IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මතට එරෙහි පා ගමනේදී ‘වනචාරියකුගේ’ පිහි ඇනුමින් මියගිය පොලිස් නිලධාරියා

වරකොපොල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති තනතුර දැරූ උපපොලිස් පරීක්ෂක උපාලි සමරසේකර මහතා සාහසිකයකුගේ මාරාන්තික පිහි පහරකට ​ගොදුරු වන්නේ ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගි වෙමින් සිටි අතරවාරයේය.   


උපපොලිස් පරික්ෂක සමරසේකර මහතා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේ පිහි අැනුමින් හරියටම මාසයක් පිරුණු දිනය වූ පසුගිය 21 වැනිදාය.   


එම මාසය තුළ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් මහනුවර මහ ​රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සමරසේකර මහතා දිවියෙන් සමු ගත්තේ හරියටම පොලිස් විරු සැමරුම දිනයේදීය. 


මෙවර පැවැත්වුණේ 155 වැනි පොලිස් විරු සැමරුමය. 


මැලේ ජාතික පොලිස් කොස්තාපල්වරයකු වූ තුවාන් සබාන්න්ගෙ ආරම්භ කෙරුණු රාජකාරියට ගොස් දිවි පිදූ පොලිස් රණවිරුවන්ගේ ලැයිස්තුවේ 3,125 වැනියා බවට පත් වූයේ උපපොලිස් පරීක්ෂක උපාලි සමරසේකර මහතාය. 


මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමේ ජනාධිපතිවරයාගේ වැඩසටහනක් යටතේ වරකාපොළ ප්‍රදේශයේ පාසලක දරුවන්ගේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනයක් පසුගිය පෙබරවාරි මාසයේ 21 වැනිදා පැවැත්වීමට සංවිධානය කර තිබිණි. 


මත්ද්‍රව්‍ය විරෝධී මෙම පා ගමනට සහභාගී වීමට වරකාපොළ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි සමරසේකර මහතා ද පැමිණ සිටියේය. 
පා ගමන අවසානයේ මත්ද්‍රව්‍යවල ආදීනව පාසල් සිසු සිසුවියන්ට කියා දීමට ද ඒ මහතා සුදානම්ව සිට ඇත. 


මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ නියදුරුපොළ බීඩි කර්මාන්තශාලාවක් අසලට පැමිණ එතැන් සිට පාසල බලා යමින් සිට ඇත. 


පාසල් සිසු සිසුවියන්ගේ මෙම පා ගමනට සහභාගී වීමට ඔවුන්ගේ මව්පියන් හා ප්‍රදේශවාසීන් පිරිසක් ද පැමිණ සිටියහ. 


මෙම මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන කැමරා පහසුකම් සහිත සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කරමින් සිටි අතරවාරයේ එතැනට කඩා වැදුණු පුද්ගලයෙක් එක් වරම උල් පිහියකින් සමරසේකර මහතාගේ උදරය ප්‍රදේශයට වැරෙන් ඇන නැවත පිහිය ඇද විසි කර දමා පළා ගියේ ඇසුරු සැණෙකිනි. 


ඇයි මාව වීඩියෝ කළේ යැයි අසමින්ම සැකකරු සමරසේකර මහතාට පිහියෙන් ඇන ඇතැයි කියති. 


වරකාපොළ රෝහලේ දී හදිසි ශල්‍ය කර්මයකට ලක් කෙරුණු සමරසේකර මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩිසත්කාර ඒකකයටය. 


උපපොලිස් පරීක්ෂක සමරසේකර මහතාට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළ බව කියන පුද්ගලයා පසු දින වරකාපොළ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ ප්‍රදේශයේ සැඟව සිටියදීය. 


අත්අඩංගුවට ගත් සැකකරු හිටපු හමුදා සෙබළෙකි. 


අත්අඩංගුවට ගත් සැකකරු වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 


මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ පළමුරේ නියදුරුපොළ පදිංචි හේවයලාගේ සමන් කුමාර (38) නමැති අවිවාහක හිටපු හමුදා සෙබළෙකි. 


