නයිජීරියාවේ උතුරු කැනෝ ප්‍රාන්තයේ සෙයිති මුස්ලිම්වරුන්ගේ සංකේතාත්මක පෙළපාළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 21 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සිඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

පෙළපාළියේ සංවිධායකයෙක්වු මුහමද් තූරි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කැනෝ නගරයට දකුණින් පිහිටි ඩකසෝයේ ග්‍රාමයෙන් පෙළපාළිය ගමන් ගන්නා විට බෝම්බ කරු ඒ වෙත දිවවිත් මෙම පිපිරීම කර ගත් බවයි.

මෙම පෙලපාලිය උතුරු නයිජීරියාවේ ප්‍රධාන මුස්ලිම් සංවිධානයක් වු  ඉස්ලාමීය ව්‍යාපාරය පවත්වන වාර්ෂික චාරිත්‍ර අනුගමනය කිරීම සදහා පැවැත්වුවක් බව විදෙස් මාධ්‍ය පවසයි.

සුන්නි මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යයට නතුව ඇති උතුරු නයිජීරියාවේ දැන් සෙයිති මුස්ලිම්වරුද සිය ක්‍රියාකාරකම් වැඩි කරමින් සිටිති.

මෙම ප්‍රහාරයේ  වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක්වු බොකෝ හරාම් කැනෝ ප්‍රාන්තයේ නිතරම තම ප්‍රහාර දියත් කරයි.