නවදිල්ලිහිදීය/කොළඹදීය (රොයිටර්)

වසර හතරකට පසුව චීනයට අයත් නාවික යුද නැවක් ඉන්දියානු සාගර කලාපයට පැමිණීමත් සමඟ මාලදිවයිනේ කටයුතුවලට ඉන්දියාවේ මැදිහත්වීම නවතා දැමුණු අතර එරට සිටින චීනයට හිතවත් ජනාධිපතිවරයාට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව සැලසුණේ එම නිසා බවත් ආරක්ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සහ විශ්ලේෂකයෝ පවසති. 
 
ඉන්දියාව සාම්ප්‍රදායිකව තම රටට කිලෝමීටර 400ක් (සැතපුම් 250ක්) දුරින් පිහිටි කූඩා දූපත් සමූහයේ ප්‍රධානතම තීරකයකු වුවත් චීනයේ මැදිහත් වීමත් සමඟ මාලදිවයිනේ තුළ ඉන්දියාවේ බලය තරමක් දුරට ගිලීහි ගොස් තිබේ. 
 
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් චීනයට හිතවත් නායකයකු වීමත් පසුගිය කාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ විපක්ෂ කණ්ඩායම් කරන ලද ඉල්ලීමත් සමඟ මාලදිවයින හේතුවක් කරගනිමින් කලාපයේ බලවතුන් දෙදෙනා වන ඉන්දියාව හා චීනය අතර බල අරගලය තරමක් දුරට ඉස්මතු විය. 
 
මීට දශක තුනකට පෙර කුමන්ත්‍රණයක් සිදු වූ අවස්ථාවේදී හමුදා සේනාංක පිටත් කළා සේම මෙවර ද මාලදිවයිනේ ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ද ඉන්දියාවේ දකුණ පෙදෙසේ හමුදා ගුවන් හා නාවික හමුදා කඳවුරු නෞකා සහ ගුවන් යානා පිටත් කළ බවත් විශේෂ බලකා සීරුවෙන් තැබූ බවත් නවදිල්ලියේ සිටින ආරක්ෂක අංශ ආරංචි මාර්ග දෙකක් සඳහන් කළේය. 
 
එහෙත් අවසානයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 400,000ක ජනගහනයක් සිටින විදේශයකට හමුදාව යැවීමේ දැඩි තීරණයෙන් ඉවත් වූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
මාලදිවයිනට විදෙස් අතපෙවීම් අනවශ්‍ය බව චීනය කිහිපවරක්ම අවධාරණය කළේය. ඔවුන්ට ඊට හේතු කිහිපයක් ම තිබේ. චීනය මාලදිවයිනේ ඩොලර් මිලියන ගණනක් ආයෝජන කර තිබෙන අතර මාලදිවයින චීනයේ 21 වැනි සියවසේ සමුද්‍ර සේද මාවත් ව්‍යාපෘතියේ එක් කොටසක් ද වේ. 
 
එම නිසා චීනය නාවික යුද නැවක් පිටත් කළ බවත් එය ඉන්දියාවට මාලදිවයිනට මැදිහත්වීමට තිබූ ඉඩකඩ ඇහිරූ බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ පැවැසූහ. 
 
055