නින්දෙන් ඇවිද කුස්සියට වැදී නිදන ගමන්ම ආහාර අනුභව කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි.

සාමාන්‍ය මිනිසෙකු දිනකදී ගන්නා ආහාර ප්‍රමාණය ඇය එක් නින්දකදී අනුභව කරන බව සදහන්වේ.

දරු තිදෙනෙකුගේ මවක් වන ලෙස්ලි කුසාක් (55) තමාට නින්ද හා බැදුණු මේ පුරුද්ද වසර 30 ක් පුරා පවතින්නක් බව කියන්නීය.ඇතැම් අවස්ථාවන්හි කෑම පමණක් නොව අතට අසුවන කුමක් හෝ කා දමා ඇති අවස්ථාද තිබූ බව ඇය පවසයි.

මේ පුරුද්ද නිසා ඇයගේ බරද රාත්තල් කිහිපයකින්ම වැඩිවී ඇත.බර අඩු කර ගැනීමට ඇය ප්‍රදේශයේ පිහිනුම් සංගමයකට බැදී පිහිනීමට පුරුදු වෙමින් සිටින්නීය.කිහිප වරක් වෛද්‍ය උපදෙස් අනුගමනය කළද ඒ කිසිවෙකින් පලක් නොවූ බව ඇය පවසන්නීය.

 

‘‘මගේ ගෙදර දොරවල් සියල්ලකට පාහේ අනතුරු හැගවීමේ නළා සවිකරලයි තියෙන්නේ.ඒ කවුරුන් හෝ රැයේ දොරක් ඇරියොත් නාද වෙන ලෙසට.උදේ නැගිටල බලද්දි ඒ සියල්ලම ක්‍රියාවිරහිත වෙලා.පස්සේ තමයි හෙළි වුනේ මම නින්දෙන් ඇවිදිනකොට ඒවත් ක්‍රියාවිරහිත කරනවා කියලා.පහුගිය කාලය පුරාම මම නැගිටිද්දි හිටියේ කුස්සියේ.කෑම හැමතැනම.මේ පහුගිය දවසක වැටි දත් කිහිපයකුත් කැඩිල තිබුණ.ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැහැ‘‘කියන්නී ලෙස්ලිය.

නින්ද ආශ්‍රිත සංකූලතා ගැන පර්යේෂණ පවත්වනා වෛද්‍ය පෝල් රීඩින්ග් නින්දෙන් ඇවිදින්නන් බොහෝ අවස්ථාවන්හිදී නින්දෙන්ම ආහාර ගන්නා බව සදහන් කරයි.ඇතැමුන් නින්දෙන්ම ආහාර පිස ඇති සිදුවීම්ද වාර්තා වී ඇතැයි ඔහු පවසයි.ලෙස්ලිගේ මේ නින්දෙන් ඇවිදීමේ පුරුද්ද මැඩ පැවැත්වීමට නම් යහපත් ආහාර පුරුදු ඇතිකර ගැනීම හා නිවැරදිව වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව ඔහු පවසයි.