IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


පාසල්වලට ළමයින් දාන්න මවුපියන් කරන හොර වංචා

 

පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා කාල වකවානුවලදී අගනුවර ඇතුළු නගරවල ජනප්‍රිය පාසල් සඳහා විස්මිත ඉල්ලුමක් ඇත. ඇතැම් පාසල් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලුම් පත්‍ර දහස් ගණනකි. එක් පාසලක් අවට පදිංචි පවුල්වල වර්ෂයකට මෙතරම් ළමයින් සංඛ්‍යාවක් ජන්ම ලාභය ලබන්නේ නම් පුදුමයකි. එයින්ම පෙනී යන්නේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම්පත්‍රවලින් සෑහෙන සංඛ්‍යාවක් ව්‍යාජ ඒවා බවයි. ලැබෙන ඉල්ලුම්පත්‍රවලින් අදාළ චක්‍ර ලේඛයට අනුව නියම සුදුස්සන් තෝරා ගැනීමට සෑහෙන පරිශ්‍රමයක් දරන්නට පාසල් විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයට සිදුවේ. 

 
මේ නිසා අවස්ථා කිහිපයකදීම කොටසක් ඉවත් කිරීමට පාසල්වල අදාළ කමිටු කටයුතු කරයි. ඇතැම් අය චක්‍රලේඛනයේ සඳහන් පරිදි ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට අපොහොසත් වෙති. එවැන්නන් ප්‍රථමයෙන් ඉවත් කෙරේ. තවදුරටත් ඉල්ලුම්පත්‍ර පරීක්ෂා කරද්දී ළමයාගේ වයස අඩු හෝ වැඩි විය හැක. නැවත නැවත සොයා බැලීමේදී පාසලේ සිට පදිංචි නිවසට ඇති දුර ප්‍රමාණය වැඩි විය හැක. එවන් ඉල්ලුම්පත්‍රද ලෙහෙසියෙන්ම ඉවත් කරයි.   


ඉතිරි සුදුසු යැයි කියා සිතෙන අය සම්මුඛ පරීක්ෂණයකට කැඳවයි. මේ සඳහා විශේෂ සුදුසුකම ඇති ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් ආදීන් ඇතුළත්කොට වෙනමම කමිටුවක් පත් කරයි. මුදල් ගෙවා ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා ගෙන ඉදිරිපත් කරන්නෝද පැමිණෙති. බොහෝ අවස්ථාවලදී එවැන්නන් මේ කමිටුව අල්ලා ගැනීමට සමත්වේ.   


කොළඹ නගරයේ එක්තරා ජනප්‍රිය පාසලකට සිය පුතු ඇතුළත් කර ගැනීමට සම්මුඛ පරීක්ෂණයකට දෙමාපියන් කැඳවා තිබුණි. අවශ්‍ය සියලුම ලියකියවිලි රැසක්ම චක්‍ර ලේඛනාරූපව ඉදිරිපත් කළහ. ඒවා සියල්ලම ව්‍යාජ ඒවා බව පළපුරුදු කමිටුව එක්වරම හඳුනා ගති. ඒ කිසිවක් සැනින් ප්‍රකාශ නොකිරීමට තීරණය කළ කමිටුව ස්වල්ප වේලාවක් (ඒ ස්ථානයට ආසන්න තැනක් පෙන්වා) රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය. සියල්ල ‘හරි’ යයි සිතූ දෙමාපියෝ, සිය සිඟිති පුතුද කැටුව සතුටු සිතින් එතැනින් ඉවත්ව කමිටුව කී තැනට ගියහ.   


සම්මුඛ පරීක්ෂණ කමිටුව තවත් පිරිසක් තමන් වෙතට කැඳවා ගත්හ. ඔවුහු ද සිය පදිංචිය තහවුරු කෙරෙන සියලු ලියවිලි ඉදිරිපත් කළහ. ඒ සියල්ල ද කමිටුව පරීක්ෂාවට ලක් කෙරුණි. ඒ ලියවිලි ද චක්‍ර ලේඛනාරූපව හැඩ හුරුකමින් සකස් කර තිබූ අතර පිළිවෙලද නිවැරැදිය. එහෙත් ලියවිලිවල සත්‍යතාවයක් නොමැත. සියලු ලියවිලි ව්‍යාජ ලෙස සකස් කළ ඒවාය. තොරතුරු, අත්සන් සියල්ලම ව්‍යාජ බව කමිටු සාමාජිකයෝ හඳුනා ගත්හ.   


කලින් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්ව ස්වල්ප වේලාවක් වෙනත් ස්ථානයක රඳවා සිටි දෙමාපියන් නැවත කැඳවනු ලැබීය. තවම එම ස්ථානයේ රැඳී සිටින අයවලුන් පෙන්වා ‘මේ මහත්වරුන්, නෝනලා හඳුනනවා දැයි’ කමිටුව විමසීය. එක්වරම ඔවුන් කීවේ ‘නැහැ’ කියාය. තවමත් කමිටුව ඉදිරියේ ඉඳ සිටින යුවල වෙතට යොමු වූ කමිටුව ‘මේ අයවලුන්ව ඔයගොල්ලන් අඳුනනවාද’ මෙතැන මොකක් හරි වින්නැහියක් වෙලා වගේ යැයි සිතමින් ඔවුහු පිළිතුරු නොදී සිටියහ.   


‘මොකද? කියන්නේ. මේ අය හඳුනනවාද නැද්ද? අපට තව වැඩ රාශියක් තියෙනවා. කියන්න කියන්න’ කමිටු සාමාජිකයෝ විමසති.   
‘නැහැ .. නෑ ... නෑ’   


‘පුදුමයිනේ. ඔය දෙන්නම පදිංචිය දමල තියෙන්නේ එකම පාරේ එකම නිවසක. අවුරුදු හත අටක සිට එකම නිවසක පදිංචි ඔය දොගොල්ලන් තම තමන් දන්නේ හඳුනන්නේ නැහැලු. මේ මහා හතර බීරි කතාවක්නේ’ විදුහල්පතිතුමා තරමක් වේගයෙන් කියයි.  


‘ඔය දෙ​ගොල්ලන්ම ඉදිරිපත් කරලා තියෙන සියලු ලිපි ලේඛන ව්‍යාජ ඒවා. ඇයි මේ වගේ ලැජ්ජා බය නැති වැඩ කරන්නේ. සටහන් කරල තියන විදිහට ඔය හතර දෙනාම වැදගත් රක්ෂා කරන උගත් අය. ඒවත් බොරු ද දන්නේ නැහැ. එක අතකට උගත්-වැදගත් අය මේ වගේ දෙකේ කොළේ වැඩ කරන්නේ නැහැනේ. දෙගොල්ලන් ඇත්ත කියන්න. නැත්නම් ව්‍යාජ ලේඛන හැදුවට පොලිසියට දන්වල නඩු දමනවා. තියෙන ජොබ් එකත් එතකොට ඉවරයි. අපිට තව වැඩ තියෙනවා. කියන්න කියන්න. මොකද වුණේ?’ විදුහල්පතිතුමා නැවතත් විමසයි.   


‘මං වැඩ කරන්නේ මහනුවර කන්තෝරුවක. ඒ පෞද්ගලික ආයතනයක්. පදිංචි කඩුවෙල. ළමයින් නෝනලා කඩුවෙල. බොස්ගේ ගෙයක් කොළඹ තියෙනවා. ඒක ලොකු ගණනකට කුලියට දීලා. බොස්ම මට කීවා ඒ ලිපිනයට ලියවිලි හදාගෙන ළමයාව පාසලට දාගන්න කියලා.’ එක් අයෙක් කීවේ, ඇසෙන නොඇසෙන ලෙස ඉතා සිහින් හඬෙනි.   


‘මගේ නෝනා වැඩ කරන්නේ, කොළඹ රජයේ දෙපාර්තමේන්තුවක. අපි දැනට පදිංචි කැස්බෑවේ. නෝනා වැඩ කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කුලියට පදිංචිවෙලා ඉන්නේ, අපි ඉල්ලුම්පත්වලට දැමූ ඔය නිවසේ. නිවෙස් හිමි අය කියල තියෙනවා, ඒ ගෙදර අංකයට ලියවිලි හදාගෙන ළමයාව පාසලට දාගන්න කියලා. එතැනට ලියවිලි හැදුවේ ඒකයි. රුපියල් ලක්ෂයක් ගත්තා සර් ලියවිලි හදන්න පමණක්’යි අනිත් තැනැත්තා කීය.   
‘හරිනේ. අපි හිතුවා. අපි හිතුවා. දැන් මොකද? කියන්නේ. පොලිසියට එන්න කියල ඔය හතර දෙනාම භාර දෙන්නද? එසේ නැතුව ඉල්ලුම්පත්‍ර මෙතනින් ඉල්ලා අස්කර ගන්නවාද? පොලිසි ගියොත් නඩු ගිහින් රස්සාවලුත් නැතිවෙලා යයි. කියන්න කියන්න’ හත් අට වසක් එකම නිවසේ රැඳී සිටියත්, මෙතෙක් නුදුටු, නොහඳුනන, කතා බහ නොකළ, සිව් දෙනාම එක් වී මිත්‍රයෝ ලෙසින් මොහොතක් සාකච්ඡා කර තීන්දුව මෙසේ ඉදිරිපත් කළහ. ‘අපිට සමාවෙන්න සර්. අපට මේ පාසලට ළමයින් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. ඉල්ලුම්පත් ඉල්ලා අස්කර ගන්නවා.’ සුන්වූ බලාපොරොත්තු ඇතිව, දරුවන් දෙදෙනා ද පෙරටුකර ගෙන, ඔවුහු පාසලෙන් පිටත් වූහ.   


