පාලනයේ දුර්වලතා තිබුණ ද කර්නල් මුවම්මාර් අබු මින්යාර් අල් ගඩාෆි ශක්තිමත් නායකයෙක් විය. ඔහු පෙනුමින්, අඳින පළඳින විධියෙන් සහ හැසිරීම්වලින් පවා ආන්දෝලනාත්මක චරිතයකි. ‘කඩාඞ්ෆා’ නමැති අරාබි බර්බර් ගෝති‍්‍රක පවුලකින් පැවැත එන ගඩාෆි වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කෙළේය. එම පාලනය තවමත් අවසන් වී නැත. ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්, ගඩාෆිගේ බල කඳවුර වන ටි‍්‍රපෝලි අගනුවර අත්පත් කර ගෙන සිටියත් තවමත් ගඩාෆි අල්ලා ගැනීමට හැකියාවක් ඔවුනට ලැබී නැත. කෙසේ නමුත් ගඩාෆිගේ ඉරණම මේ වන විට තීන්දු වී අවසන්ය. එම තීන්දුව දුන්නෝ තිරය පිටුපස සිට කැරැලිකරුවන්ට සහය දෙන ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවත්තුය. ලිබියාවේ එකම රජු වූ අයිඞ්රිස් රජුගේ පාලනය 1969 වසරේදී කණිෂ්ඨ හමුදා නිලධාරින්ගේ කුමන්ත‍්‍රණයකින් පෙරළා දමනු ලැබීය. එවකට කණිෂ්ඨ හමුදා නිලධාරියකුව සිටි ගඩාෆි බලයට ආවේ අනතුරුව ය. ඉතාලියේ යටත් විජිතයක්ව පැවැති ලිබියාව 1952 දී නිදහස ලැබීමෙන් පසු සිදුවූ මහා හමුදා කුමන්ත‍්‍රණය එයයි. ලිබියා රජු බලයෙන් නෙරපා ආණ්ඩුවක් පිහිටූ ගඩාෆි, එවකට ඊජිප්තුවේ ජනපතිව සිටි අබ්දුල් ගමාල් නසාර්ගේ පාලන ක‍්‍රමවේද අනුව යමින් ලිබියාව පාලනය කළේය. ලිබියාවේ තෙල් සම්පත සම්බන්ධයෙන් විධිමත් කි‍්‍රයා මාර්ග ඔහු අනුගමනය කළේය. ඒ වන විට ලිබියාවේ තෙල් සම්පත පැවැතියේ බටහිර බල අධිකාරීන් යටතේය. රටේ තෙල් වෙළඳාමෙන් වැඩි ලාභයක් සහ වාසියක් ලිබියා වැසියන්ට අත් වන ආකාරයට වැඩ කටයුතු කළේ සහ තීරණ ගත්තේ මුවම්මාර් ගඩාෆිය. ගඩාෆි බටහිර රටවල උදහසට ලක් වූයේ එහෙයිනි. ගඩාෆි සහ බටහිර ලෝකය අතර මත ගැටුම් දසක කිහිපයක් තිස්සේ පැවැතිණි. ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් ඇරැඹුණු රාජ්‍ය විරෝධී ජනතා රැල්ල ළැව් ගින්නක් සේ ලිබියාවට ද පැතිර ගියේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. ජනතා නොසන්සුන්තාවක් ලෙස, ආරම්භ වූ එම විරෝධතාවල ප‍්‍රධාන අරමුණ වූයේ ගඩාෆිගේ හතළිස් දෙවසරක ආඥාදායක පාලනය බිඳ දැමීමය. ලිබියා අර්බුදය ආරම්භ වී එය සිවිල් අරගලයක් තෙක් දුර දිග ගියේ පසුගිය පෙබරවාරි 15 වැනිදා නැගෙනහිර ලිබියාවේ බෙන්ගාසි නුවර හටගත් ගඩාෆි විරෝධී උද්ඝෝෂණයකිනි. එම උද්ඝෝෂණය සංවිධානය කළේ මානව හිමිකම් කි‍්‍රයාකාරීයකු වූ ෆෙතී තාබෙල්ය. තාබෙල් ප‍්‍රමුඛ විරෝධතාකරුවන් ගඩාෆි රජයට බල කරන්නට වූයේ දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙසය. එම විරෝධතාව නිර්දය ලෙස මර්දනය කළ ලිබියා රජය, තාබෙල් ප‍්‍රමුඛ විරෝධතාකරුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ සමඟ ලිබියා රජයට එරෙහි ජනතා විරෝධය වැඩි වුණා මිසක් අඩු නොවීය. එය රාජ්‍ය විරෝධී කැරැල්ලක් තෙක් දුරදිග ගියේය. එම කැරැල්ල හට ගත්තේත් එය සන්නද්ධ අරගලයක් තෙක් දුරදිග