ටර්ක්ස් සහ කේකොස්හිදීය (රොයිටර්)


අත්ලාන්තික් කලාපයට සියවසකට පසු ඇති වූ බිහිසුණුම කුණාටුව ලෙසින් හඳුන්වන ‘ඉර්මා’ සුළිකුණාටුව හේතුවෙන් ටර්ක් සහ කේකෝස් දූපත්හි 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

කැරිබියානු දූපත්වලට කඩා වැදුණු ඉර්මා සුළිකුණාටුව මේ වනවිට ෆ්ලෝරීඩා වෙත ගමන් කරමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ කැරිබියානු දූපත්වලට දරුණු ලෙස බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් දැනටමත් විශාල හානියක් සිදු ව තිබේ. 

පැයට කිලෝමීටර 185ක වේගයකින් හඹා යන සුළං ද සහිතව කුණාටුව හයිටි සහ ඩොමිනියන් ජනරජයට ද බලපා තිබේ. සුළි කුණාටුව පස්වැනි වර්ගයේ ප්‍රබලතම කුණාටුවක් ලෙස නම් කර තිබේ. 

ඉර්මා කුණාටුව මෙතෙක් වාර්තාව වූ ප්‍රබලතම කුණාටුව යැයි ප්‍රංශ කාලගුණ බලධාරීහු ඊයේ 07 නිවේදනය කළහ. පැය 33ක් තිස්සේ අඛණ්ඩව පැයට කිලෝමීටර 295ක වේගයකින් සුළං හමන බවත් එය මෙතෙක් වාර්තාව වූ දීර්ඝතම කාලය යැයි ද ඉර්මා කුණාටුව මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම කුණාටුව යැයි ද ප්‍රංශ කාලගුණ බලධාරීහු කීහ. 

චන්ද්‍රිකා තාක්ෂණය ආරම්භ වූ දවසේ සිට අද දක්වා කාලය තුළ එතරම් ප්‍රබලත්වයක් එතරම් දීර්ඝ කාලයක් පැවැති බවක් වාර්තා වී නැතැයි ද එම බලධාරීහූ කීහ. 


(055)