ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාවට වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය සහ බ‍්‍රසීලය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙයි.

ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරනවා යැයි චෝදනා කරන්නේ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන බ‍්‍රසීලයේ ජනපතිනී දිල්මා රූසෙෆ්ය.

ඇමෙරිකාව තම රට සම්බන්ධයෙන් සිදුකරන ඔත්තු බැලීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම ඔත්තු බැලීමේ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ පොදු එකඟතාවක් ඇතිකර ගත යුතු බවත්, ජර්මන් චාන්සල්වරිය පවසා ඇත.

ජර්මනිය  වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් ඇමෙරිකාවේ සමීපතම මිතුරක් බවත්, එසේ තිබියදී ඇමෙරිකාව තමන් ගැන ඔත්තු බැලීම ගැන තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්ය.

ජර්මන් චාන්සල්වරිය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනපති ඔබාමා ඇයට ඇමතුමක් දී කරුණු පැහැදිලි කිරීමක් කළ බව ද  වාර්තා වේ.
මේවනවිට, ජර්මන් බුද්ධි අංශ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවට ගොස් ඇති බවත්, ඇමෙරිකාවේ බුද්ධි අංශ සමඟ ඔවුන් සාකච්ඡුා පැවැත් වූ බවත් වාර්තා වේ.

ඇමෙරිකා රජය තම ඊ මේල් පණිවුඩ ගැන සොයා බලනවා යැයි බ‍්‍රසීල ජනපති දිල්මා රූසෙෆ් ද චෝදනා කළේ මීට සතියකට පමණ පෙරය. එම චෝදනා සම්බන්ධයෙන් ඇය ඇමෙරිකාවට දොස් පවරා ඇමෙරිකා සංචාරයක් ද අවලංගු කළාය.

මේ වන විට රහස් හෙළි වීම නිසා ඇමෙරිකා රජය සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, එම අර්බුදයෙන් ගොඩ ඒමටත්, ‘හොඳ නම’ රැක ගැනීමටත් ජනපති ඔබාමාට විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවය.

ඇමෙරිකාව සිදුකරවන ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් වාර්තා දහස් ගණනින් මාධ්‍ය ආයතනවලට ලබා දී ඇත්තේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන්ය.