මෙවැනිම සිද්ධියක් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිදුවිය. එකම නිවසේ ලිපිනයට දැරියන් දෙදෙනෙක් පාසලට ඇතුළත් කිරීමට ඉල්ලුම් පත්‍ර එවා තිබුණි. දෙදෙනා එකම දිනක එකම වේලාවට සම්මුඛ පරීක්ෂණයට කැඳවීය. විදුහල්පතිතුමිය ඇතුලු සම්මුඛ පරීක්ෂණ කමිටුව උපක්‍රමශීලීව ක්‍රියා කළහ. නිවස පිහිටි පාරේ නමත්, එහි ගෘහ අංකයත් ප්‍රකාශ කොට, සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබූහ. දෙදෙනෙක් එක්වරම පැමිණුනි. ‘මේ මොකද? එක ගෙදරින් දෙදෙනෙක්.’ විදුහල්පතිනිය ප්‍රශ්න කළාය. දෙදෙනාම මුහුණට මුහුණ බලා සිටිති. පිළිතුරු නොවූයෙන්, විදුහල්පතිතුමිය යළිත් ‘කවුද? ඇතත්ටම පදිංචි එක්කෙනා? කවුද හොර ලියකියවිලි සෑදූ කෙනා? දෙදෙනාම හොර ලියකියවිලි හදාගෙනද දන්නෙ නැහැ. කොහොමත් ලියකියවිලි පරීක්ෂා කරන විට ඒක අපට අල්ල ගන්න පුළුවන්. ඇත්ත කීවොත් මෙතනින් ඉවරයි. අපේ කාලෙත් ඉතුරුයි.’ මේ දවස්වල කාලය අපට වටිනවා’යි කීවාය.   


මේ අතර දඟකාර දැරියෝ දෙදෙනා මේ කෙටි කාලයේදීම මිත්‍ර වූවෝය. දෙමාපියෝ කර කියාගත දෙයක් නොමැතිව ලත වෙති. විදුහල්පතිනියට පිළිතුරු දිය නොහැකිව, සුසුම්ලති. දැරියෝ ඉඟිබිඟි කරති. සිනාසෙති. වචනයක් දෙකක් හුවමාරු කර ගනිමින් කතා කරති. දෙමාපියන් මේවා ගැන සිතන්නට මනස සන්සුන් නොමැත. එක් දැරියක් ‘ඔයා කොහේද ඉන්නේ’ ‘අපි ඉන්නේ කඩවත ‘ඔයා කොහේද?’ ‘අපේ ගෙවල් පානදුර වලානේ’ විදුහල්පතිනියගේ දෙසවන් තුළට මේ සංවාදය ගියේය. 

 
‘මෙන්න, සාක්කි. ඔය දුව කඩවත. ඔය දුව පානදුර වලාන. හරිනේ. පොඩි ළමයි අහිංසකයි. බොරු කියන්නේ නැහැ. දැන් ඔය අම්මලා තාත්තලා පිළිගන්නවාද? හොර ලියවිලි, බොරු ලිපින කියලා. ගන්න කෝල් එකක් පොලිසියට ව්‍යාජ ලිපි ලේඛනත් සමග බාර දෙමු.’ විදුහල්පතිනිය සම්මුඛ පරීක්ෂණ කමිටුවට කියයි.   
ඒ අතර බියටපත් දෙපලම දැරියන් දෙස ද බලමින් ‘අපි සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් වෙනවා මැඩම්. අපි යනවා.’ කීහ. දැරියන් දෙදෙනා දෑතින් අල්ලා ගෙන විදුහල්පතිනිය ‘ඇත්ත කියන හොඳ ළමයි. බොහොම හොඳයි.’ කීවාය.   


