ලන්ඩන්හිදීය (රොයිටර්)
 
දකුණු දිග ඉරානයේ අශ්වාස්හි ඉකුත් සතියේ පැවැති හමුදා ආචාර පෙළපාළියට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් 22 කු අත්අඩංගුවට ගත් බව එරට බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
එම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයට සහ මැද පෙරදිග කලාපයේ ඔවුන්ගේ මිත්‍ර රටවලට චෝදනා කළේය. 
 
“අශ්වාස්හි පැවැති හමුදා ආචාර පෙළපාළියට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ 22 කු අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව ආයුද, සන්නිවේදන උපකරණ ආදී උපකරණ තිබුණා. ඔවුන් ප්‍රහාරය එල්ල කළ පස්දෙනකුගෙන් සමන්විත ත්‍රස්ත සංවිධානයට සම්බන්ධයි” ඉරානයේ බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
ආචාර පෙළපාලියට පැවැත්වුණේ සෙනසුරාදා 22 ය. ඊට කඩා වැදුණු තුවක්කුකරුවෝ ආචාර පෙළපාළිය නරඹමින් සිටි හමුදා නිලධාරීන් ඇතුළු පිරිසට වෙඩි තැබූහ. වසර 1980-88 කාලයේ පැවැති ඉරාන-ඉරාක යුද්ධය සිහිපත් කරමින් මෙම ආචාර පෙළපාළිය පැවැත්විණි. ඉරාන විප්ලවකාරී මුර බලකායේ (ඉරාන හමුදාවේ කොටසක්) සාමාජිකයන් 12 දෙනකු ඇතුළු 25 දෙනෙක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. 
 
055