ඒ ප්‍රදේශයේම පිහිටි කර්මන්තශාලාවක සේවය කර ඇති මෙම සැකකරු කාලයක් තිස්සේ සිට තදින්ම ගංජා පානය කිරීමට ඇබ්බැහි වී සිටි අයකු බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. 


​පොලිසිය පවසන ආකාරයට මොහු ජීවත් වී ඇත්තේ වනචාරී පුද්ගලයෙකු ලෙසය. 


ඔහු ජීවත් වූ නිවසේ හැම තැනම කුණු රොඩුවලින් පිරී තිබී ඇති අන්දම ද එහි ගිය පොලිසියට දැකගැනීමට ලැබී ඇත. 


උපපොලිස් පරීක්ෂකවරයා මියගිය නිසා සැකකරුට එරෙහිව මිනී මැරීමේ චෝදනා යටතේ වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. 


සමරසේකර මහතාට පිහියකින් අනින ලද දවසට පසු දවසේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතත් එවැන්නක් කිරීමට පැහැදිලි හේතුවක් කියා නොමැත. 
සැකකාර සමන් කුමාර නැමැත්තාගේ සහෝදරයකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ දී එම සහෝදරයා මෙසේ කියා ඇති බව දැන ගැනීමට ඇත. 
සමන් කුමාර කියන්නේ මගේ මල්ලි. ඔහු 10 වැනි ශ්‍රේණිය දක්වා විතරක් ඉගෙන ගෙන තියෙනවා. අම්මා පිළිකා රෝගයක් හැදිලා මීට අවුරුදු 28කට විතර කලින් මිය ගියා. එතකොට සමන් මල්ලි හුඟාක් පොඩියි. මල්ලි යුද හමුදාවට බැඳුණා. අවුරුදු 3කින් විතර හමුදාවෙන් පැනලා ආවා. ආයෙත් හමුදාවට ගියේ නැහැ. 
ඊට පස්සේ මල්ලී රුවන්වැල්ලට ගිහින් බස්වල එක එක දේවල් වික්කා. ඒ කාලයේ මල්ලිව සැකපිට රුවන්වැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. මම තමා ගිහින් ඇප දීලා බේරාගෙන ආවේ. 


මල්ලි යහළුවෝ එක්ක එකතු වෙලා ගංජා බොන්නත් පුරුදු වුණා. කතා බහ කිරීම අඩු කළා. කැලෑවල ඉඳලා අල්ලාගෙන ආවා. කුරුණෑගල රෝහලට එක්කරගෙන ගිහින් මානසික රෝග විශේෂඥ දොස්තර මහත්තයෙකුගෙන් බේත් අරන් දුන්නා. සති ගණන් ගෙදර එන්නේ නැහැ. කොහේ ඉන්නවාද කියා දන්නේ නැහැ. ඉන්පසු බීඩි කොම්පැනියේ වැඩට යන්න පටන් ගත්තා.’’ එම සහෝදරයා පොලිසියට කියා ඇත. 


මියගිය උපපොලිස් පරීක්ෂක උපාලි සමරසේකර මහතා නිට්ටඹුවට එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරි දෙදරු පියෙකි. 
පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1986 වසරේ මැයි මාසයේ 1 වැනි දින පොලිසියට බැඳී ඇති සමරසේකර මහතා 1997 වසරේ දෙසැම්බර් මාසයේ 13 වැනිදා පොලිස් සැරයන් නිලයට උසස් වීම් ලබා උපපොලිස් පරීක්ෂක නිලයට උසස් වීම් ලබා ඇත්තේ 2015 වසරේ අගෝස්තු මාසයේ 26 වැනිදාය. 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඔහු 1989 වසරේ සිට 2012 වසර දක්වා රාජකාරි කර ඇත. 
එන්​.කේ. කොමලී නයනරාණි සමරසේකර මහතාගේ දයාබර බිරිය වන්නීය. 


ඇය තවමත් සිටින්නේ සිය දයාබර සැමියාට සිදු වූ මරණයෙන් කම්පාවට පත්ව හැඬූ කඳුළිනි. 
මහත්තයාගේ මේ මරණය නිසා අපේ ලෝකය එහෙම්පිටින්ම කඩා වැටුණා. මායි දරුවො දෙන්නයි අසරණ වුණා යැයි කියමින් නයනරාණි මහත්මිය දිග සුසුමක් හෙළුවාය. 
ඒ සුසුමේ බොහෝ දේවල් සැඟවී තිබෙන්නට ඇතැයි මට සිතුණි. 


