පුවත් පතකට ලිපියක් ලියන අදහසින් ලේඛකයකු වූ මූ. අරුක්ගොඩ “ලංකාදීප” කාර්යාලයට (1964 වසරේ මුලදී) ගියේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හමුවීමටය. 

 
මානවසිංහ මහත්තයා ඉන්නවද? ඔහු කර්තෘ මණ්ඩලයේ සේවකයකුගෙන් විමසීය.   


කාමරයේ දොර ඇර බැලු සේවකයා මානවසිංහයන්ගේ හිස් පුටුව බලා මේ දැන් හිටියා කියමින් මේසය යටට එබී බලා ඇත. පුටුවේ නැත්නම් මේසය යටවත් හිටින්නට බැරි යැයි සිතූ අරුක්ගොඩ කුතුහලයෙන් සේවකයා දෙස බැලුවේය.   
“මහත්තයා ගෙදර ගිහින්” සේවකයා කීය.  


“කොහොමද ඒ බව කීවේ”   


“​ෙම්සේ යට සෙරෙප්පු දෙක තියෙනවා නම් මහත්තයා කොළඹ කොහේ හරි තැනක ඉන්නවා. සෙරෙප්පු දෙක නැත්නම් ගෙදර ගිහින්” ඔහු සිනාසෙමින් කීවේය.   


ඒ මානවසිංහගේ හැටිය. අවුරුදු විසි ගණනකින් මුහුණ සේදුවක් සබන් ගාන්නේ නැති, පනාවකින් කොණ්ඩය පිරා නැති, අවුල් වු කොණ්ඩය මුහුණට නොවැටීමට නොදී අතින් හදා ගත් මානවසිංහයන් ප්‍රසිද්ධ කතාවකට යන බව දැන ගන්නා “ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා ඔහු කැඳවා මෙසේ අසනවාලු.   


“මානවේ, කතාවට යන කොට කවුද සෙරෙප්පු දම්මවන්නේ?” “කවුද මූණ හෝදවන්නේ” කවුද කොණ්ඩේ පීරන්නේ? මෙය එකල “ලංකාදීප” කර්තෘ මාණ්ඩලීකයන් පමණක් දන්නා ප්‍රශ්නාවලියකි.   


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියෙක්, ගීත ප්‍රබන්ධකයෙක්, ගීත නාටක රචකයෙක්, ලේඛකයෙක් කෙටි කතා රචකයෙක්, තීරු ලිපි රචකයෙක්, මූර්ති ශිල්පියෙක්, කථිකයෙක්, ජ්‍යොතිෂ විශාරදයෙක්. ගීත සාහිත්‍යයේ දැවැන්ත පුරුෂයකු වන මානවසිංහයන්ට තම කවි සිතිවිලි අවදි කළ කුඩා කාලය ගැන ඇත්තේ මෙවැනි මතකයන්ය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියු “මානවසිංහ ගීත නිබන්ධ” කෘතියේ මානවසිංහයන්ගේ නොපළ අත් පිටපත් උපුටා දක්වා ඔහු බාල බොළඳ වියේ මවු තුරුලේ සිටියදී සිය රසකාමී හැඟීම් අවදි වු හැටි දක්වා ඇත්තේ මෙසේය.   


‘‘අතීත ජීවිතය පිළිබඳ මගේ සිහිය පටන් ගැනෙන්නේ අලුයම සරත් වලාකඩෙහි විසිතුරු දැක්මෙනි. අපේ ගේ අවට පෙදෙස එකල වන පඳුරින් වැසී තිබුණේය. දිරා ගිය කොටයක කුරුලු කූඩුවක සිටි කුරුලු පැටියකු දැක සෙස්සන්ගේ කතා බහ යොමු වී තිබුණ අතර මා වඩා ගෙන සිටි අම්මා මට සරස් වලාකඩ පෙන්වා අත දිගු කළාය. එයට පසු කිසිම දිනෙක මම එවැනි රසවත් දැකුමක් නොදුටුවෙමි.   


