ඇමසන් වැසි වනාන්තර භූමියේ නීතිවිරෝධී පතල් කැණීම් වැඩි කිරීම සම්බන්ධයෙන් බ්‍රසිල ජනපති ජෙයාර් බොල්සනාරෝට එරෙහිට මුන්දුරුකු ගෝත්‍රික නායකයෝ චෝදනා කරති.

මුන්ඩුරුකු ආදිවාසී ගෝත්‍රික නායකයන් 15 දෙනෙකු බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව මෙසේ චෝදනා ගොනු කර ඇත.

මෙම චෝදනා ඉදිරිපත් කිරීම සඳහා මුන්දුරුකු ගෝත්‍රිකයින් 50 දෙනෙකු බස් රථයකින් බ්‍රසීලියා නගරයට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමනට සතියක් ගතවී ඇතැයි පැවසේ.

තම මුතුන් මිත්තන්ගේ ඉඩම් හරහා දිවෙන ටැපජෝස් ගඟේ ජල විදුලි වේලි ඉදිකිරීමේ සැලසුම නැවත ආරම්භ නොකරන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ටැපජෝස් ඇමසන් වනයේ පිහිටි පිරිසිදු ජලය සහිත විශාලම අතු ගංගාවකි.

පතල් හා වාණිජ කර්මාන්තයන්ට තම ඉඩම් වෙන් කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතීන් විනාශ වනු ඇතැයි ගෝත්‍රික නායකයෝ පවසති.

පතල් කර්මාන්තයේදී ගංඟා වලට රසදිය මුසුවීමෙන් දූෂණය සිදුවන බවද ඔවුහු සඳහන් කරති.

නීතිවිරෝධී දැව කැපීම් ඉහළ යමින් පවතින බවත් බොල්සනාරෝගේ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් පතල් කම්කරුවන් මුනුදුරුක්කු ඉඩම් ආක්‍රමණය කරන බවත් ආදිවාසීහු පවසා ඇත.

ටැපජෝස් ද්‍රොණියේ ආදිවාසී ගම්මාන 112ක මුන්දුරුකුවරුන් 13750ක් පමණ වාසය කරති.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)