පිටස්තර පාර්ශවයක් තම රටට ප‍්‍රහාරයක් එල්ල කළහොත් තමන් සතුව තිබෙන රසායනික අවිවලින් පහර දෙන බව සිරියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ජිහාඞ් මක්ඩිසි ඊයේ(24) ඩැමැස්කස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ සිරියාව කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගැනීමට සූදානමින් සිටින බවට ජාත්‍යන්තරය කළ චෝදනාවට පිළිතුරු දීමක් වශයෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මක්ඩිසි කියා සිටියේ කිසිවිටෙකත් එම රසායනික අවි තම රටවැසියන්ට එරෙහිව යොදා නොගන්නා බවත් තම රටට බාහිර බලපෑමක් එල්ල වූවහොත් ඒවා යොද ගැනීමට නොපැකිලව කටයුතු කරන බවත්ය. මේ අතර සිරියා ජනපති අසාද්ට අනතුරු අඟවමින් ඇමෙරිකා ජනපති ඔබාමා කියා සිටියේ රසායනික අවි භාවිතා කර ජන සංහාරයක් නොකිරීමට වගබලාගතයුතු බවත් මුළු ලෝකයම අසාද්ගේ කි‍්‍රයා කලාපය දෙස අවධානය යොමු කර ඇති බවත්ය.