වඩාගෙන ඔබ මොබ ඇවිදිමින් පොල්සම්බල් හා මාළු සමග අනා ගුළි කළ මෙරට කැකුළු හාලේ බත් කවමින් මිදුලේ තිබුණු කොස් ගසේ කොළ අස්​ෙසන් පුර හඳ පෙන්නු දවස මට හොඳට මතකය. කුඹුරු වල පුරන් කෙටිල්ල මෙන් සිහින් කඩින් කඩ අහස පුරා කැටි වී තිබුණු වලාකුළු දුටු මම ඇස් විහිදා ගෙන බැලුවෙමි. අන්න අහසේ පුරන් කොටලා යැයි කීමට පසු කලෙක දී මම පුරුදු වීමි. හවස් යාමයේ ගමේ ළමුන් සමග අපේ මිදුලේ “ඉස්​සෝ කොස්සො හාල් මැස්සෝ අපේ යාළුවෝ” යන ගීය ගයමින් මුහුදේ රළ මෙන් හිස් පහත් කොට, නැවත එක පෙළට ඔසවමින් සෙල්ලම් කළ කාලය අද මෙන් මගේ සිහියේ රැඳී තිබේ. සමහර සඳ පහන් රැයක මිඳුලේ කොස් ගසක් යට පැදුරක මා සමග හාන්සි වී සිටි අම්මා මගේ හිස ඇඟිලි තුඩු වලින් පිරිමැද ”හඳ පානේ ඉඳන් කටින කෙල්ලනේ දෙපෙති ගොයම් මුල් උගුලක කුරුල්ලනේ” යනුයෙන් සිවු පද කීවාය. මට ගාථා ඉගැන්නුවේ මෙවැනි අවස්ථාවලදීය. ඇතැම් දිනවල අම්මා කී බණ කතා මට තවම මතකය.   


මානවසිංහයනගේ පියා “බද්දේගම හාමු” නමින් දකුණු පළාතේ කවුරුත් දැන සිටියහ. ඔහු කලින් ගම් සභාවේ ලිපිකරුය. පසුව ගම්සභා නඩුකාර කමත්, ගම්පතිකමත් කළේය. ගම්පති නිවසට හවස් මානයේ එක් රොක් වී කිතුල් හකුරු හා රණවරා වතුර බොමින් පියා සමග පිළිසඳරෙහි යෙදී සිටින පැරණි පෙළේ යමක් කමක් දැන කියා ගත් උදවියගේ කතා බහට කන් දී සිටීමට කුඩා මානවසිංහට අවස්ථාවට සැලසී තිබුණි. බොහෝ විට ඔවුන්ගේ කතා බහ යොමු වී තිබුණේ පැරණි උගතුන්ගේ කියුම් කෙරුම් හා පැරණි පොත පත අාදිය ගැනය. කුඩා මානවසිංහයන්ගේ කවි සිතිවිලි මෝදු වුයේ මේ කතා හා ඔවුන් කී කවි අසා සිටීම නිසාය.   


මානවසිංහයන් කවි රචනා කිරිමට පටන් ගත් කාලයේ ලියු “බුදු මිහිර” නම් පද්‍ය රචනාව පසු කලෙක කිංස්ලි ජයසේකර සහ ප්‍රිසිලා ‌ ඕපාත ගැයූහ. මේ ගිතය එදා ගුවන් විදුලි ගීතයක් ලෙස ජනප්‍රිය විය. එහි තනු නිර්මාණය කිංස්ලි ජයසේකරයන්ගේය.   


“මොනවද අම්මේ අකුරු ජාතියක්   
 මල් පෙති වල කවුදෝ ලියලා   
කවුරුද අම්මේ මේව ලියන්නේ   
පාට පාට ඉරි හැඩ ගහලා”  


එසේම මානවසිංහයන්ගේ “ගුරු ගෙදරට යන අතර මඟ” කාව්‍ය රචනාව “ලංකාදීප” පත්‍රයේ විකට චිත්‍ර ශිල්පියකුව සිටි ඇස්. කරුණාදාස සමග කමලා පෙරේරා ගැයූහ.   