ගියේත් පෙබරවාරි 24 වැනිදාය. ආයුධ සන්නද්ධ කැරැලිකරුවෝ පිරිසක් ගඩාෆිගේ පොලිස් සහ හමුදා නිලධාරීන්ට පහර දී පන්නා දමා මිස්රාටා නුවර අත්පත් කර ගත්හ. එහිදී පොලිස් සහ හමුදා නිලධාරීන්ගෙන් ඇතැමුන් අවි ආයුධ ද සමඟ කැරැලිකරුවන්ගේ පැත්තට ගියහ. ඒ අතර හමුදා ප‍්‍රධානීන් සහ පොලිස් ප‍්‍රධානීහු ද වෙති. කැරැලිකරුවන් මර්දනය කිරීමටත් ඔවුන්ගේ විරෝධතා මැඩලීමට ගුවනින් පහර දීමටත් කුලී හේවායන් යොදවා විරෝධතාකරුවන්ට වෙඩි තැබීමටත් ලිබියා නායකයා පසුබට නොවූයේය. අපි‍්‍රකාවේ නන්දෙසින් අවි පුහුණුව ලැබූ දක්ෂයෝ ගඩාෆිගේ කුලී හේවා භට කණ්ඩායමට අයත් වූහ. පිටස්තර කුලී හේවායන් යොදා ගෙන ගඩාෆි තම රටවැසියන්ට පහර දීම ගැන විරෝධය පළ කරමින් ලිබියා ජනතාව මෙන්ම ලිබියා හමුදාව ද දෙකට බෙදුණේය. බහුතරයක් ගඩාෆිට පාක්ෂපාතී වූ අතර මුලදී අතළොස්සක් අවි ආයුධ සහ යුධෝපකරණ සමඟ විරෝධතාකරුවන් සමඟ එක් වූහ. පසුව එම පිරිස වැඩි වී කැරැුලිකාර පාර්ශ්වය ශක්තිමත් විය. කැරැුලිකාර පාර්ශ්වයට එක්වූ හමුදා ප‍්‍රධානීහු විරෝධතා දක්වන සිවිල් වැසියන්ට අවි ආයුධ පිළිබඳ මනා පුහුණුවක් ලබා දුන්හ. එහි ප‍්‍රතිඵලය වූයේ ගඩාෆිගේ පාලනයේ පැවැති නගර කීපයක් අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් සමත් වීමය. විරෝධතාකරුවන් අතට ගත් බෙන්ගාසි නගරය ඔවුන්ගේ බලකොටුව විය. බෙන්ගාසි ගුවන් හමුදා කඳවුර සහ වරාය ද විරෝධතාකරුවන් අතට පත් විය. ගඩාෆි පාක්ෂිකයන් සහ හමුදාව බෙන්ගාසි නුවර පැවැති අවි ගැටුම ලිබියා සිවිල් යුද්ධයේ ආරම්භය සනිටුහන් කළේය. ලිබියා කැරැුලිකරුවෝ ආයුධ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් බවට පත්වූහ. සටන්කාමීන්ට එරෙහිව ලිබියා නායකයා එල්ල කළ ප‍්‍රහාරවල ද අඩුවක් නොවීය. ගඩාෆි සිවිල් වැසියන් මරනවා යැයි ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ ලෝක බලවත්තු ලිබියා රජයට චෝදනා කරන්න වූහ. ඊට පිළිතුරු දෙමින් ගඩාෆි තරයේ කියා සිටියේ අල් ක්වයිදා සටන්කාමීන්ගේ උසි ගැන්වීම මත, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ කොටස් ලිබියාවේ විරෝධතා පවත්වන බවය. අල් ක්වයිදාව ඊට පිළිතුරු ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ට හැකි සෑම අයුරින් ඔවුන් විරෝධතාකරුවන්ට සහාය දක්වන බවය. ලිබියා නායකයා පැවැසූවේ තම හමුදා ගුවනින් පහර දෙනේනේත්, තම කුලී හේවායන් වෙඩි තබන්නේත්, සිවිල් වැසියන්ට නොව, බටහිර රටවල කුමන්ත‍්‍රණයකට හසුවූ අල් ක්වයිදාවේ ද මෙහෙයවීම යටතේ ලිබියාව දෙකඩ කිරීමට වෙර දරන කැරැුලිකරුවන්ට බවය. කුඩා රටවල, විශේෂයෙන් තෙවැනි ලෝකයේ රටවල මානවහිමිකම් සුරැුකීම ගැන යහගුණ කියා දීමට ලෝක බලවතුන් වශයෙන් උත්සාහ ගන්නා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය මෙය දුටුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් චෝදනා කළේ ලිබියා නායකයා, ලිබියාවේ සිවිල් වැසියන් ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් ඝාතනය කරන බවය. ඒ අනුව ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ලිබියාවේ ආයුධ සන්නද්ධ පිරිසට සහාය දැක්වීමට ඉදිරිපත් විය. එම අවස්ථාවේ ගඩාෆි විමසා සිටියේ ඇෆ්ගනිස්තානයේ, උතුරු අපි‍්‍රකාවේ සහ පාකිස්තානයේ අල් කයිඩාවට පහර දෙන ඇමෙරිකාව ලිබියා කැරැලිකරුවන්ට සහාය දෙන අල් කයිඩාවට පහර නොදෙන්නේ මක් නිසාදැයි යන්න ගැනය. ගඩාෆි වැඩි දුරටත් කියා සිටියේ බටහිර රටවල් අල් ක්වයිදාව මගින් උසි ගන්වනු ලැබූ තරුණ විරෝධතාකරුවන්ට සහාය දෙන බවය. ලිබියාවේ විරෝධතාකරුවන්ට සහය දීමට නිලවශයෙන් ඉදිරිපත් වූ පළමු වැනි රට ප‍්‍රංශයයි.  සෙසු බටහිර රටවල් විරෝධතාකරුවන්ට සහය දැක්වූවත් ඔවුහු මුලදී ප‍්‍රංශය මෙන් ඒක පාර්ශ්වීයව කටයුතු කර නැත. එහෙත් අද වන විට ලෝක බලවතුන් පමණක් නොව ලිබියාවේ අසල්වැසියා වන ටියුනීසියාව පවා කැරැලිකාර පාර්ශ්වය නිල වශයෙන් පිළිගෙන අවසන්ය. පසුගිය අපේ‍්‍රල් 26 වැනිදා, ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ගුවනින් පහර දී ලිබියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන නිසා ගඩාෆි රජයට සම්බාධක පනවන ලෙසත් ලිබියාවට ඉහළ අහසේ ගුවන් ගමන් තහනම් කරන ලෙසත්ය. කැරැලිකරුවන් අතට පත් නගර එකින් එක යළි අත්පත් කර ගැනීම සඳහා ලිබියා හමුදාව මේ වන විට දිගින් දිගට ම ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටියේය. ලිබියාවට ඉහළ අහස ගුවන් ගමන් තහනම් කලාපයක් බව ප‍්‍රකාශ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හමු වූ අතර සාමාජික රටවල් 15 තික් සමන්විත එම ආරක්ෂක මණ්ඩලය ඡුන්ද විමසීමකින් පසු ලිබියාවට ඉහළ අහස ගුවන් ගමන් තහනම් කලාපයක් කිරීමේ යෝජනාව සම්මත කර ගත්තේය. සාමාජික රටවවල් 10 ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය දුන් අතර චීනයත් රුසියාවත් එම හමුවට සහභාගී නොවීය. එහෙත් ඒ දෙරටම එම යෝජනාවට විරුද්ධ වීම සඳහා නිෂේධ බලය පාවිච්චි කළේ ද නැත. ලිබියාවට ඉහළ අහස ගුවන් ගමන් තහනම් ලෙස කලාපයක් නම් කිරීමේ යෝජනාව ස්ථිර වූයේත් ලිබියාවට එරෙහි සම්බාධක පැණවූණේත් ඒ අනුවය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරන බවට ගඩාෆිට සහ පුතුන්ට චෝදනා එල්ල කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ඔවුන් අපරාධ අධිකරණය හමුවට යොමු කළ යුතු බවය. මේ අතර කැරැලිකාර පාර්ශ්වයට නායකත්වය දුන්  මුස්තාෆා අබ්දුල් ජලේල්, ගඩාෆිගේ ‘උදහසට ලක්වූ’ ප‍්‍රබල ලිබියා දේශපාලනඥයන්ගේ  සහ හමුදා ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් මාර්තු පස්වැනිදා බෙන්ගාසි නුවරදී ‘ජාතික අන්තර්වාර මණ්ඩලයක්’ පිහිටුවීය. ලිබියාවේ සැබෑ ජනතා හඬ තමන් යැයි ‘ජාතික අන්තර්වාර මණ්ඩලය’ ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් යෝජනාවලිය හේතුකොට ගෙන ලිබියාව පසුබෑමකට ලක් විය. ගඩාෆි