කොලොම්බියාවේ ආමෙරෝ නමැති නගරයේ ආසන්නයේ පිහිටි නෙවාඩෝ ඩෙල් රුයිස් නමැති ගිනිකන්ද 1985 නොවැම්බර් 13 දා පුපුරා යාමෙන් මියගිය යුවළකගේ දිවි බේරාගත් දියණියන් දෙදෙනා වසර 30ට පසු යළි හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස හමුවී ඇත්තේ ජැකොලින් (39) හා සුලී ජනෙත් (33) නමැති සොයුරියන් දෙදෙනාය.

ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් රැකියාව සඳහා ගොස් සිටිය දී ගිනිකන්ද පුපුරා ගොස් ඇති අතර මියගිය 25,000ට අධික පිරිස අතර ඔවුන් දෙදෙනා ද වූහ. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දරුවන් දෙදෙනා කලබලකාරී වාතාවරණය සමග මිනිසුන් හිස් ලූ ලූ අත දිව යද්දී  එකිනෙකා මග හැරී ඇත. පසුව මේ දරුවන් දෙදෙනා වෙනත් පවුල් දෙකක් විසින් භාර ගෙන ඇති දැඩි කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්ද පුපුරා යනවිට තුන් හැවිරිදි වියේ පසු වූ සුලී ජනෙත් සම්බන්ධයෙන් තිබූ වීඩියෝ දර්ශනයක් අහම්බෙන් නෙත ගැටුණු ජැකොලින් (39) ඒ තම නැගණිය විය හැකියැයි සැක කළාය. මේ වීඩියෝ පටය නිෂ්පාදනය කර ඇත්තේ ගිනිකන්ද පුපුරා යාමෙන් විපතට පත්වූ අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආමෙන්ඩෝ ආමෙරෝ පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. ඔවුන් ඉල්ලා ඇත්තේ ගිනිකන්ද පුපුරා යාමේ දී තුන් හැවිරිදි වියේ පසු වූ සුලී ජනෙත් ගේ ඥාතීන් සිටින්නේ නම් ඉදිරිපත් වන ලෙසයි.

මේ වීඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ එම පදනමේ විමර්ශනාත්මක වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රැන්සිස්කෝ ගොන්සාලෙස් විසිනි. ජැකොලින් ඔහුට ඇමතුමක් ගෙන සුලී ගිනිකන්ද පුපුරා ගිය දිනයේ දී අතුරුදන් වූ තම නැගණිය විය හැකියැයි කිවාය.

තම මව හෝ පියා සොයා ගත හැකි වේයැයි  සුලී බලාපොරොත්තු වූවාය. අනතුර සිදුවන අවස්ථාවේ දී තුන් හැවිරිදි වියේ පසු වූ සුලීට තම වැඩිමල් සොයුරිය ගැන කිසිදු මතකයක් තිබුණේ නැත. මව් පියන් ගැන ද මතකයක් නොතිබූ ඇය සිතා සිටියේ මව හෝ පියා ජීවත්ව සිටීනම් යම් දිනක තමා සොයා ගනු ඇති බවයි.

ගිනිකන්දට හසුවූ බොහෝ දෙනකු දැවී හළු වී ගොස් සිටි බැවින් මේ දෙදෙනාගේ දෙමාපියන් මිය ගිය බවට තහවුරු කරගෙන තිබුනේ නැත. දෙදෙනා හමුවී සොයුරියන් ලෙස හඳුනාගත්ත ද එය තහවුරු කිරීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකැරිණි. එහි ප්‍රතිඵල පසුගිය පෙබරවාරි 19 දින නිකුත් කැරිණි. ඉන් කියැවුණේ මේ දෙදෙනා සොයුරියන් බවයි.

අක්කාත් නංගීත් මෙලෙස හමුවන විට දෙදෙනා ම විවාහ වී දරුවන් ද බිහිකර සිටියහ.