් සමුළුවට’ සහභාගී වූ රටවල් පසුගිය හය වෙනිදා පොරොන්දු විය. විදෙස් සංග‍්‍රාමය ඇරැඹුණු දා පටන් සෑම වසරක් පාසාම ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායිගේ රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ක මුදලක් ලබා දෙයි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල්ගේ අනුග‍්‍රහයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 80 ක සහභාගීත්වයෙන් බොන් නුවර එම සමුළුව පැවැත්විණි. එහි මූලික අරමුණ වූයේ ඇෆ්ගනිස්තානයෙහි ස්ථාවරභාවයක් ඇති කිරීමය. ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් ඒ රටේ අසල්වැසි පාකිස්තානයේ සහාය අත්‍යවශ්‍ය වේ. එහෙත් බොන් සමුළුවට සහභාගී වීම වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර ඇත. ඒ, ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තානයේ හමුදා සෙබළුන් 24 දෙනා ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කිරීමක් වශයෙනි. එම සිද්ධිවෙන් පසු ඇමෙරිකන්/පාකිස්තාන සබඳතා මුළුමනින්ම බිඳ වැටුණි. අසල්වැසි පාකිස්තානයේ සහාය නැතිව ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවය ඇති කිරීම ඇමෙරිකාවට ඉතා අසීරු කටයුත්තකි. ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ට එරෙහි සටනේදී ද පාකිස්තානයේ සහාය ඇමෙරිකාවට අත්‍යවශ්‍යය. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා දීමට හැකි එකම මඟ වැටී ඇත්තේ පාකිස්තානය හරහාය.
විදෙස් පුවත් ඇසුරින් - ලූසිත ජයමාන්න
ඇෆ්ගන් ජනපති කර්සායි ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු සෙබළු තලේබාන් සටන්කාමීන් ඇෆ්ගන් තලේබාන් නායක මෙෂූඞ්