“අකුරට යනවයි කියලා   
ටිකිරි අයියා බැදිවලමයි   
ඉන්නකෝ මම ගුරු ගෙදරට   
ගිහින් කියන්නම්   
ගිහින් කියලා මේ බැද්දෙදි   
අල්ලලා දෙන්නම්” 

 
බො​ෙහා් දෙනාගේ සම්භාවනාවට පත් වු ඔහු විසින් ලියු “මහ බෝ වන්නම” හෙවත් “වැලිතල ​අතරේ.........” ගිතය ගැන අපූරු අත්දැකීමක් ඇත.   


එය ලියවුණේ “ලංකාදීප” පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදී කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහලේ දී ඔහුට ඇති වු කවි සිතුවිල්ලකිනි. ඒ ගැන ඔහු විසින්ම විස්තර කර ඇත්තේ මෙසේය.   


‘‘කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙළි ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමග වෙළි ගියේය. ​මේ ලතාව ඉබේටම වාගේ මගේ මුවින් “තන තන තනෙනා - තන තන තනෙනා- තානෙන තන - තානෙන තන තනෙනා - තනානා තානෙනා” යනුවෙන් මගේ මුවට නැගෙනාත් සමගම ඒ අභිරමණීය ප්‍රභාමත් ප්‍රශාන්ත ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝරුක් සෙවණේ සව්නේ ගෙවා, දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩ සිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාශයත් ඉන් පසුකලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළ දිවට ගෙන ආ දිනයේ ඒ බෝපත් නටා ගිය සැටිත්, මගේ මනැසෙහි ඇදී ගියේය. මේ සිදුවීම් මවිසින් වචන වැලකට එක් කළේ බෝපත් නටා ගිය ලතාව අනුකරණයෙන් උපන් තාලයට අනුවයි.   


“වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණ දා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා   
හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​ෙබා් සුමීරී නාදෙනා”   


මේ ගිතයට තනුව නිර්මාණය කොට ගැයුවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය.   


මානවසිංහයන්ගේ ජීවිතය විසිතුරුය. රසබරය, විචිත්‍රය. 1947 “ලංකාදීප” පත්‍රය ආරම්භ කළ පසු එහි “වගතුග” තීරු ලිපිය ඔහු මිය ගිය 1964 දක්වාම ​නොකඩවාම ලිව්වේය. ලංකා සම සමාජ පක්ෂයේ හිතවතෙකු වු ඔහු 1956 දී මහජන එක්සත් පෙරමුණට බැඳී පෙරමුණටම යමවු යමවු නම් මැයි ගිතය රචනා කළේය. පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී මැයි දිනය වෙනුවෙන් ආලෝකය පැතිරේවා ගිතය ද රචනා කර ඇත.   


“දෛව යෝගය” චිත්‍රපටයෙන් චිත්‍රපට ගීත රචනයට පිවිසි ඔහු එහි එන අමතක නොවන ගීත ලෙස සැලකෙන “ආදරියේ රුචිරාණනියේ”, “හද ගිලෙයි අම මිහිරේ”, “ජීවන ගමනේ දෛවයෝගෙ”, “දොයි දොයියා පුතා දොයි දොයි” යන ගීත රචනා කළේය. “රන් මුතු දූව” චිත්‍රපටයේ එන “පාරමිතා බල පූරිත පූරිත”, “පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා”, “ගලන ගඟකි ජිවිතේ”, “ළාදළු” චිත්‍රපටය “සාරද කරුණා දයා ගුණේ කෝ”, “චංචල ලෝකේ මධුරයි”, “සුවදෙන සිත සැනසුම්” ගීතත්, “සිකුරු තරුව” චිත්‍රපටය “ඉර හඳ පායන ලෝකේ”, ගමන නොනිමෙයි ලෝකයේ මේ “ඔරු පැද පැද කිරි මූදේ” ගිතත්, “සීතල වතුර” චිත්‍රපටයට මංගල දිනයේ රස මධු දිනයේ ගීතයත් රචනා කළේය. ප්‍රථම “සරසවිය චිත්‍රපට උළෙලේ දී (1964) හොඳම ගීත රචකයාට හිමි සරසවි සම්මානය ඔහුට හිමි වුයේ ‘‘ගලන ගඟකි ජීවිතේ’’ ගීතය උදෙසාය.   


කොළඹ යුගයේ කවියන් වු මීමන ප්‍රේමතිලකත්, හක්ගල්ලේ පී.කේ.ඩි. සෙනෙවිරත්නත් මානවසිංහයන්ගේ සමීපතම මිතුරන් වූහ. “සිකුරු තරුව” චිත්‍රපටයෙන් පසු හක්ගල්ලේ සෙනෙවිරත්න “පෙම්වතුන්ගේ ලෝකය” නම් චිත්‍රපට කතාව ලියු අතර චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වුයේ ගම්පහ චිත්‍රා බාලසූරියයි. දිනක් සෙනෙවිරත්නත්, චිත්‍රාත්, සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගමත් මෝටර්රථයක ගමන් කරමින් සිටියහ.   


“සෙනෙවි, මම පෙම්වතුන්ගේ ලෝකය” කියන නමට කැමති නෑ. චිත්‍රා කීවේය. 

 
“එහෙනම් අපි මානවසිංහ හමුවෙලා හොඳ නමක් අහමු.” සෙනෙවිරත්න යෝජනා කළේය.  


තිදෙනාම වාහනයෙන් බොරලැස්ගමුවේ වාපී මේඛලා නිවස බලා පිටත් වූහ. මානවසිංහයන් ගෙදර නොසිටිය අතර ඔහු ප්‍රතිකාර ගැනීමට මහ වැව වෙද ගෙදරකට ගොසින් සිටියේය. වංහුං අසා ඔවුන් මහ වැවට ගොස් මානවසිංහයන් රථයට නංවා ගෙන ගමන් කර ඇත. රථය මාදම්පේ දේවාලය අසල සුදු වැල්ලේ නතර කොට ඔවුන් සුදු වැල්ලේ වාඩි ගත්හ. චිත්‍රපටයේ කතාව අසා සිටි මානවසිංහ මෙසේ ඇසීය.   


“සෙනෙවි, ඔය චිත්‍රපට කතාව අනුන්ගේ ගෑනුන්ට ආදරේ කරන මිනිහෙකුගේ කතාවක් නේද?” “පරසතු.............”

මානවසිංහ තොල් මතුරත් ම ලයනල් අල්ගම “මල්” යයි කීවේය.   


“පරසතු මල්. පන්කාදු නම. මල්” කෑල්ල කියන්න හිටියේ. මානවසිංහ කීය.   


මානවසිංහයන් ප්‍රතිභා ශක්තිය ඇති තරුණයින්ට අත හිත දුන් අවස්ථා බොහෝය. මඩවල රත්නායක ලියු “රුබයියාටේ” කෘතියට ඔහු නිර්ලෝභීව පෙරවදනක් ලියා දුන්නේය. රවීන්ද්‍ර නාත් තා​ගෝර් ගේ “ගීතාංජලී” කාව්‍ය්‍ය සිංහලයට නැගු එඩ්මන්ඩ් ජයසූරිය (අනුරාධපුර හිටපු උප දිසාපති හා ලේඛක) තම කෘතියට ප්‍රස්තාවනාවක් ලියා ගැනීමට මානව සිංහයන් හමුවට ගිය කතාව රංජිත් අමරකීර්ති පලිහපිටිය ලියු “අප්‍රමාණ මිනිහෙක්” කෘතියේ සඳහන් වෙයි.   