ළමයින් පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට කෙරෙන සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පදිංචිය තහවුරු කර ගන්න. නිවෙස්, පරීක්ෂා කිරීමටද ළමයින් පාසලට ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් පත්‍ර දමා, සම්මුඛ පරීක්ෂණයට ගොස් අවශ්‍ය ලියකියවිලි කොතෙක් දී තිබුණත් පදිංචිය තහවුරු කෙරෙනතුරු ළමයා ඇතුළත් කර නොගැනේ. පාසලේ වාහනයෙන් ගියත්, රහස් තැනක වාහනය නවතා, පා ගමනිනුයි, බොහෝ විට අපි යන්නේ. නිවෙස් පරීක්ෂා කිරීමට එන බවක් පෙර දැනුම් දීමකුත් කරන්නේ නැහැ. හිටි හැටියේම බලන්න යන්න වේලාවකුත් උදේ, දහවල්, සවස, රාත්‍රි කියලා නැත. ලිපිනයේ ස්ථිර පදිංචිය තහවුරු කර ගන්න යති. අපි යන අවස්ථාවේ නොසිටියහොත් ඒ වගේම සාධාරණ හේතුවක් නැතුව හමුනූනොත් ළමයා ඇතුළත් කර ගැනීමට තෝරාගෙන තිබුණත් කපා හරිති.   


දවසක් දා බම්බලපිටිය හන්දියට ආසන්නව බෞද්ධාලෝක මාවතේ නිවසක් පරීක්ෂා කිරීමට ගියෙමු. ඇතුළු වන තැනම මෝටර් බයිසිකල් අලෙවි හලකි. අංකය නිවැරැදි නිසා බයිසිකල් අලෙවි හලේ බයිසිකල් අලෙවිකරුගෙන් විස්තර විමසුවෙමු.   


‘ඔව් සර්, ඒ අයගේ ගෙදර තමයි මේ. ඉස්සරහා බයිසිකල් විකුණුවට ඒ අය පදිංචි පිටි පස්සේ. එන්න එන්න ගෙට.’ ඔහුගේ කීමට ඇතුළට ගියෙමි. ‘කෝ ඒ අය නැද්ද?’ ‘ළමයාට අසනීපවෙලා බෙහෙත් ගන්න ගියා. තව ටිකකින් එයි සර්’   


‘උයන්නේ පිහන්නේ කොහේද?’ ‘මේ ගෙයිම තමයි සර්. හැබැයි බොහෝ වෙලාවට කන්නේ කඩෙන් සර්.’   
‘කෝ ඉතින් උයන පිහන උපකරණ. බඩු මුට්ටු?’ ‘මේ තියෙන්නේ සර් කුකර් එක’ ‘මේක, මේ එක ළිපක්වත් පත්තු නොකරපු අලුත්ම එකක්නේ. වළං පිඟන් මොකුත් නැද්ද?’ ‘දන්නේ නැද්ද සර්. තරුණ ජෝඩුනේ සර්. එක ළමයයි ඉන්නේ. නිතරම හෝටල් කෑම බීම.’ ‘හරි රාත්‍රියට නිදා ගන්නේ කොහේද?’ ‘මේ තියෙන්නේ සර් ඇඳ’ ‘මේ පොඩි ඇඳේද තුන් දෙනාම නිදා ගන්නේ. සල්ලි තියෙන ලොකු මුදලාලිලානේ මේ අය’   
කතා කරමින් සිටියදී ඇඳ මත මම ඉඳ ගතිමි. එක්වරම ඇඳ කඩාගෙන මාත් සමඟ බිමට වැටුණි. ඇඳ යාන්තමට අටවා තිබුණකි. ‘මේ ඇඳේද මෙච්චරකල් ඒ අය නිදා ගත්තේ. ඒ අය පැමිණි විට කියනව .... ඉස්කෝලෙන් පදිංචිය බලන්න ඇවිත් ගියා කියලා’ සිද්ධිය විදුහල්පතිතුමාට විස්තර කළෙමි. ඒ ළමයා ගැනීම ඒ මොහොතේම කපා හැරුණි.   