කියා සිටියේ කැරැලිකරුවන් සමඟ සටන් විරාමයකට එළැඹෙන බවය. එහෙත් එම සටන් විරාමය සීමා වූයේ පැය කිහිපයකට පමණි. ගඩාෆිගේ රජය කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ හමුදා ප‍්‍රහාරවල අඩුවක් නොවීය. මනුෂ්‍යත්වයේ නාමයෙන් සිවිල් වැසියන් ඝාතනය වීම තවත් ඉවසිය නොහැකි යැයි පවසමින් ප‍්‍රංශයේ පැරිස් නුවරදී මාර්තු 19 වැනිදා ඇමෙරිකානු, ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය රාජ්‍ය නායකයෝ විශේෂ හමුවක් පැවැත්වූහ. එම හමුවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බාන් කී මූන්, යුරෝපා සංගමය, අරාබි ලීගය පමණක් නොව නේටෝ සංවිධානය ද සහභාගී විය. ලිබියාවට ඉහළ අහස ගුවන් ගමන් තහනම් කලාපයක් කිරීමට ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය යන රටවලට නේටෝවේ සහය අවශ්‍ය විය. පැරිස් නුවරදී පැවැත්වුණු එම විශේෂ සමුළුව අවසන් වූයේ හමුදා මැදිහත් වීමක් මගින් ලිබියා සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු යැයි තීරණය වීමෙනි. ඒ අනුව ප‍්‍රංශය ප‍්‍රහාරක යානයක් ලිබියාවට පිටත් කර හැරියේය. ලිබියා නායක මුවම්මාර් ගඩාෆිගේ හමුදා මූලස්ථාන සහ ගුවන් හමුදා කඳවුරුවලට පහරදී විනාශ කළහොත් ලිබියා නායකයා අඩපණ කළ හැකි යැයි ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය විශ්වාස කළේය. ලිබියාවේ ගඩාෆි හමුදා ඉලක්ක කර ගනිමින් මුලින්ම ප‍්‍රහාරයක් එල්ල කළේ ප‍්‍රංශ ගුවන් හමුදාවය. ඒ වන විට ලිබියානු වැසියන්ගේ සැබෑ හඬ ‘ජාතික අන්තර්වාර මණ්ඩලය’ යැයි ප‍්‍රංශය පිළිගෙන තිබුණු අතර ප‍්‍රංශ රජය සහ මුස්තාෆා අබ්දුල් ජලේල් අතර සාකච්ඡ ද පැවැත්විණි. ප‍්‍රංශය ගුවනින් පහර දෙද්දී ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ලිබියාව අසල මුහුදට පැමිණ, ඔවුන්ගේ යුද නැව් සහ සබ්මැරීනවලින් ගඩාෆිගේ හඳුනාගත් හමුදා කඳවුරුවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් අනතුරුව තවත් මැද පෙරදිග රටක් ආක‍්‍රමණය කිරීමට ඉදිරි පියවරක් තැබුවේය. ලිබියාවේ ජාතික අන්තර්වාර මණ්ඩලය පිහිටූ රජය ලිබියාවේ සැබෑ ජනතා රජය බව පිළිගනිමින් පසුගිය මාර්තු 28 වැනිදා කටාර් රාජ්‍යය ද බටහිර බලවතුන් සමඟ එක්වූයේය. කැරැුලිකරුවන්ට සහය ලබා දීමට පළමුවෙන්ම නිල වශයෙන් ඉදිරිපත් වූ අරාබි රාජ්‍යය කටාර් රාජ්‍යයයි. මාර්තු 29 වැනිදා ලෝකයේ ප‍්‍රධාන රටවල් 40 ක නියෝජිත හමුවක් ලන්ඩන් නුවරදී පැවැත්විණි. එම සමුළුව පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ වූයේ ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් පසු ලිබියාවේ නව රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන කරුණු කාරණා සාකච්ඡ කිරීමය. ලිබියාවේ ජාතික අන්තර්වාර මණ්ඩලයේ නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ. මාර්තු 30 වැනිදා ගඩාෆි රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මූසා