දෙවන ලෝක යුද්ධයෙන් පසු බල කඳවුරු දෙකකට බෙදුණ ලෝකයේ අසූ ගණන්වල සෝවියට් කඳවුර බිඳවැටීමෙන් පසු අදාළත්වයෙන් හා බලශක්තියෙන් නොවැදගත් වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 16 වැනි නායක හමුව මෙවර ඉරානයේ ටෙහෙරාන් නගරයේ පැවැත්වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ මාතෘකාවකි. ඊට එක හේතුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ සහ බටහිර බලවතුන්ගේ සම්බාධකවලට ලක් වූ ඉරානයට මෙම සමුළුව පැවැත්වීමෙන් සිය කීර්ති නාමය ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් ලැබීමය. අනෙක් හේතුව වන්නේ සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා පනවා ඇති සම්බාධක පිළිබඳව ජාත්‍යන්තර කරළියේ විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවලට සිය ස්ථාවරය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබීමය. එම නිසාම එක්සත් ජනපදය හා ඊශ‍්‍රායලය ටෙහෙරාන් නුවර පැවැත්වෙන නොබැඳි සමුළුව වර්ජනය කරන මෙන් තමන්ට හිතවත් රටවලින් හා එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගෙන් ඉල්ලීමක් කළහ. ඒ අනුව රටවල් කීපයක් ටෙහෙරාන් සමුළුවට සහභාගි නොවන නමුත් රටවල් සියයකට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වන බව තහවුරු කර ඇත. වඩාත් වැදගත් වන්නේ එක්සත් ජනපදයේ හා ඊශ‍්‍රායලයේ බලපෑම් නොතකා එ.ජා මහලේකම් බෑන් කී මූන් සමුළුවට සහභාගි වන බව තහවුරු කිරීමය. ලොව රටවල් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් තුනෙන් දෙකක් අයත්වන අතර ලෝක ජන සංඛ්‍යාවෙන් සියයට 55 ක් නියෝජනය කරයි. එම නිසා මෙම සමුළුව බොහෝ දුරට ලෝක ජන මතයේ කැඩපතක් විය හැකිය. ලෝකය ප‍්‍රධාන කඳවුරු දෙකකට බෙදී සිටි සීතල යුද සමයේ 1961 දී යුගෝස්ලාවියාවේදී මෙම ව්‍යාපාරය ඇරඹුණේ එම කඳවුරු දෙකටම නොබැඳි තුන්වැනි ලෝකයේ ජනතාව සඳහා ස්වාධීන, නිදහස් සංවර්ධන මාවතක් විවර කර ගැනීම සඳහා සුදුසු ජාත්‍යන්තර වාතාවරණයක් බිහිකර ගැනීමටය. ඊට අවශ්‍ය දාර්ශනික මඟ පෙන්වීම ලබා දුන්නේ යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ, ඉන්දියාවේ නේරු, ඉන්දුනීසියාවේ සුකර්ණෝ සහ ඝානාවේ න්ක‍්‍රෘමා වැනි නායකයන්ය. ඔවන්ගේ මූලික අරමුණ වූයේ තුන්වැනි ලෝකයේ ආර්ථික හා දේශපාලන ස්වාධීනත්වයත්, සමෘද්ධියත් තහවුරු කර ගැනීම සඳහා නව  ආර්ථික සමයක් හා නව තොරතුරු හා සන්නිවේදන සමයක් ගොඩ නගා ගැනීමය. එකල පැවති බල කඳවුරු දෙකෙන් එකකට හෝ බැඳීමෙන් මෙම අරමුණු සාක්‍ෂාත් කර ගත නොහැකි නිසා නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම ව්‍යාපාරයේ දේශපාලන දර්ශනය විය. එහෙත් සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසු නව