තව දවසක කොල්ලුපිටිය පස්වෙනි පටුමගේ නිවසක් නිරීක්ෂණයට ගියෙමු. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ සියලුම ලියවිලි නිවැරැදිව තිබුණි. ගේට්ටුව විවෘත කරගෙන මිදුලට ගොස් නම සඳහන් කොට ගෙදර සිටිනවා දැයි ඇසුවෙමි. කිසි හඬක් නොනැගෙයි. කිසිවෙක් දෙනෙතට හසු නොවෙයි. ප්‍රධාන දොර ජනෙල් විවෘතය. කවුරුන් හෝ සිටින බව ඉන් කියැවෙයි. නැවත ‘ගෙදර කවුද?’ කොට ගවුමකින් සැරසුන රූබර කතක් පැමිණෙයි. විමසිල්ලෙන් මා දෙස බලයි. ‘කවුද? කොහෙන්ද?’ ‘මිස්ටර් ... සිටිනවාද?’ ‘මෙහෙ එහෙම කෙනෙක් නැහැ’ ‘වෙන්න බැහැනේ. මෙහේ අවුරුදු හතක් තිස්සේ ඉන්නවා කියලා ලියවිලි ඉදිරිපත් කරලා තියෙනවානේ’   


‘මොනවා! එහෙම වෙන්නේ කොහොමද? මේ අපේ පරම්පරා ගෙදරනේ. මේ ගෙදර ඉන්නේ අපි විතරයිනේ. ඔයා කොහෙන්ද? මම පාසලේ නම කීවෙමි.   
‘ආ ... ඔය ළමයි ඉස්කෝලෙට දමන්න හොර ලියවිලි හදාගෙන කවුරු හරි. ඔය වගේ ඒවා අවුරුදු පතාම වගේ වෙනවා. සමහර අවුරුදුවල දෙතුන් දෙනා ඉල්ලුම් කරලා. අපි දන්නෙත් නැහැ. එහෙම කෙනෙක් ගැන. මෙහෙ අපි හැර වෙන කවුරුත් ඇත්තෙත් නැහැ.’   


එතුමියගේ ප්‍රකාශයට අත්සන් ද ලබාගෙන විදුහල්පතිතුමාට භාර දුනිමි. ලියවිලි අනුව තෝරා ගෙන තිබුණ ඒ ළමයාවත් ලැයිස්තුවෙන් කපා හැරුණා.   


පසුව දැන ගන්නට ලැබුණේ එකී නිවසෙහි ගෘහණිය සමග එකම කාර්යාලයේ සේවය කළ කාන්තාවක සිය පුතු පාසලට ඇතුළත් කර ගැනීමට හිතවත් මිත්‍ර ගෘහනියගේ අවසර මත ලියවිලි සාදාගෙන ඇති බවත්, පසුව දෙදෙනා අමනාප වී මෙයට හරස් කපා ඇැති බවත්ය.   
කෞතුකාගාරය ආසන්න තවත් නිවසක් පරීක්ෂා කිරීමට ගියෙමි. අතුරු මාවතක නිවැරැදි අංකය සොයා ගොස් සීනුව නාද කළත් කිසිවෙකු නොඑයි. ගේට්ටුවද වසා ඇත. නැවත කීප විටක්ම සීනුව නාද කළ විට ඊට කෝපයට පත්ව දුව ආ මැදිවියේ කාන්තාවක් මා දෙස රවා බලමින් ‘සීනුව කැඩෙනවානේ ඔහොම බෙල් ගැහැව්වම’ කීවාය.   


‘ඒකට එක වතාවක් දෙවතාවක් සීනුව නාද වනවිට එන්න තිබුණනේ’   
‘ඔයා එනවිට ගේට්ටුව අරින්න අපි මෙතන ගේට්ටුව ළඟ බුදියන් ඉන්න ඕනෑද?’   
‘ඒක ඔයාගේ කැමැත්තක්’   


‘මේ මට වැඩ තියෙනවා. ඔයත් එක්ක වාද කර කර ඉන්න බැහැ. ඔයා කවුද? මොකද? කොහෙන්ද ආවේ?’   
‘අන්න එහෙම එන්න එපැයි. මෙහෙන් ළමයෙක් ඉස්කෝලයකට දමන්න ඉල්ලුම් පතක් දමලා තියෙනවාද?’   
‘මොනවා! මෙහෙන් ළමයෙක් දමන්න. මෙහේ ඉස්කෝලවලට දමන්න පොඩි ළමයි නැහැනේ. මායි මහත්තයයි මහත්තයාගේ අම්මයි තාත්තයි ඉන්නේ. අපේ ළමයි ඉගෙන ගෙන ඉවර වෙලා පිටරට රක්ෂාවල්වල.’ ඉල්ලුම්පත එවා ඇති අයගේ නම මම කීවෙමි. ‘අපෝ! ඔය අපේ දුර නෑයෙක්. ඉන්නේ අවිස්සාවේල්ලේ. මෙ​හේ කොහේද ඒ ගොල්ලො පදිංචි. පට්ටපල් බොරු. එහෙම කෙනෙක් නැහැ. හොර ලියවිලි හදන් ඇති. අපි මුකුත් දන්නේ නැහැ.’   


