පසුගිය දශක හතකට ආසන්න කාලය තුළ නිදහස් පාකිස්තානයේ අගමැතිවරුන්ට බොහෝ විට සිය තනතුරු අතහැර යෑමට සිදුවුයේ හමුදා කුමන්ත‍්‍රණවලිනි. එහෙත් වසර හතරක කාලයක් අගමැති තනතුරේ සිටි පාකිස්තානු ජනතා පක්ෂයේ යුසුෆ් රාසා ගිලානිට එම තනතුර අතහැර දැමීමට සිදුවූයේ ශ්‍රේෂ්්ඨාධිකරණයේ තීන්දුවක් නිසාය. පසුගිය අපේ‍්‍රල් 26 වැනිදා අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි තීරණය කිරීමෙන් පසුවද ඔහු එම තනතුරේ සිටීම නිසා ඒ පිළිබඳව පාකිස්තානු මුස්ලිම් ලීගය (නවාස් පිල)  පාකිස්තානු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු තෙත්රීක් ඊ ඉන්සාෆ් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. ඒ අනුව උසාවියේ තීරණය වූයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවට ගිලානි වැරදිකරු වූ බැවින් තවදුරටත් ඔහුට එම තනතුරේ රැඳී සිටීම නිත්‍යනුකූල නොවන්නේය යන්නයි. අධිකරණයත්, විධායකයත් අතර ගැටුමක් වූ මෙම නියෝගය සමහර නීති විශ්ලේෂකයින් සඳහන් කරන ආකාරයට අධිකරණයේ සීමාවන් ඉක්මවා යෑමක් වුවද විදුලිබල සැපයුමේ සිට අන්තවාදී කණ්ඩායම්වල නිරන්තර ප‍්‍රහාර දක්වා අර්බුදවලට ලක්ව සිටින ජනාධිපති සර්දාරි, ගිලානි අගමැති තනතුරෙන් ඉවත්කොට නව අගමැතිවරයකු පත්කිරීමට පියවර ගත්තේය. එහෙත් නව අගමැතිවරයකු පත්කර ගැනීමද බලාපොරොත්තු නොවූ අර්බුද ගණනාවකට හේතුවිය. ජනාධිපති සර්දාරිගේ පළමු තේරීම වූයේ කැබිනට් ඇමැතිවරයකු වූ මක්දුම් ෂහබ්බ‍්‍රඩින්ය. පාකිස්තානු ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු සිය නාමයෝජනාව පාර්ලිමේන්තුවේ කතානායකවරයාටද ඉදිරිපත් කළේය. එහෙත් නාම යෝජනාව ඉදිරිත්කොට  පැය 24ක් ගතවීමට පෙර ෂහබ්බ‍්‍රඩින් අත්අඩංගුවට ගැනීමේ උසාවි නියෝගයක් නිකුත් කෙරිණි. ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ආනයනය කරන ලද ඖෂධ තොගයක් සම්බන්ධයෙන් මාස ගණනාවකට පෙර ගොනුකොට තිබූ මෙම නඩුවට අදාල වරෙන්තුව ඔහුගේ නම අගමැති තනතුරට යෝජනා වීමත් සමගම නිකුත් කිරීම බොහෝ දෙනාගේ කුකුසට හේතු විය. එය වඩාත් අවධානයට  යොමු වූයේ මත්ද්‍රව්‍ය ගැන විමර්ශනය කරන මෙම අධිකරණයේ ප‍්‍රධානියා තවමත් හමුදා සේවයේ නියුතු නිලධාරියකු වීමය. කෙසේ වුවත් ෂහබ්බ‍්‍රඩින්ගේ නම ඉවත්කොට වෙනත් අගමැතිවරයකු වූ රාජා පර්වෙස් අෂ්රාෆ් එම තනතුරට යෝජනා වූ අතර එය පාර්ලිමේන්තුවෙන් අනුමත කෙරිණි. රාජා අෂ්රාෆ්ට එරෙහිවත් දුෂණ චෝදනා කීපයක් අධිකරණයේ විභාග වෙමින් පවතින නිසා ඔහුට තව කොපමණ කලක් අගමැති තනතුර