ලිබරල් ආර්ථිකවාදය ලොව බොහෝ රටවල් පිළිගැනීමත් සමඟ නොබැඳි ප‍්‍රතිපත්තියක් තව දුරටත් වලංගු වන්නේද යන සැකය ඉස්මතුවිය. එම ව්‍යාපාරයේ දේශපාලන හා ආර්ථික දැක්ම ලිහිල් වීම නිසා  ඕනෑම රටකට එහි සාමාජිකත්වය ලබාගැනීමට බාධාවක් තිබුණේද නැත. මේ සතියේ 26 සිට 31 දක්වා ඉරානයේ ටෙහෙරාන් නගරයේ පැවැත්වෙන සමුළුවේදී නව ජාත්‍යන්තර බල රටාව හා එකම සුපිරි බලවතෙක් ලෝක බල ව්‍යුහයේ ප‍්‍රමුඛස්ථානය ගෙන තිබීම ගැන ගැඹුරු සංවාදයක් ඇති වන බවක් දක්නට නොලැබෙන නමුත් මෙම සමුළුවට විශේෂ වැදගත් කමක් හිමි වන්නේ එය ඉරානයේ පැවැත්වීම හා ඊට රටවල් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගිවීම නිසාය. බටහිර රටවල් විසින් න්‍යාෂ්ටික අවි තැනීම සඳහායැයි චෝදනා කරන ඉරාන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ ඉලක්ක කර ගත් සම්බාධක වල මූලික අරමුණක් වූයේ ඉරානය ජාත්‍යන්තරව හුදකලා කර දැමීමට එසේ හුදකලා කරන ඉරානය ආර්ථික හා දේශපාලන වශයෙන් දුර්වල කොට විනාශ කිරීම එක්සත් ජනපදයේ හා ඊශ‍්‍රායලයේ ඉලක්කය බවට සැකයක් නැත. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලාන්ඞ්, මහ ලේකම් බෑන් කී මූන් ගෙන් හා ඊජිප්තු ජනාධිපති මුර්සිගෙන් සමුළුවට සහභාගි නොවන ලෙස ඉල්ලා සිටියේ එම නිසාය. එහෙත් ඊජිප්තු ජනාධිපති මුර්සි සමුළුවට සහභාගිවීමට තීරණය කිරීමත් සමඟ ඔහු 1979 න් පසුව ඉරානයට යන ප‍්‍රථම ඊජිප්තු රාජ්‍ය නායකයාද වන්නේය. ජනාධිපති මුර්සි ඉරානයට යෑම තුළින් එම රටවල් දෙක අතර පවතින (ඉරානය හා ඊජිප්තුව අතර තානාපති සම්බන්ධතා නැත) ගැටලූ සියල්ලට විසඳුම් ලැබේයැයි අපේක්‍ෂා කළ නොහැකි වුවත් මෙම තීරණය එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායලයට කරන අභියෝගයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම දැනට වසර එකහමාරක් තිස්සේ සිරියාවේ ඇවිලෙමින් තිබෙන යුද ගිනිදැල් නිවීම සඳහා සාකච්ඡාමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ ආරම්භයක්ද විය හැක. සිරියාවේ අභ්‍යන්තර ගැටුමට කුමන හෝ තුන්වන පාර්ශ්වයක මැදිහත් වීමක් තමා අනුමත නොකරන බව මුර්සි පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී අවධාරණය කළේය. බටහිර රටවල විරෝධය නොතකා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 36 ක රාජ්‍ය නායකයන් සහභාගි වීමද ඉරානය ලබාගත් ජයග‍්‍රහණයකි. මේ අතරින් කැපී පෙනෙන්නේ 150 ක දුත පිරිසක් සමඟ සහභාගි වන ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සිංග්ය. සමුළුව පැවැත්වෙන අතරවාරයේදී විදේශ අමාත්‍ය හෝ ලේකම් මට්ටමෙන් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය හා ඉරානය අතර ත්‍රෛපාක්‍ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. එහිදී