අනවසර සංක‍්‍රමණිකයින් මර්දනය කිරීමට හොඳම ක‍්‍රමය ඔවුන් පැමිණි රටවලටම පිටමන් කර හැරීම බව  ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා ඉතාලිය බලා පැමිණි අනවසර සංක‍්‍රමණිකයින් පිරිසක් රැගත් යාත‍්‍රාවක් අනතුරට පත්ව එහි සිටියෝ 900 ක් පමණ දෙනා දියෙහි ගිලී මියයෑම සම්බන්ධයෙන් තම අදහස් පළ කළ අවස්ථාවේදීය.

මේ දිනවල බි‍්‍රතාන්‍යය,ඉතාලිය වැනි යුරෝපා රටවල් අනවසර සංක‍්‍රමණිකයින්ගේ හා මිනිස් ජාවාරම්කරුවන්ගේ පාරාදීසයන් බවට පත්ව තිබෙන අතර මුහුදේදී අනතුරට පත්වෙන කවරෙකුහෝ බේරාගෙන තම රටට ගෙන ඒමේ ප‍්‍රතිපත්තියක් එම රටවල් අනුගමනය කරන නිසා සංක‍්‍රමණිකයින් ජීවිත අවදානමද නොතකා මෙම රටවල් වෙත පැමිණේ.

මේ බව හදුනාගත් ඉතාලිය එසේ පුද්ගලයින් බේරාගැනීමේ මෙහෙයුම් දියත් අවම කළද පසුගියදා පුද්ගලයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් දියෙහි ගිලී මරුමුවට පත්වීමෙන් පසු නැවත වරක් සුපුරුදු පරිදි මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන ඇත.

 ඕස්ටේ‍්‍රලියාව සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් අනුගමනය කරනුයේ මිට වඩා හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. රට වෙත පැමිණෙන යාත‍්‍රාවක් සංක‍්‍රමණිකයින් රැගෙන එන්නේ යැයි හඳුනාගත් පසු එම යාත‍්‍රාව අසලට යන  ඕස්ටේ‍්‍රලියා වෙරළාරක්ෂක හමුදාවන්ට අයත් යාත‍්‍රා එය  ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාවෙන් පළවා හැරීම හෝ එම යාත‍්‍රාව පැමිණි දිසාවටම ඇදගෙන යෑම හෝ සිදුකරයි. කිසිදු අවස්ථාවක සංක‍්‍රමණිකයෙකුට  ඕස්ටේ‍්‍රලියාවට පය තැබීමට ඉඩ නොතැබීම  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රතිපත්තියයි.

එරට වත්මන් අගමැති ටෝනි ඇබට්ගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන මෙම වැඩපිළිවෙල නිසා ඔහු බලයට පත්වූදා පටන් මේ දක්වා කිසිදු සංක‍්‍රමණිකයෙක්  ඕස්ටේ‍්‍රලියාවට ඇතුල්වී නොමැති බව සඳහන්ය.

අගමැතිවරයාගේ දැඩි තීරණ වලට ඇමරිකාව වැනි රටවල් විරෝධය පළ කළද මුහුදේ ගිලී මියැදෙන්නට හරිනවාට වඩා, ඕස්ටේ‍්‍රලියාවට ඇතුල්වීමට ඉඩදී  ඕස්ටේ‍්‍රලියාවේ නිත්‍ය පදිංචිකරුවන්ගේ ජීවිත අවුල්කරනවාට වඩා, අනවසර සංක‍්‍රමණිකයින් ඔවුන් පැමිණි රටවල් වලටම රැගෙන යෑම සුදුසු බව ඔහුගේ මතයයි.බහුතරයක්  ඕස්ටේ‍්‍රලියා ජනතාවද අගමැතිවරයා හා එකඟය.

යුරෝපයේ සංක‍්‍රමණික ගැටලූවට පිළියම් සෙවීමට ප‍්‍රධාන රටවල්හි නියෝජිතයින් පිරිසක් මෙම සතියේ හමුවීමට නියමිතය.

4 1 2 3