දැරීමට හැකි වන්නේද යන්නත් සැක සහිතය. අනෙක් අතට නව අගමැතිවරයකු පත්වීම නිසාම අධිකරණය හා විධායකය අතර හටගෙන ඇති ආරවුල විසඳෙන්නේ නැත. ගිලානිට සිය තනතුර අතහැර දැමීමට සිදුවූයේ ජනාධිපති සර්දාරිට එරෙහිව කළු මුදල් රැස් කිරීම පිළිබඳව ස්විස් අධිකරණයක විභාග වෙමින් තිබූ, පසුව අතහැර දැමූ නඩුවක් නැවත පටන්ගන්නැයි පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරයෙන් කරන ලද ඉල්ලීමක් අනුව කටයුතු නොකිරීමය. ගිලානිගේ ස්ථාවරය වූයේ පාකිස්තානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව යම්කිසි පුද්ගලයකු ජනාධිපති තනතුරේ සිටිනතුරු ඔහුට මුක්තියක් හිමි වන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීම ව්‍යවස්ථාවට පටහැනි වන්නේය යන්නයි. මෙම සිද්ධිය ආන්දෝලනයක් බවට පත් වීමෙන් පසු  ප‍්‍රකාශයක් කළ  ස්විස් අධිකරණ නිලධාරියකු සර්දාරීට එරෙහිව පැවැත්වෙමින් තිබූ නඩුව පසෙකලෑමට හේතු වූයේද ඔහු ජනාධිපති තනතුරට පත්වීමෙන් මුක්තියක් ලැබීම  නිසා යැයි සඳහන් කළේය. එහෙත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් එහි අග‍්‍රවිනිශ්චයකාර චෞද්රි එම තර්කය පිළිගත්තේ නැත. ගිලානිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම්, විනාඩි කීපයක සිර දඬුවමක් නියම වූයේ එම නිසාය. අලූතින් පත්වූ අගමැතිවරයාද ජනාධිපති සර්දාරිට එරෙහි නඩු විභාගය නැවත ආරම්භ කරන ලෙස ස්විස් අධිකරණයෙන් ඉල්ලා නොසිටියහොත් ඔහුට අත්වන්නේ ද එම ඉරණමයි. එම නිසා මෙම අර්බුදය අගමැති තනතුරට අලූතින් කෙනෙකු පත්කිරීම නිසාම විසඳෙන්නේ නැත. හිටපු අගමැති ගිලානි හා ඔහුගේ නීතිඥයින් තර්ක කරන ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  249 වගන්තිය අනුව ජනාධිපති තනතුරට හිිමි වන මුක්තිය ගැන අර්ථ දැක්වීමක් අනවශ්‍යය. එය ඉතා පැහැදිලිව දැක්වෙන අතර ඒ  ඕනෑම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් රාජ්‍ය නායකයාට එම තනතුර දරන තාක්කල් හිමිවන වරප‍්‍රසාදයකි. එක් ඉන්දියානු නීති විශාරදයකු පෙන්වා දෙන ආකාරයට මෙවැනි මුක්තියක් හිමිවන්නේ රජුන් වරද නොකරන්නේය යන මූලධර්මයෙනි. එවැනි මුක්තියක් පැවතීම පාලන ක‍්‍රමයේද අවශ්‍යතාවකි. අනෙක් අතට ගිලානි අධිකරණ තීන්දුව ගැන නොසලකා සිටියේද මෙම වගන්තිය අනුව ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම නිසා වන බැවින් ඔහුට දඬුවම් පැමිණවීමෙන් ව්‍යවස්ථාවේ එම ප‍්‍රතිපාදනයට නව අර්ථ ගැන්වීමක් සිදුවේ. එහෙත් නීති විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට අගමැති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නියම කළද  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 248 වගන්තියට අර්ථ දැක්වීමක් සිදුකොට නැත. කෙසේ වෙතත් බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට හිටපු අගමැති ගිලානිට සිය තනතුර අතහැර යෑමට හේතු වූයේ නීතිමය ප‍්‍රතිපාදනයක් නිසාම නොවේ. ඊට පදනම වූ දේශපාලන හේතු ද තිබිය හැක. ගිලානිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් පැමිණ වූ විට ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු වශයෙන් සිටිය යුතුද යන්න තීරණය කළ යුතු වන්නේ එරට මැතිවරණ කොමිසමෙනි. සාමාන්‍ය ප‍්‍රතිපත්තිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මැතිවරණ කොමිසමට යැවීමය. එහෙත් වාර්තාවන ආකාරයට අග විනිසුරු චෞද්රි මැතිවරණ කොමිසමට කර ඇත්තේ දැනුම් දීමට වඩා නියෝගයකි. එයද සම්ප‍්‍රදායෙන් බැහැර වීමක් ලෙස සැලකේ. අනෙක් අතට පුද්ගලයින් අතුරුදහන් කිරීම වැනි මූලික අයිතිවාසිකම් කඩ කිරීම් නිතර වාර්තාවන තත්ත්වයක් යටතේ වංචාවක් පිළිබඳ සිද්ධියක් නිසා දේශපාලන ක්ෂේත‍්‍රයේ අර්බුදයක් නිර්මාණය කිරීම දුෂ්්කර පිටුදැකීමේ අවශ්‍යතාව නිසාම සිදු වූයේද යන්න සමහර නිරීක්ෂකයෝ ප‍්‍රශ්න කරති. පාකිස්තානු ජන ජීවිතයේ දුෂණ හා වංචා චෝදනා සෑම තරාතිරකම පුද්ගලයකුටම එල්ල වී තිබීම සමහර විට සරල කාරණයක් ලෙස සැලකීමටද ඉඩ ඇත. නිදසුනක් වශයෙන් නඩු තීන්දු තමාට වාසි සහගත ආකාරයෙන් ලබාගැනීමට ව්‍යාපාරිකයෙක් අගවිනිසුරුවරයාගේ පුතාට ඩොලර් දශ ලක්ෂ 3.7ක මුදලක් ලබා දුන්නේ යැයි චෝදනාවක් එල්ල වී ඇත. වඩාත්ම පුදුම සහගත තත්ත්වය වූයේ එම චෝදනාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ  අයැදුම් පතක් විභාගයට ගත් අවස්ථාවේ එම විනිශ්චය මණ්ඩලයට අග විනිසුරු චෞද්රීද අසුන් ගැනීමය. පසුව ඔහු එම මණ්ඩලයට සහභාගි වූයේ නැත. විධායකය සහ අධිකරණය අතර හටගෙන ඇති මෙම අර්බුදයේදී පාකිස්තානු දේශපාලනයේ බලවත්ම සාධකය වන හමුදාව මෙතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අවධානයට යොමු විය යුතු කරුණකි. සාමාන්‍යයෙන් විධායකය දුර්වලවී අස්ථාවර තත්ත්වයක් ගොඩ නැගුණු හැම අවස්ථාවකම හමුදාවෙන් පාලන  බලය පැහැර ගැනීම සිදුවිය. ඉන්පසු අධිකරණයේදී එම බලය පැහැරගැනීම කුමන හේතුවක් නිසා සාධාරණය කිරීමට ඉදිරිපත් විය. වත්මන් අගවිනිසුරු චෞද්රිද එම තනතුරට පත් කරනු ලැබුවේ හමුදා පාලක පර්වෙස් මුසාරෆ් විසිනි. පසුව මුසාරෆ්ගේ පාලන කාලය නැවත දීර්ඝ කිරීමට එකඟ නොවූ නිසා මුසාරෆ්  චෞද්රිද නිලයෙන් පහකොට නිවාස අඩස්සියේ තැබුවේය. ඉන්පසු ඔහුට එම තනතුර නැවත හිමිවූයේ හමුදා පාලනය බලයෙන් ඉවත්ව මහා මැතිවරණයෙන් නව රජයක් පිහිටුවීමෙන් පසුවය. ඒ සමගම පාකිස්තානු දේශපාලනයට නව සාධකයක් එක් වෙමින් තිබිණි. ඒ ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් සන්නද්ධ කණ්ඩායමට සහාය දෙන ඇමරිකන් විරෝධී ආගමික අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් ඉස්මතු වීමය. පාකිස්තානයේ වයඹ දිග ප‍්‍රදේශයේ  මූලික වශයෙන් ක‍්‍රියාත්මක වූ මෙම කණ්ඩායම් මර්දනය කිරීමට පාකිස්තානු රජය පියවර නොගන්නේ යැයි චෝදනා කළ එක්සත් ජනපදය එම ප‍්‍රදේශවලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමත් ඊට එරෙහිව රජය දැඩි පියවරක් නොගැනීමත්  පාකිස්තානු ජනතාව තුළ අප‍්‍රසන්න හැගීම් උත්සන්න කිරීමට හේතු විය. එහි උච්ඡතම අවස්ථා වන්නේ පසුගිය වසරේදී ඇබොටාබාද්හිදී බින් ලාඩන් ඝාතනය කිරීමෙන් හා පසුගිය දෙසැම්බර් මාසයේ පාකිස්තානු හමුදා මුරපොළකට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයෙන් භටයින් 24 දෙනකු මිය යෑමෙන් ඇති වූ ජනතා විරෝධයයි. එක අතකින් හමුදාව කෙරේත් අනෙක් අතට රජය කෙරේත් දැඩි අප‍්‍රසාදයක් මතුවිය. මේ සිද්ධීන් නිසා එක්සත් ජනපදය සමග ඇති වූ මත භේදය තවම විසඳී නැත. ජනාධිපති සර්දාරී මෙන්ම හිටපු අගමැති ගිලානි සම්මුතියක් තුළින් විසඳුමකට පැමිණීමට සූදානම්  බවක් දැක්වුවද හමුදාවේ සමහර අංශ ඊට තදින්ම විරුද්ධ බව සමහර නිරීක්ෂකයෝ සඳහන් කරති. විශේෂයෙන්ම පාකිස්තාන, බුද්ධි අංශය වන ප‍්‍රබල අයි. එස්. අයි. ආයතනය ඇෆ්ගනිස්ථානයේ සටන් කණ්ඩායම් සමග  පවත්වන සබඳතා සම්පූර්ණයෙන් අත්හැරීමට සූදානම් නැත. මෙම සම්බන්ධතාව පවත්වනතාක් ඇෆ්ගනිස්ථානයේ තම ආධිපත්‍යය සුරැුකෙන්නේ නැති බව දත් එක්සත් ජනපදය  ජනාධිපති සර්දාරිට හා හිටපු අගමැති ගිලානිට බලපෑම්කළත් ඔවුන්ට දැඩිතීරණයක් ගනීමේ හැකියාවක් නොතිබීත් එය එක්සත් ජනපදය තේරුම් කරගෙන ඇත්තේ සිවිල්  රජයේ දුර්වලතාවක් ලෙසිනි. එවැනි වාතාවරණයක් යටතේ දුර්වල හෝ අහිතකර සිවිල් පාලකයින් ඉවත් කිරීමට විවිධ ක‍්‍රියාමාර්ග පවතින බව ගිලානිට සිය තනතුර අතහැර දැමීමට සිදුවීමෙන් පෙනේ.
සටහන - මහින්ද හත්තක
අග‍්‍රවිනිශ්චයකාර චෞද්රි හිටපු අගමැති ගිලානි නව අගමැති රාජා අශ්රාෆ් පාලක ජනතා පක්ෂයේ ආධාරකරුවන් සතුට සැමරූ අයුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි ආරක්ෂක මුරකාවල්