රටවල් තුන අතර ආර්ථික සබඳතා තර කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වනු ඇතැයි නිරීක්‍ෂකයෝ පවසති. මෙහිදී විශේෂයෙන්ම ඉරානයේ ඔබහාර් වරාය ඇෆ්ගනිස්ථානයේ ආනයන අපනයන ගනුදෙනු සඳහා යොදා ගන්නා ආකාරය සාකච්ඡා කිරීමට නියමිතය. ඉරානයේ ඔබහාර් වරාය යොදා ගත හැකි නම් ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර කෙරෙන ප‍්‍රවාහන කටයුතු වලදී පාකිස්ථානය මත රැඳී සිටීම අවශ්‍ය වන්නේ නැත. මෙම ගනුදෙනුව නිසා ඉරානයට එක අතකින් ඔබහාර් වරායේ ඉඩ පහසුකම් උපරිම ආකාරයෙන් යොදා ගැනීමට හැකිවන අතර අනෙක් අතට ජාත්‍යන්තර වෙළඳාමේ කේන්‍ද්‍රයක් වීමෙන් එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් පනවන තහංචි ජය ගැනීමටද හැකියාවක් ලැබෙනු ඇත. මෙම සමුළුව ආරම්භ කරමින් ඉරානයේ විදේශ ඇමති අලි අක්බාර් සලෙහි ප‍්‍රකාශ කළ ආකාරයට ඔවුන්ගේ තවත් අරමුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයක් බවට පත් කිරීම සඳහා ප‍්‍රතිශෝධන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. ඉරානයේ විදේශ ඇමති මෙන්ම බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට එක්සත් ජාතීන්ගේ තීරණ ගැනීමේ වැඩි බලතල හිමිකර ගෙන ඇත්තේ සුපිරි රටවල් පහකට නිෂේධ බලයක් හිමි ආරක්‍ෂක මණ්ඩලයටය. ආරක්‍ෂක මණ්ඩලයේ සංයුතිය පුළුළ් කළ යුතු බවට නව ආර්ථික බලවතුන් බවට පත් වෙමින් සිටින ඉන්දියාව, බ‍්‍රසීලය හා දකුණු අප‍්‍රිකාව වැනි රටවල් වසර ගණනාවක් තිස්සේ කරන ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප‍්‍රතිචාරයක් හිමිව නැත. ඉරානයේ යෝජනාව වන්නේ ආරක්‍ෂක මණ්ඩලයට ඒක පාක්‍ෂිකව වෙනත් රටවල් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති හැකියාව වෙනස් කළ යුතුය යන්නයි. මෙය විශේෂයෙන් ඉරානයට පනවා ඇති සම්බාධක හා තහංචි පදනම් කරගත් ඉල්ලීමක් වුවද එය බටහිර බලවතුන්ගේ උදහසට ලක්වෙන තුන්වැනි ලෝකයේ කුමන රටකට හෝ මුහුණ දීමට සිදුවිය හැකි අනතුරකි. ඉරානයේ තවත් යෝජනාවක් වන්නේ වසර 2030 දී මුළු ලෝකයෙන්ම න්‍යාෂ්ටික අවි තුරන් කිරීමට සියලූ රටවල් අතර එකඟතාවක් ඇතිකර ගත යුතුය යන්නයි. න්‍යෂ්ටික අවි තැනීම සඳහා රහසිගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ඉරානය මෙවැනි යේජනාවක් ඉදිරිපත් කිරීම හාස්‍යයක් ලෙස බටහිර සමහර නිරීක්‍ෂකයන් බැහැර කළද එය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නේ නම් සහ ඒ පිළිබඳ වැඩ පිළිවෙළකට එකඟතාවක් ඇති කර ගන්නේ නම් ලෝකය වඩාත් සාමකාමි විය හැකි බවට සැකයක් නැත. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ තමන්ගේ ආරක්‍ෂාව සඳහා යැයි පවසමින් ඊශ‍්‍රායලය කිසිම ආකාරයේ ජාත්‍යන්තර පරීක්‍ෂාවට ඉඩක් ලබා නොදෙන න්‍යෂ්ටික බලවතෙක් වීම නිසාය. ඇත්තෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ ජාත්‍යන්තර නිරීක්‍ෂණයට ලක් කොට කලාපයේ ආරක්‍ෂාව තහවුරු කළ හැක්කේ න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ අර්ථවත් සාකච්ඡාවක් තුළින් පමණි. දැනට සිදු වන්නේ මැද පෙරදිග අනෙක් රටවල න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඩාල කර දැමීම සඳහා ඊශ‍්‍රායලයෙන් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමය. සිරියාවේ සහ ඉරාකයේ න්‍යාෂ්ටික මධ්‍යස්ථාන යැයි සැලකෙන ස්ථානවලට ඊශ‍්‍රායල් ගුවන් ප‍්‍රහාර එල්ල කෙරිණ. ඉරානයටද එවැනි ප‍්‍රහාර එල්ල කිරීම මෙතෙක් ප‍්‍රමාද වී ඇත්තේ සිය ජයග‍්‍රහණය ගැන ඊශ‍්‍රායලයට තවමත් සහතිකයක් නොමැති නිසාය. එක්සත් ජනපදය ද ගල්ප් කලාපයේ සිය යුද ශක්තිය කීප ගුණයකින් වැඩි කොට ප‍්‍රහාරයකට සූදානම්ව සිටී. මෙවැනි වාතාවරණයක මුළු ලෝකයෙන්ම න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ ඉරාන යෝජනාව ප‍්‍රායෝගික නොවන නමුත් අගය කළ යුතුය. සිරියාව සම්බන්ධයෙන්ද ඉරානය නොබැඳී සමුළුවට ඉදිරිපත් කරන යෝජනාව වැදගත් වන්නේ ඉන් ගැටුම් නතර කොට දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡුා මාර්ගයක් ඉදිරිපත් කිරීම නිසාය. මෙම යෝජනාවද කලින් සඳහන් කළ යෝජනාව මෙන් බටහිර රටවල මෙන්ම සෞදි අරාබිය වැනි අරාබි රටවල ප‍්‍රසාදයට හේතු විය නොහැකි නමුත් එය වඩාත් ප‍්‍රායෝගික විසඳුමකට මුල පිරීමක් විය හැකිය. ඉරාකය ලිබියාව මෙන්ම ඊට වඩා අඩු ප‍්‍රමාණයකට ටියුනීසියාවේ සිදු වෙමින් පවතින දේ නිරීක්‍ෂණය කරන්නේ නම් සන්නද්ධ බලයෙන් සිරියාවේ අසාඞ් පාලනය පෙරළා දැමීමට ගන්නා උත්සාහය මැදපෙරදිග ඇෆ්ගනිස්ථානයක් බිහි කිරීමක් විය හැකිය. දැනට සිරියානු සටන්කරුවන්ට පසුබිම් සහාය ලබා දෙන තුර්කිය තවත් පාකිස්ථානයක් වුවහොත් පුදුමයට කරුණක් නොවේ. මෙවැනි පසුබිමක් තුළ ටෙහෙරානයේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ නායක හමුව මැද පෙරදිගට සැබෑ සාමයක් උදා කිරීමටත් සහයෝගිතාවය ගොඩනගා ගැනීමටත් අවස්ථාවක් කර ගත හැකි නමුත් ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් රැඳවිය නොහැකිය. මෙම සමුළුවෙන් තහවුරු වන වැදගත්ම සාධකය වන්නේ ඉරානය හුදකලා කොට විනාශ කිරීමට ගන්නා උත්සාහය ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය යන්නයි.
සටහන:- මහින්ද හත්තක
බෑන් කී මූන් සහ ඉරාන ආධ්‍යාත්මික නායක කුමේනි අතර සාකච්ඡා ඉරාන ජනපති අහමදිනෙජාද් ඉන්දීය අගමැති සාදරයෙනි පිළිගනිමින් සමුළුවට පැමිණි උතුරු කොරියා නියෝජිතවරු ඉරාන ජනපති සහ බෑන් කී මූන් නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව