ඉන්දියාව විසින් අද (15) ගුවන්ගත කිරීමට නියමිතව තිබූ "චන්ද්‍රයාන් 2" යානයේ පිටත්වීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දමා ඇතැයි වාර්තා වේ. 

යානය ගුවන්ගත කිරීමට සැලසුම් කළ වේලාවෙන් පැයකට පමණ පෙර මෙම දැනුම්දීම සිදුකර ඇත.

"චන්ද්‍රයාන් 2" ලෙස නම්කර ඇති මෙම යානය ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

යානය ගුවන්ගත කරන ‍වෙලාව ඉතා ඉක්මණින් දැනුම් දෙන බවද ඔවුහු පවසති.

ප්‍රථම වරට සඳෙහි දකුණු ධ්‍රැවයට යානයක් ගොඩබැස්වීම මෙම චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ අරමුණ බව ඉන්දියාව පවසයි.

මෙහිදී චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨය අධ්‍යයනය කෙරෙන අතර චන්ද්‍රයා මතුපිට ජලය සහ ඛණිජ ද්‍රව්‍ය සම්බන්ධව භූ චලන සම්බන්ධව අධ්‍යයනය කෙරෙන බව සඳහන් වේ.

මීට පෙර ඇමරිකාව, චීනය හා සෝවියට් දේශය සඳ මතට යානා යවා ඇති අතර මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳ මතුපිටට යානයක් යවන හතරවන රට බවට ඉන්දියාව පත්වේ.

2008 වර්ෂයේදී අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රයාන් 1 යානය සඳ මතුපිටට ගොඩබැස්වීමක් සිදු නොකළ නමුත් සඳෙහි කක්ෂගතවී රේඩාර් කිරණ ආධාරයෙන් බොහෝ තොරතුරු ලබාදීමට සමත් විය.

(බීබීසී ඇසුරිණි - 085)