ඊජිප්තුවේ පැවති පළමු නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම යැයි හැඳින්වෙන ජනාධිපතිවරණයේ දෙවන වටයේ තරගයෙන් ජයගත් මුස්ලිම් සහෝදරත්වයේ  අපේක්ෂක මොහොමඞ් මුර්සි අනුගමනය කරන්නේ මීට මාස 22කට පමණ පෙර මහජන උද්ඝෝෂණ නිසා බලය අතහැර ගිය හොස්නි මුබාරක් බවට දැන් සැකයක් නොමැත. හොස්නි මුබාරක් යටතේ පැවති එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට පක්ෂපාති පාලන තන්ත‍්‍රය ඉවත්කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් පාලනයක් ගෙන ඒමට සහතික වූ මුර්සිගේ සැබෑ අරමුණ වන්නේ මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන ක‍්‍රියාමාර්ගය, රාජ්‍ය  ප‍්‍රතිපත්තිය බවට පත් කිරීමය. ඒ සඳහා  පැවැති හා ඉදිරියේදී එල්ල විය හැකි බාධක මැඩ පැවැත්වීමට නොවැම්බර් 22 වැනිදා විශේෂ ආඥාවක් නිකුත් කළ ජනාධිපති ඒ තුළින් විධායක, ව්‍යවස්ථාදායක බලතල මෙන්ම අධිකරණ ක‍්‍රියාපාටිපාටියද හීලෑ කිරීමට උත්සාහ කළේය. ඊට විනිසුරුවන්ගේ මෙන්ම ලිබරල් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල විරෝධය එල්ල වූ අතර කයිරෝ හි තහ්රිර් චත‍්‍රරශ‍්‍රය නැවත වරක් උද්ඝෝෂකයින්ගේ කඳවුරක් බවට පත්විය. ඊට අමතරව ජනාධිපති මාලිගාව වටලා ගත් උද්ඝෝෂකයෝ නොවැම්බර් 22 වැනිදා නිකුත් කළ ආඥාව අහෝසි කොට ජනාධිපති මුර්සි බලයෙන් ඉවත් විය යුතු යැයි බල කළහ. උද්ඝෝෂකයින් ඒකරාශී වීම නිසා ජනාධිපති මුර්සිට මාලිගාවෙන් පිටව යෑමට සිදු වුවද නොවැම්බර් 22 නිකුත් කළ නියෝගවලින් කීපයක් ඉල්ලා අස්කර ගැනීමේ නියෝගයක් නිකුත්කොට තම බලය ස්ථාවර කර ගැනීමට ඔහුට හැකිවිය. එහෙත් ඉන් ලිබරල් හා ප‍්‍රජානන්ත‍්‍ර බලවේග සෑහීමට පත්වන බවක් නොපෙනේ. අනෙක් අතට ජාතික එකමුතුවක් සඳහා නිකුත් කරන ලදැයි සඳහන් වන මෙම නියෝගයෙන් නොවැම්බර් 22 නිකුත් කළ ආඥාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුණු ඉවත්කර ගැනීමක් සිදුවූයේද නැත. ජනාධිපතිගේ නියෝග අධිකරණ විමර්ශනයට ලක්කළ නොහැකිය යන නියෝගය ඒ ආකාරයෙන්ම පවතින අතර විපක්ෂයේ මූලික ඉල්ලීම වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා දෙසැ. 15 පැවැත්වීමට නියමිත ජනමත විචාරණය කල් දැමීම ගැන තැකීමක් කර නොමැත. ජනමත විචාරණය දෙසැ. 15 දා පවත්වා  ඊජිප්තුවේ ”විප්ලවය” ආරක්ෂා කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන සම්පූර්ණ කිරීම තම අරමුණ බව මුස්ලිම් සහෝදරත්වය අවධාරණය කරයි. තමන්ට ජන බලයක් පවතින බව තහවුරු කිරීමට ජනාධිපති මාලිගාවේ ඉදිරිපිට දැවැන්ත රැලියක් පැවැත්වූ මුස්ලිම් සහෝදරත්වය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් ”ද්‍රෝහීන්” ලෙස හැඳින්වූයේය. මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් හා විපක්ෂ කණ්ඩායම් අතර හට ගත් ගැටුම්වලින් දහයකට අධික පිරිසක් මිය ගියහ.  තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධික යැයි වාර්තා වේ. ජනාධිපති මුර්සිට අධිකරණයේ බලතල සීමා කරමින් නොවැ. 22 නියෝගය නිකුත් කිරීමට සිදු වූයේ මුස්ලිම් සහෝදරත්වයේ නිදහස හා යුක්තිය පක්ෂය හා ආගමික අන්තවාදී පක්ෂ කීපයක් එකතුව කෙටුම්පත්  කෙරින. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් කෙරෙන පෙත්සමක් අභියාචනා අධිකරණයේ විභාග වෙමින් පැවති නිසාය. අභියාචනා අධිකරණයේ තීන්දුව දෙසැම්බර් දෙවැනි දා නිකුත් කිරීමට නියමිතව තිබිණි. මුස්ලිම් සහෝදරත්වය බහුතරයක් හිමිකර ගෙන සිටි පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව  විසුරුවා හැරිය නිසා අභියාචනා අධිකරණයේ තීන්දුව ගැන සැකයක් තිබුණේ නැත. එම නිසා ජනාධිපති මුර්සිට සිය බලය පවත්වා ගැනීමට කළ යුතු එකම කාර්යය වූයේ අධිකරණය මෙල්ල කිරීමය. නොවැම්බර් 22 ජනාධිපති ආඥාවේ සැබෑ අරමුණ වූයේ එයයි. කෙසේ වෙතත් මුස්ලිම් සහෝදරත්වයේ නියෝජනය පමණක් තිබූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය  (අනෙක් පක්ෂ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූහ) කඩිමුඩියේ කෙටුම්පත් කළ ව්‍යවස්ථාව දෙසැම්බර් 2දාට පෙර ප‍්‍රකාශයට පත් කළේය. ඒ සමගම නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය දෙසැ. 15 දාට පැවැත්වීමට ද ජනාධිපති මුර්සි තීරණය කළේය. මෙය නව ව්‍යවස්ථාව ප‍්‍රතිකිෂේප කිරීමට අධිකරණය තුළ වූ ප‍්‍රවණතාවක් මුබාරක් හිතවාදී කණ්ඩායම්වල විරෝධයක් පරාජය කිරීමට ගත් පියවරක් සේ මුස්ලිම් සහෝදරත්වය හැඳින්වූවද එය ඒකාධිපති පාලනය ඉවත දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මඟකට අවතීර්ණ වීමක් නොවන බව පැහැදිලිය. කඩිමුඩියේ කෙටුම්පත් කළ ව්‍යවස්ථාවෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ මුස්ලිම් සහෝදරත්වයේ බලය පවත්වා ගැනීමට බව හැඟෙන්නේ කෙටුම්පත් පූර්විකාව දෙවැනි වාක්‍යයෙනි. ඉන් ජනවාරි 25 විප්ලවයේ ජයග‍්‍රහණයට සහාය දීම වෙනුවෙන් සන්නද්ධ හමුදාවලට තුති පළකර ඇත. ඊට අමතරව සන්නද්ධ හමුදාවලට මුබාරක්ගේ පාලනය යටතේ ලබාදී තිබුණු සියලූ වරප‍්‍රසාද හා බලතල ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ප‍්‍රතිපාදන පවති. ඉන් වැදගත්ම කාරණය වන්නේ හමුදාවේ පත්වීම් හා වියහියදම් පාර්ලිමේන්තුවේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමය. ආරක්ෂක අමාත්‍යවරයා පත් කරන්නේද සන්නද්ධ හමුදාවලින්ය. මෙම ප‍්‍රතිපාදන  අනුව හමුදාව යටතේ ක‍්‍රියාත්මක