අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකා හමුදාවට හසුවී ඝාතනය වීමට පෙර, වසර 9 ක් පාකිස්තාන ආරක්ෂක අංශ ඇස්වලට වැලි ගසා එරට සැඟවී ජීවත් වූ බව අල් ජසීරා පුවත් සේවය ඊයේ (9) අනාවරණය කළේය.

අල් ජසීරා පුවත් සේවය, මේ බව අනාවරණය කළේ,  පාකිස්තාන බුද්ධි අංශ රහස් වාර්තාවක් පාදක කර ගනිමිනි.පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය පිටු 336 කින් යුත් එම වාර්තාව සකසා ඇත්තේ මීට මාස 6 කට පෙරය.

ඒ, ඔසාමා බින් ලාඩන් පාකිස්තාන රජයටත් ආරක්ෂක අංශවලටත් හොරා එරට රැඳී සිටීම සම්බන්ධවෙන් පැවැති විශේෂ නඩු විභාගයට ඉදිරිපත් කිරීමටය.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක් අවස්ථාවක බින් ලාඩන් ගමන් කළ මෝටර් රථය පොලිස් නිලධාරීන්ගේ සෝදිසියකට ලක් කෙරුණු බවත්, එහි සිටියේ බින් ලාඩන් බව නොදත් පොලිස් නිලධාරීන්, දඬ කොළයක් ලියා එම මෝටර් රථය පිටත් කර හැර ඇති බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් එම විශේෂ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් 201 දෙනකුගෙන් බින් ලාඩන් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කෙරුණි.

බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වන බව ඇමෙරිකාව දැනගත්තේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ දස්කම් හේතුවෙනි.

ඔවුන් 2011 මැයි දෙවැනිදා බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්තාන රජයට හෝ බුද්ධි අංශයට හෝ නොදන්වා රහස් හමුදා මෙහෙයුමකිනි. ඒ, ඇමෙරිකා ජනපති ඔබාමාගේ අනුදැනුම යටතේය.

බින් ලාඩන් තම රටේ රැඳී සිටින බව තමන් කිසිවක් නොදන්නා බව පාකිස්තාන රජයත්, ආරක්ෂක අංශත් පැවැසීය.

ඇමෙරිකාව බින් ලාඩන් ඝාතනය කිරීම පාකිස්තාන බුද්ධි සහ ආරක්ෂක අංශවලට අතුල් පහරක් වූවා පමණක් නොව ලැජ්ජාවට කරුණක් ද වූ බව පුවත් සේවා වාර්තා කළේය. ඒ ගැන විශේෂ විමර්ෂණයක් පවත්වා නඩු විභාගය පැවැත්වුණේ ඒ අනුවය.

බින් ලාඩන් පාකිස්තානයේ ජීවත් වූ වසර නවය තුළ ඇබොට්ටාබාද් නුවර පමණක් නොව, තවත් ස්ථාන 6 ක ජීවත් ව ඇතැයි ද පාකිස්තාන බුද්ධි අංශ සකස් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.