 

 

පෙරවදන ලියා ගැනීම පිණිස කිහිම වතාවක්ම බොරලැස්ගමුවට යාමට එඩ්මන්ඩ්ට සිදු වුව ද කඩිනමින් පෙර වදන නොලැබීම ගැන ඔහුට ඇති වු​ෙය් අසතුටක් නොවේ. එහි ගිය හැම දවසකම හෝරා කිහිපයක් ගෙවුණේ මානවසිංහ පඬිවරයා අබිමුව වංග සාහිත්‍යයේ පටන් සකු මගධ වේද වේදාන්තර පිළිබඳ රසවත් කතා බහට සවන් දීමෙනි.   


අද නම් මට කතා කරන්නවත් බෑ. අපේ නෝනා කරන වැරදි! කට්ට ​ක​ෙරා්ල බැඳුම්කුයි. කිරි කොස් මාළුවකුයි කාලා හොඳටම බඩ පිරිලා.   


මානවසිංහ අසුනක දිගැදි විහරණ සුවයේ පසු විය.   


යළිඳු පෙරවදන ගැන අසන්නට ගියකල්හි මානවසිංහ කීයේ එය ලියා දෙන තෙක් රැඳී සිටින ලෙසය. ලියා යද්දී පෑනේ තීන්ත අවසන් විය එඩ්මන්ඩ් ජයසූරිය තමා අත වු පාකර් ලේඩ් ඩුවර් හෝල් කාන්තා මාදිලියේ පෑන මානවසිංහ වෙත පෑවේය.   


“මේක හරියන්නේ නෑ මහත්තයා ඔය වට පිට බලන කොට මහත්තයාට තේරේවි මට කොයි දේත් බරපතළෙට ඕනෑ බව  


ඔහු කීයේ සිය තරබාරු බිරිය සිරිමතිය දෙස බලමිනි.”  


මානවසිංහයන්ගේ මුල් නම චන්ද්‍රරත්න දියෙස් සූරියආරච්චිගේ මොහොට්ටිය. උපන්නේ 1913 ජුනි මස 19 වැනිදා දකුණේ පුවක්දණ්ඩාවේ දිය. ඔහුගේ මුල් නම භාවිතා කර ඇත්තේ ජීවත් වු පනස් එක් අවුරුදු ජීවිතයෙන් ටික කාලයක් පමණි. මානවසිංහයන් භාවිතා කළ ආරූඪ නාමයන් වුයේ ශ්‍රීජිත්, ජෛමිණි, බාදරායණ, සඳරුවන් ආදියයි.   
ඔහුගේ ගිහි පැවිදි සමයන්හි යෙදුණු පුද්ගල නාමයන් වුයේ පුවක්දණ්ඩාවේ චන්ද්‍රරතන හිමි, පුවක්දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරතන මේධාලෝක තිස්ස හිමි, පුවක්දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරතන මේධාලෝක යතිවරයාණෝ සඳරුවන් කිවියර, ශ්‍රී ලංකා දෛත්‍ය මානවසිංහ, ශ්‍රී ලංකා දෛත්‍ය මානවසිංහ චන්ද්‍රරත්න, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. මේ බව “අප්‍රමාණ මිනිහෙක්” කෘතියේ සඳහන් වෙයි.   


මානවසිංහයන්ගේ පුතණුවන් වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උදය මානවසිංහ තම පියා ගැන මතකය අවදි කළේ මෙසේය.   
මට මතකයි සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා හා කැමරාශිල්පී නිමල් පෙරේරා, සමග අපේ ගෙදර ඇවිත් ප්‍රථම සරසවිය සම්මාන උළෙලේදී ගායනා කිරීමට උචිත සරස්වතී අභිනන්දන ගීතයක් ලියන්න ආරාධනය කළා. අද හැම කලා උළෙලකම බහුලව ගයන්නේ ඒ ගිතය. තාත්තා මුලින් ගිතය ලියලා තිබුණෙ මෙහෙම.   