කූසා ලිබියාවෙන් පලා ගියේය. ඔහු පැමිණියේ ලන්ඩන් නුවරටය. අද ඔහු ද ලිබියාවේ ජාතික අන්තර්වාර මණ්ඩලයේ ජේෂ්ඨ සාමාජිකයෙකි. ලිබියානු අර්බුදය නිම කිරීමේ අරමුණින් දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සූමා, තවත් අපි‍්‍රකානු රටවල් හතරක රාජ්‍ය නායකයන් ද පිරිවරාගෙන ලිබියාවට පැමිණ ගඩාෆි හමුවුණේ පසුගිය අපේ‍්‍රල් පස් වැනිදාය. ලිබියා අර්බුදයට දේශපාලන විසඳුම් සෙවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණි. මැදහත්කරුවකු ලෙස කටයුතු කළ අපි‍්‍රකානු ජනාධිපති කියා සිටියේ දේශපාලන විසඳුමකට එළැඹීමට නම් ලිබියාවට එල්ල කෙරන නේටෝ ගුවන් ප‍්‍රහාර නැවැත්විය යුතු බවය. ඒත් නේටෝව ඊට කන් නොදුන් අතර ගඩාෆි හමුදා දිගින් දිගට ම කැරැලිකරුවන්ට පහර දෙන්නට විය. අපි‍්‍රකානු නායකයන් සමඟ ගඩාෆි රජය ඉදිරිපත් කළ දේශපාලන විසඳුම් ඇතුළත් යෝජනාවලිය ද කැරැලිකාර පාර්ශ්වය ප‍්‍රතික්ෂේප කළේය. නේටෝ ගුවන් හමුදා ටි‍්‍රපොලි නුවරට දිගට හරහට පහර දෙද්දී ගඩාෆිගේ බාල පුතු සහ ගඩාෆිගේ මුණුපුරන් තිදෙනා එම ප‍්‍රහාරයකින් මියගියේ අපේ‍්‍රල් 30 වැනිදාය. එම ප‍්‍රහාරයෙන් ගඩාෆි සහ බිරිය අනූනවයෙන් පණ බේරා ගත්හ. මාසයක නිහැඬියාවකින් පසු ගඩාෆි මාර්තු 30 වැනිදා ටි‍්‍රපොලි නුවර ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේය. යළිත් වරක් දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සූමා සමඟ එක්වී සටන් විරාමයක් ගැන සාකච්ඡ කළ ද ගඩාෆි බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කළේය. එම සටන් විරාමය ද පලදැරුවේ නැත. ගඩාෆිගේ රජයේ තෙල් කටයුතු සම්බන්ධ ජේ්‍යෂ්ඨ නිලධාරියකු වන ෂොක්රී ගනේම් ලිබියාවෙන් ඉතාලියට පලා ගියේ පසුගිය ජූනි පළමුවැනිදාය. ඉන්පසු ඔහු ද කැරැුලිකාර පාර්ශ්වයට එක් වූයේය. බටහිර නියෝජිතයන් සහ අරාබි රටවල නියෝජිතයන් ලිබියානු කැරැුලිකරුවන් සමඟ විශේෂ හමුවක් පැවැත්වූයේ ජූනි අට වැනිදා අබුඩාබීහිදීය. ගඩාෆි පෙරළා දැමීමේ අවසන් සටනේ පිඹුරුපත් සකස් කිරීම මෙහිදී සිදුවූ බව ඇමෙරිකානු නියෝජිතයෝ එම නියෝජිත හමුව අවසානයේදී කියා සිටියහ. අන්තර් ජාතික අපරාධ අධිකරණය ගඩාෆිගේ වැඩිමල් පුතු සයිෆ් අල් ඉස්ලාම්ට සහ ලිබියා බුද්ධි අංශ ප‍්‍රධානියාට ද එරෙහිව අන්තර් ජාතික වරෙන්තු නිකුත් කළේ ජූනි 27 වැනිදාය. ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලනය උරුම වීමට තිබුණේ සයිෆ් අල් ඉස්ලාම්ටය. අන්තර් ජාතික අපරාධ අධිකරණය චෝදනා කර සිටින්නේ ගඩාෆි මෙන්ම ලිබියාවේ සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන අපරාධවලට සයිෆ් අල් ඉස්ලාම් සහ ලිබියා බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි ද වගකිව යුතු බවය. ලිබියා වැසියන්ගේ සැබෑ හඬ ජාතික අන්තර්වාර මණ්ඩලය යැයි ඇමෙරිකාව නිල වශයෙන් පිළිගත්තේ ජූලි 15 වැනිදාය. ඒ තුර්කියේ දී ඇමෙරිකා සහ ජාතික අන්තර්වාර මණ්ඩලයේ නියෝජිතවරුන් අතර පැවැත්වුණු විශේෂ හමුවකින් පසුවය. පසුගිය ජූලි 26 වැනිදා එක්සත් ජාතීන්ගේ නියෝජිත අබ්දුල් එල්ලාහ් අල් කතීබ්, ටි‍්‍රපොලි අගනුවරදී ලිබියා අගමැතිවරයා හමුවී සාකච්ඡුා කිරීමෙන් පසු කියා සිටියේ ලිබියා අර්බුදය අවසන් කිරීම සඳහා විසඳුම් සෙවීමට ලිබියා රජයට හෝ කැරැුලිකරුවන්ට උනන්දුවක් නැති බවත් සටන් දිගටම සිදුවන බවත්ය. කැරැුලිකාර පාර්ශ්වයට බි‍්‍රතාන්‍යයේ තානාපති වරප‍්‍රසාද හිමිවූයේ ජූලි 27 වැනිදාය. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ සිටි ලිබියා රජයේ තානාපතිවරයා සහ නියෝජිතයෝ රටින් පිටුවහල් කෙරුණහ. ලිබියා කැරැුල්ල ආරම්භ වී ගඩාෆි පාක්ෂිකයන් සහ විරෝධීන් ලෙස ලිබියා වැසියන් දෙකට බෙදෙද්දී කැරැුලිකරුවන්ගේ පැත්තට ගිය ගඩාෆි රජයේ ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරියකු වූයේ අබ්දෙල් ෆාතා යූනොස්ය. ඔහු ගඩාෆිගේ හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයෙක් ද විය. ඔහු කැරැුලිකරුවන්ට එක් වී ඔවුන්ට අවි පුහුණුව ලබා දුන්නා පමණක් නොව කැරැුලිකරුවන්ගේ අණ දෙන නිලධාරියා ද වූයේය. එහෙත් පසුගිය ජූලි 28 වැනිදා කැරැුලිකරුවෝ අබ්දෙල් ෆාතා යූනොස් මරා දැමූහ. ඊට හේතුව වූයේ යූනොස් කැරැුලිකරුවන් සමඟ හිඳිමින් ගඩාෆිට ඔත්තු සැපයීම යැයි ද වාර්තා විය. නේටෝ ප‍්‍රහාරයකින් මිස්රාටා නුවර සිවිල් වැසියන් 85 දෙනකු මියගයහ යැයි ලිබියා රජය නේටෝවට දොස් පැවැරුවේ පසුගිය අගෝස්තු නව වැනිදාය. මියගිය සිවිල් වැසියන් අතර කුඩා දරුවෝ ද සිටිති. ලිබියානු කැරැුලිකරුවන් ලිබියාවේ ටි‍්‍රපොලි නුවර අසල පිහිටි සාවියා නුවර අත්පත් කර ගත්තේ පසුගිය 14 වැනිදාය. අසල්වැසි ටියුනීසියාවට දිවෙන වෙරළබඩ මාර්ග අත්පත් කර ගැනීමට ද කැරැුලිකරුවෝ සමත් වූහ. ලිබියා නායකයා එරට රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ හඬ පටයක් නිකුත් කළේ පසුගිය 15 වැනිදාය. එම අවස්ථාවේදී ගඩාෆි තම හිතවාදීන්ගෙන් ඉල්ලා සිටියේ කැරැුලිකරුවන් සහ නේටෝ හමුදාවට එරෙහිව සෑම කෙනකුම අවි අතට ගත යුතු බවය. කැරැලිකරුවන් සෙමින් සෙමින් ගඩාෆි හමුදා ප‍්‍රහාර වළක්වමින් ටි‍්‍රපොලි අගනුවරට සමීප වූයේ මේ අතරය. ආයුධ සන්නද්ධ කැරැලිකරුවෝ නේටෝ ගුවන් හමුදාවේ ද සහය ඇතිව ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ඇරඹුවේ ඉකුත් සති අන්තයේදීය. කැරැලිකරුවන් මෙන්ම බටහිර නායකයන් ද කියා සිටියේ එය අවසන් මහා සටන වනු ඇති බවය. ගඩාෆිගේ බලකොටුව ලෙස සැලකෙන ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගත්තත් ගඩාෆි ගැන තවමත් කිසිදු හෝඩුවාවක් නැත. කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වූහැයි කී ගඩාෆිගේ වැඩිමහල් පුතු සයිෆ් අල් ඉස්ලාම් ටි‍්‍රපොලි නුවර රික්සෝස් හෝටලයේ දී විදෙස් මාධ්‍යවේදීන් හමුවෙමින් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමට කැරැුලිකරුවන්ට නොහැකි වූ බවත් තමාත් තම පියා ගඩාෆිත් නිරුපද්‍රිතව සිටින බවත්ය. මේ වන විට සයිෆ් අල් ඉස්ලාම් ද ටි‍්‍රපොලි නුවරින් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි අසල්වැසි ඇල්ජීරියාවට හෝ ටියුනීසියාවට පලා යන්න ඇතැයි ඇතැම් වාර්තාවලින් පැවැසෙයි. එහෙත් එම වාර්තා තවමත් සනාථ වී නැත. මේ අතර ගඩාෆිගේ බිරිය සහ දියණිය ටි‍්‍රපොලි අගනුවරට පැමිණි ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ගෙන් බේරී අසල්වැසි ටියුනීසියාවට පලා ගොස් ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ටි‍්‍රපොලි අගනුවරට කඩා වැදුණු කැරැුලිකරුවන්ට එරෙහිව ලිබියා හමුදා සෙබළුන් 65,000 ක් මේ වන විට ගරිල්ලා මෙහෙයුම්වල යෙදෙන බවත්, කුඩා කණ්ඩායම්වලට බෙදී ඔවුන් සැඟවී සිට කැරැලිකරුවන්ට ස්නයිපර් ප‍්‍රහාර සහ රොකට් ප‍්‍රහාර එල්ල කරන බවත් ද අල් ඉස්ලාම් වැඩි දුරටත් කියා සිටියේය. කැරැලිකරුවන්ට එරෙහිව අවසන් මොහොත තෙක් ම සටන් කරන බව සයිෆ් අල් ඉස්ලාම් කීවේය. කැරැුලිකරුවන් සහ ඔවුන් විසින් පිහිටුවා ගනු ලැබූ ‘ජාතික අන්තර්වාර මණ්ඩලය’ මුලින් අනුමාන කළේ ගඩාෆි ඔහුගේ බාබ් අල් අසීසියා මූලස්ථානයේ සැඟවී සිටින බවය. දින තුනක් තිස්සේ ගඩාෆි හමුදා සමඟ ඇති කරගත් දරුණු ගැටුම්වලින් පසු අල් අසීසියා මූලස්ථානය අත්පත් කර ගැනීමට කැරැලිකරුවෝ සමත් වූහ. එම අවස්ථාවේදී ගඩාෆි හිතවාදී හමුදා සෙබළු අල් අසීසියා මූලස්ථානය අතහැර පලා ගියහ. අල් අසීසියා මූලස්ථානයට කඩා වැදුණු කැරැලිකරුවෝ එය කොල්ල කන්නට වූහ. ලිබියා රජය ප‍්‍රකාශ කළේ කැරැුලිකරුවන් සහ නේටෝ හමුදා ටි‍්‍රපොලි නුවරට එල්ල කරන ප‍්‍රහාරවලින් පසුගිය දින දෙක ඇතුළතදී පමණක් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවය. ලිබියා නායක ගඩාෆි පමණක් නොව ගඩාෆිගේ ඥාතීන් ද සොයා කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවර සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර නගරයෙන් පිටවිය හැකි සියලූම මාර්ග අවහිර කොට මාර්ග බාධක යොදා තිබේ. කැරැලිකරුවන් ගඩාෆි පාක්ෂිකයන් සහ ආධරකරුවන් සොයා ඔවුන් මරා දමන බවත් කාන්තාවන් දුෂණය කරන බවටත් තොරතුරු වාර්තා වෙයි. ජාතික අන්තර්වාර මණ්ඩලයේ මෙන්ම ලිබියානු කැරැලිකාර පාර්ශ්වයේ ද නායක මුස්තාෆා අබ්දෙල් ජලේල්, කැරැුලිකරුවන්ගේ අගනුවර ලෙස සැලකෙන බෙන්ගාසි නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ගඩාෆි සහ පුතුන් පණ පිටින් අල්ලාගෙන අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය ඉදිරියට පමුණුවා නීති මගින් දඬුවම් කරන බවය. ලිබියාවේ නැගෙනහිරින් පිහිටි බෙන්ගාසි නුවර සිටි ගඩාෆි හමුදා සහ ගඩාෆි පාක්ෂිකයන් පන්නා දමා කැරැලිකරුවන් ඒ නගරය අත්පත් කර ගත්තේ ලිබියාවේ කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදීමය. ඔවුන් වෙනම රජයක් ද පිහිටුවා ඇති අතර ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් ලිබියාවේ සැබෑ ජනතා හඬ යැයි පවසන්නේ එම ජාතික අන්තර්වාර මණ්ඩලයයි. එම රටවලට ලිබියා රජයෙන් පත්කොට සිටි තානාපතිවරුන් ඒ පදවිවලින් ඉවත් කොට ලිබියා අන්තර්වාර කවුන්සිලය නියෝජනය කරන  නිලධාරීන්, ලිබියා තානාපති නිලධාරීන් වශයෙන් ඒ තැන්වලට පත් කර ඇත. මීළඟ ලිබියා නායකයා වනු ඇත්තේ මුස්තාෆා අබ්දුල් ජලේල්ය. අබ්දුල් ජලේල් ගඩාෆි රජයේ ප‍්‍රබලයකුව සිටි අයෙකි. ලිබියානු අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔහුය. ඔහු ගඩාෆිගෙන් පලා ගොසින් කැරැලිකරුවන් සමඟ එක් වූයේ ලිබියා කැරැල්ල හටගත් මුල් අවස්ථාවේදීය. මීළඟ ලිබියා නායකයා ලෙස අබ්දුල් ජලේල්ට සාර්ථක පාලනයක් ගෙන යෑමට හැකිවේද යන්න ද මේ වන විට සාකච්ඡුාවට ලක් වෙමින් පවතී. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමෙන් පසු ලිබියාවේ අනාගතය කුමක් වේදැයි යන්න විශාල ගැටලූවකි. මේ වන විට ලිබියා කැරැලිකරුවන් එසේත් නැතිනම් සිවිල් වැසියෝ අවි ආයුධවලින් ශක්තිමත්ව සිටිති. ඇතැම් ඇමෙරිකා දේශපාලනඥයන් බිය පළ කරන්නේ මොවුන් ද අනාගතයේ දිනෙක ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය. ලිබියා කැරැලිකරුවන්ට සහාය දෙමින් ඔවුන්ට උඩගෙඩි දෙමින් ලිබියා අර්බුදයට මැදිහත් වූ ඇමෙරිකාව දැන් එයින් ඉවත් විය යුතු බවත් ලිබියා අවුල ලිබියානුවන්ට විසඳා ගැනීමට ඉඩ දිය යුතු බවත් චීනය පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව කැරැලිකරුවන්ට සහය පළ කළේ අන් කවර හේතුවක් හෝ නිසා නොව ලිබියාවේ තෙල් සම්පත ඉලක්ක කර ගෙනය. එය ලෝකයාට රහසක් නොවේ. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට පාලනය කිරීමට නොහැකි රටවල් අරාබි ලෝකයේ සහ මැදපෙරදිග කලාපයේ ඇත්තේ තුනකි. ඒ ලිබියාව, සිරියාව සහ ඉරානයයි. ඒ අනුව දැන් ලිබියාව පවතින්නේ ඔවුන්ගේ ග‍්‍රහණයේය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේ මීළඟ ගොදුර වන්නේ සිරියාවයි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි සටන මේ වන විට ආරම්භ වී තිබේ. ලිබියාවට මෙන්ම සිරියාවට එරෙහිව ද හමුදා මැදිහත්වීමක් අද හෙට ම සිදුවිය හැකිය. මේ වන විටත් ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සම්බාධක පනවා ඇත. ගඩාෆි මෙන් ම සිරියානු ජනපති ද දීර්ඝ කාලයත් තිස්සේ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කරන බව කියන ඇමෙරිකාව, ඊට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමඟ සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කරගෙන ඇත. එය යුදමය මැදිහත් වීමක් තෙක් දුරදිග යන දිනය වැඩි ඈතක නොවේ. සිරියාවේ අල් අසාද්ගේ පාලනය වෙනස් කර තමන්ට හිතවත් රජයක් පිහිටුවා ගතහොත් ඇමෙරිකාවේ මීළඟ ගොදුර වන්නේ ඉරානයයි. කාලාන්තරයක් තිස්සේ ඉරානය සමඟ හැප්පීමට සූදානම් වන ඇමෙරිකාව සිරියාවේ පාලනය වෙනස් කිරීම ඊට නිමිත්තක් කර ගනු නිසැකය.