මම රස්සාවක් කළේ නැහැ. දරුවො දෙන්නෙක් ඉන්නවා. පුතා වැඩිමල්. එයා ​පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. දුව ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබනවා. ලබන අවුරුද්දේ විභාගයට පෙනී ඉන්නවා. සැමියට මේ කරදරය වෙච්ච දවසෙ ඉඳලම පුතා වැඩට ගියේ නැහැ තාත්තාට ඇප උපස්ථාන කරන්න ඕනෑ නිසා. මහත්තයාගේ පඩියෙන් තමා අපි සේරම ජීවත් වුණේ. වෙන කිසිම ආදායම් මාර්ගයක් ඇත්තේ නැහැ. අපි සල්ලිකාරයෝ නොවුණාට හතර දෙනාම බොහොම සතුටින් ජීවත් වුණා. නිතරම දරුවො දෙන්න ගැන සොයා බැලුවා. අපි දෙන්නා කිසිම දවසක රණ්ඩුසරුවල් වෙලා නැහැ. 


මහත්තයට කවුදෝ කෙනෙක​් පිහියකින් ඇනලා. කිසිම හේතුවක් නැතිව මහත්තයා ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ හිටියේ. වෛද්‍යවරයාත් ජීවිතය බේරා ගන්න ලොකු වෙහෙසක් ගත්තා. ටික දවසකට පස්සේ එයා කතා බහ කරන්න පටන් ගත්තා. දුවේ මට ඔය ගොල්ලොත් එක්ක ගෙදර ගිහින් වෙනදා වගේ හිනා වෙලා කතා බහ කර කර ඉන්න ආසයි කියා සැමියා දුවත් එක්ක නිතර කියා තිබෙනවා. 


දුව මේ බව මාත් එක්ක කිව්වා. දරුවෝ දෙන්නාම හොඳින් බලා ගන්න කියා එයාව බලන්න ඉස්පිරිතාලයට ගිය හැමවේලාවකම කිව්වා. 


හීනෙකින්වත් හිතුවේ නැහැ මහත්තයා මැරෙයි කියා. සති 1 1/2 කට විතර පස්සේ මහත්තයාට ආයෙත් හොඳටම අමාරු වුණා. සිද්ධිය වෙලා හරියටම මාසයක් වෙච්ච දවසේ තමා මහත්තයා මිය ගියේ. එදාම තමා පොලිස් වීර දිනයත් යෙදී තිබුණේ. මහත්තයාගේ අවමඟුල් උත්සවයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයාත් ආවා. අපි පත් වෙලා ඉන්න අසරණ තත්ත්වය ගැන එතුමාටත් කිව්වා. අපි පදිංචිවෙලා ඉන්න ගෙයි වැඩත් තවම අවසන් කරගන්න බැරි වුණා. ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගී වෙලා ඉන්නකොට මේ මිනිහෙක් ඇවිත් පිහියකින් ඇනලා තියෙන්නේ. 


අසරණ වෙලා ඉන්න අපිට ජනාධිපතිතුමා යම් පිහිටක් වෙනවා නම් ඒක ලොකු පිනක්. 


ඒ උපපොලිස් පරික්ෂක සමරසේකර මහතාගේ බිරිය වන කොමලි නයනරාණි මහත්මියගේ හඬයි. සමරසේකර මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව මැද ඉකුත් 24 වැනිදා සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. 


කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරළ මහතාගේ මෙහෙයවීම යටතේ වරකාපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. ජනකාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමවර්ධන උපපොලිස් පරීක්ෂක රණසිංහ සහ පොලිස් සැරයන් විජේසිංහ (31994) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.    

 

 


ශ්‍රීනාත් ප්‍ර්‍රසන්න ජයසූරිය 



අදහස් (0)

මතට එරෙහි පා ගමනේදී ‘වනචාරියකුගේ’ පිහි ඇනුමින් මියගිය පොලිස් නිලධාරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28439 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10932 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site