වන නිෂ්පාදන කර්මාන්ත හා සේවා ආතනයද පාර්ලිමේන්තුවේ අධිකරණයට ගැනෙන්නේ නැත. එම නිසා පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේදී හමුදාවේ සහාය දිනා ගැනීමට ජනාධිපති මුර්සිගේ රජයට අපහසුවක් නොවේ. සන්නද්ධ හමුදා සහාය සහතික බව පැහැදිලි නිසා ජනාධිපති මුර්සි නැවත වරක් හමුදාවට සිවිල් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලතල පවරා දුන්නේය. මෙම නියෝගය දෙසැම්බර් 15 වැනිදා පැවැත්වෙන ජනමත විචාරණය දක්වා පමණක් සීමා වනු ඇතැයි පැවසුවද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුවද එම බලතල යොදා ගැනීමේ බාධාවක් නැති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඊට අමතරව  ලිබරල් හා ක‍්‍රිස්තියානි සුළුතරයේ විවේචනයට ලක් වූ ප‍්‍රතිවාදනයක් වන්නේ ව්‍යවස්ථා සම්පාදනය කිරීම මුස්ලිම් ආගමික පූජකයින්ගේ අධීක්ෂණයට ලක් කිරීමය. ඒ අනුව සියලූ ව්‍යවස්ථා ෂාරියා නීතියට අනුකූල වන්නේද යන්න තීරණය කිරීමේ බලතල මුස්ලිම් පූජකයින්ට පැවරේ. ආචාර ධර්ම හා සදාචාරය රැක ගැනීමේ වගකීම ද රජයට පැවරෙන නිසා වෙනත් ආගමික කණ්ඩායම් වෙනස්කොට සැලකීමට ලක්වීමේ අනතුරක් ද පවතී. එය වඩාත් වැදගත් වන්නේ සුළුතරයේ හා ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් කිසිවක් ව්‍යවස්ථාවට ඇතුළත්ව නැති නිසාය. මෙවැනි පසුබිමක් තුළ  ජනාධිපති මුර්සි, ජනමත විචාරණයක් තුළින් සම්මත කර ගැනීමට අදහස් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඊජිප්තුවේ සියලූ ජන කොටස්වල අයිතීන් හා වුවමනාවන් නියෝජනය වන බවත් නොපෙනේ. මේ නිසා නොබෙල් ත්‍යාගලාභී මොහමඞ් එල්. බරාඞ්ගේ නායකත්වයෙන් යුත් ජාතිය ගලවා  ගැනීමේ පෙරමුණ ජනතා උද්ඝෝෂණත් වඩාත් උත්සන්න කිරීමට තීරණය කළේය. ඊට ප‍්‍රතිචාර වශයෙන් මුස්ලිම් සහෝදරත්වයද උද්ඝෝෂණත් හා පෙළපාලි පැවැත්වීමට සූදානම් වන නිසා ගැටුම් හට ගැනීමේ අනතුරද ඉහළය. ප‍්‍රථමයෙන් මුර්සි විරෝධී උද්ඝෝෂණ ගැන නිහඬතාවක් දැක් වූ හමුදාව දැන් රජය ආරක්ෂා කිරීමට සූදානම් බවට ඉඟියක් වන්නේ පසුගිය සතියේ සෙනසුරාදා නිකුත් කළ නිවේදනයෙනි. සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටින හමුදාව එසේ නොවුවහොත්  ඉතා බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකියැයි අනතුරු අඟවයි. දශක හයකට අධික කාලයක් සෘජුවම හෝ අනියමෙන් රට පාලනය කළ හමුදාවේ මෙම අනතුරු ඇඟවීමෙන් අදහස් වන්නේ විරෝධතා මැඩපවත්වා පවතින ක‍්‍රමය තහවුරු කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. ජනාධිපති මුර්සි සමග සමීප සම්බන්ධතා  ගොඩනගා ගෙන සිටින එක්සත් ජනපදය ද එම පාලනයේ හදිසි වෙනස්වීමක් අපේක්ෂා නොකරයි. පසුගියදා ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට ඊජිප්තුවේ සන්නද්ධ හමුදා මුස්ලිම් සහෝදත්වය හා එක්සත් ජනපදය අතර පවතින්නේ යහපත් සම්බන්ධතාවකි. වොෂින්ටන් පෝස්ට් පුවත්පත ජනාධිපති මුර්සි හදුන්වන්නේ ”කයිරෝ හි සිටින අපේ මිනිහා” යනුවෙනි. එම නිසා ජනාධිපති මුර්සිට හා ඔහුගේ  පසුබිමේ බලවේගය වන මුස්ලිම් සහෝදරත්වයට සිය න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට බලවත් තර්ජනයක් නැති බවක් දැකිය හැකිය. ඊළගට වැදගත් වන්නේ කයිරෝ නරගයේ හා සෙසු නරගවල විරෝධතා දක්වන කණ්ඩායම්වලට සැබෑවටම අභියෝගයක් විය හැකිද යන්නයි. ඔවුන්ට ඇති විකල්පයක් වන්නේ දෙසැම්බර් 15 පැවැත්වීමට නියමිත ජනමත විචාරණය ඡුන්දයෙන් පරාජය කිරීමය. පසුගිය ජූනි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් මුල් වටයේ ඡුන්ද විමසීමේදී මුර්සිට ලබාගත හැකි වූයේ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 25ක් පමණි. ආගම්වාදී නොවන ලිබරල් අපේක්ෂකයින්ගේ ඡන්ද එකතුව  අනුව ඔවුන්ට පැහැදිලි බහුතරයක් තිබිණි. එම නිසා ජනමත විචාරණයෙන් මුර්සි පරාජය කිරීමට හැකියාවක් ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මනා සංවිධාන ශක්තිය හා රාජ්‍ය බලය හිමි මුර්සි හා මුස්ලිම් සහෝදරත්වය දැන් පෙරට වඩා ඉදිරියෙන් සිටින බවද අමතක නොකළ යුතුය. අනෙක් ක‍්‍රියාමාර්ගය වන්නේ ජනමත විචාරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක්  ඇති කිරීමය. එනම් ජනතා උද්ඝෝෂණ වඩාත් උත්සන්න කොට රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කිරීමය. එහෙත් බොහෝ නිරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙතෙක් ප‍්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පැවැත්වීමට විපක්ෂයට හැකියාවක් තිබුණද එය මුර්සිගේ පාලනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමට ප‍්‍රමාණවත් නොවේ. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපති මුර්සිට සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයෙන් සම්මත කර ගැනීම අපහසු නොවනු ඇත. එහෙත් එය දශලක්ෂ 83ක් පමණ වන ඊජිප්තු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින පාලනයක් වන්නේ නැත. සියලූ ජන කොටස්වල අනුමැතිය නොලැබෙන නිසාත් ඔවුන් නියෝජනය නොවන නිසාත් ආගමික අන්තවාදීන්ගේ බලයට නතු වන ඊජිප්තුව නැවත වරක් එක්සත් ජනපදයට හිතවත් රාජ්‍යයක් වුවද එය ලිබියාව මෙන් අවුල් වියවුල්වලින් පිරි රටක්වීම වැළැක්විය නොහැක.
සටහන: මහින්ද හත්තක
ඊජිප්තු පාර්ලිමේන්තුව හිලරි ජනාධිපති මුර්සි පොලිසිය විරෝධතාවක් මැඩපැවැත්වීමට සූදානමින්... දැවැන්ත ජනතා උද්ඝෝෂණ