“ජගත් මෝහිණී මධුර භාෂිණී  


චාරු දේහිනී කමල වාසිනී 

 
සරස්වතී දේවි නමස්තේ සරස්වතී දේවි”  


අමරදේවයන් මේ ගිතයේ “සරස්වතී දේවි නමස්තේ සරස්වතී දේවි” වෙනුවට “සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවි” කියලා තාත්තාට කියලා වෙනස් කර ගත්තා. තාත්තා උදේ පාන්දර 4 ට විතර නැගිටලා ඇඳ ගෙන හිටිය වේට්ටි පොටින් ඔළුව වහ ගෙන උඳු පියළිවල පියවර මනිමින් ඇවිදිනවා. “වැඩේවා වැවේවා” යි තොල් මතුරනවා.   


තමා දිනපතා ලියන “වගතුග” තීරු ලිපිය ගැන හිත හිත ඇවිදිනවා. පස්සේ සාලයේ තියෙන ටීපෝව උඩ කුප්පි ලාම්පුවක් හෝ චිමිනි ලාම්පුවක එළි​ෙයන් තාත්තා ලියනවා. ඒ කා​ළේ අපේ ගෙදර ලයිට් තිබුණෙ නෑ. ලියලා තාත්තා නා ගන්නවා. කවදාවත් සබන් ගාන්නේ නෑ. දෑතින්ම ​ෙතත කෙස් පිහදානවා. කවදාවත් පනාවක් පාවිච්චි කළේ නෑ. තාත්තා ලංකාදීපෙ වැඩට ගියේ දවල් වෙලා. කන්තෝරුවේ තාත්තට තහංචි තිබුණේ නෑ. දවල් ගියාම තාත්තා එන්නේ හුඟාක් රෑ වෙලා.  


තාත්තා වේදිකා නාට්‍යයක රඟ පා ඇති බව අපිට කියලා තිබුණා. නාට්‍යයේ නම “අගමැති පොරය”. ඒක ඒ කාලේ තිබුණ “ඩඩ්ලි - සර් ජෝන්” අගමැති පොරය ගැන ලියැවුණු උපහාස නාට්‍යයක් ලු. තාත්තාට සර්වාති ඇඳුම අන්දන්නේ අම්මා. වේට්ටිය ඇඳගෙන තාත්තා ඉන්න කොට අම්මා ඒ සර්වාති ඇඳුම අන්දලා බොත්තම් දාන කල් තාත්තා බබෙක් ව​ගේ ඉන්නවලු.   


මානවසිංහයන් 1964 වසරේ සැප්තැම්බර් මාසේ රෝගීව අසාධ්‍ය තත්ත්වයෙන් සිටියේය. ඔහු ජොතිෂ්‍යය මැනවින් දැන සිටි නිසා සිය බිරියගේ හා දූ දරුවන්ගේ හඳහන් තම කේන්ද්‍රය හා සසඳා බලා මේ පාර නම් ඔය කාගෙන්වත් පිහිටක් නෑ. මේ සැරේ අපල ගෙවන්න බැරි වෙයි. මට තව ටිකක් ලියන්න බැරි වුණ එකයි දුක. සිය දෙටු දියණිය දයා ලක්ෂිමිට කියා ඇත.   


‘‘මං මළාම ඇහැළ ගහ යට සොහොනක් හදලා පෑනයි කණ්ණාඩියයි. කඩදහියි තියන්න. මං රෑට ඇවිත් ලියන්නම්.

ඔයා අද දවසේ මා ළඟම ඉන්නයි’’ මානවසිංහයන් තම බිරියට කීවේය.   


1964 ඔක්තෝම්බර් 04 වැනිදා ඔහු ජිවිතයෙන් සමු ගත්තේය.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර