ඊජිප්තු ජනාධිපතිවරණයේ දෙවැනි අවසන් දිනය වූ ඊයේ (24) තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට, කයිරෝ නුවර ඡන්ද පොළකට ගිය ජනපතිධුර අපේක්ෂක අහ්මඞ් ෂෆීක්, එහි රැස්ව සිටි ඡන්ද දායකයන්ගේ ගල්මුල් ප‍්‍රහාරයකට මැදිවිය. අහ්මඞ් ෂෆීක් යනු ජනතා විරෝධය මැද බලයෙන් ඉවත් වූ ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැති ධුරය හෙබවූවෙකි. ඡන්ද පොළේ රැස්ව සිටි පිරිස ඔහු දැක කෝපයට පත්ව ඔහුට පහර දුන්නේ මුබාරක්ගේ රූකඩයක් යැයි කෑකෝ ගසමින්ය. ඔවුහු අහ්මඞ් ෂෆීක්ට සපත්තුවලින් ද පහර දුන්හ. ප‍්‍රහාරයෙන් අහ්මඞ් ෂෆීක්ට අනතුරක් සිදුනොවුණු අතර කලහකාරීව හැසිරුණු කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට එහි සිට හමුදා සෙබළු කටයුතු කළහ. කෝපයට පත් පිරිස් මැදින් ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මෝටර් රථයට නැග ගැනීමට අහ්මඞ් ෂෆීක්ට හැකි වූයේ ද ඉතා අසීරුවෙන් යැයි මාධ්‍ය වාර්තා කරයි. ජනපති ධුරය වෙනුවෙන් අපේකෂකයන් 13 දෙනකු ඉදිරිපත්ව සිටින අතර ඔවුන් අතරින් අහ්මඞ් ෂෆීක්, හිටපු ඊජිප්තු විදේශ ඇමැති මෙන්ම අරාබි ලීගයේ ප‍්‍රධානියා ද වන අම්ර් මූසා, මුස්ලිම් සහෝදරත්වය පක්ෂ නායක මොහොමඞ් මුර්සි සහ ‘ඉස්ලාම් ව්‍යාපාරය’ පක්ෂයේ හිටපු නායක අබ්දෙල් මොනෙයිම් අබොයුල් ෆෝටා ඉදිරියෙන් සිටිති. ඒ අතරින් මොහොමඞ් මුර්සි සෙසු අපේක්ෂකයන්ට අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනුමාන කරති. ජනපතිවරණයේ මුල් දිනය වූ පෙරේදා (23) ඡන්ද පොළවල දිගු පෝලිම් දකින්න ලැබුණි. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක් කි‍්‍රයාත්මක වේ. මිලියන 50 කට වැඩි පිරිසකට ඡන්දය ප‍්‍රකාශ කිරීමට වරම් හිමි වී තිබුණි. ඊජිප්තු ඉතිහාසයේ පැවැත්වෙන ප‍්‍රථම නිදහස් ජනපතිවරණය වන්නේ මෙයයි. ජනපතිවරණය පැවැත්වෙන්නේ අරාබි වසන්තය හරහා මතු වූ ජනතා විරෝධය මැද වසර 30 ක් තිස්සේ ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්නි මුබාරක් ධුරයෙන් සමුගැනීමෙන් පසුවය. මුබාරක්, ජනපති ධුරයෙන් ඉවත් වෙද්දී  හමුදා පාලක මණ්ඩලයකට බලය පවරා දුන්නේය. වසරකට වැඩි කාලයක් තිස්සේ ඊජිප්තුවේ පාලන කටයුතු සිදු කළේ එම හමුදා පාලක මණ්ඩලයයි. සපත්තු සහ ගල් ප‍්‍රහාරවලින් බේරෙමින් අහ්මඞ් ෂෆීක් (මැද) ආරක්‍ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව මෝටර් රථයට ගොඩවන අයුරු