අවිස්සාවේල්ලේ පදිංචි ස්ථානයත්, එහි දුරකථන අංකය ඇතුළු සියලු විස්තර මට ලබාදී ඒ ලියවිලිවලටද අත්සන් ද තැබීය. ඊට අමතරව එවැන්නෙක් එහි නැති බවට ඇගෙන් ලිපියක්ද ලබා ගතිමි. දුර නෑයාගෙන් ළමයා ගැනීමද එතැනින් නතර විය. කොල්ලුපිටිය, සාන්ත අන්තෝනි මාවතේ එක්තරා නිවසකට ඉරිදා උදෙන්ම ගියෙමි. නිවාඩු නිසා නිවසෙහි සියල්ලෝම සිටියහ. පාසල් පවත්වන්නේ සතියේ දිනවල පමණක් නිසා බොහෝ අය මෙවැනි සෝදිසි කිරීම් සිදු කෙරෙන්නේ සතියේ දිනවලයයි විශ්වාස කරති. නිවාඩු දිනවලද, නිවෙස් පරීක්ෂා කිරීම වඩාත් සුදුසු බව පාසල් විශ්වාස කරයි.   


‘අපි ආවේ ... පාසලෙන්. මේ ගෙදර පදිංචි ... සිටිනවද? ගෘහනිය ‘එහෙම කෙනෙක් අපේ ගෙදර නැහැ’   
‘ළමයෙකු ඇතුළත් කිරීමට ඉල්ලුම්පත දමලා. සම්මුඛ පරීක්ෂණයටත් ආවා.’ යළිත් කීවෙමි.   
‘මොනවා. ඉස්කෝලේ යන ළමයි අපේ ගෙදර නැහැනේ. අපිට ඉන්නේ එක ගැහැණු දරුවයි. එයා කසාද බැඳලා පදිංචි කිරිබත්ගොඩ. එයාටවත් තවම ළමයි නැහැ. ළඟදිනේ බැන්ඳේ.’ ‘හැබැයි ඉල්ලුම් පත්‍ර එවපු අය මේ නිවසේ ස්ථිර පදිංචිය වසර අටක් කියලා. ඒ පදිංචිය තහවුරු කරන්න ලියවිලිත් සියල්ල ඉදිරිපත් කරලා තියෙනවා.’   


‘මොන බොරුද? හොර ලියවිලි. මේ ගෙදර අපේ තාත්තා මට දෑවැද්දට ලියලා දීලා තියෙනනෛ්. මගේ මහත්තයයි මමයි love කරන කාලේ මාව බඳින්න නම් මේ ගේ මට ලියලා දෙන්න කියල මහත්තයා තාත්තාට කිව්වා. ඒකයි තාත්තා මට මේක ලියලා දුන්නේ. මේකේ කොහෙද තව කෙනෙකුට අයිති? අපි හැර කවුරුත් මෙහෙ පදිංචි නැහැ මහත්තයා. ඔය කවුද හොරෙක් හොර ලියවිලි හදාගෙන.’   
‘පොඩ්ඩක් ඉන්න. අපේ මහත්තයාගෙනුත් අහල බලමු. එයා උඩ තට්ටුවේ ඉරිදා පත්තර බලනවා.’   
‘ආ එන්න සර්. එන්න ගෙට එන්න.’ කාන්තාවගේ සැමියා මා අමතයි. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මම, ‘මේ කෙනා දන්නවාද?’ විමසීමි.   


‘නැහැ සර්. ඔහොම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වුණා. මාස කිහිපයකට ඉහතදී, කොළඹ ප්‍රදේශයේ ලියුම් බෙදන පියුම් කෙනෙක් මගෙන් මෙහෙම ඇහැව්වා. ‘මහත්තයලාගේ ගෙදර ඉස්කෝලේ දාන ළමයි ඉන්නවාද?’ කියලා. මං ‘නැහැ’ කිව්වා. එදා ඒ පියුම් මට කිව්වා ‘එයාගේ නෑයෙකුගේ ළමයෙක් ඉස්කෝලෙට දාගන්න ඇඩ්‍රස් එක දාගන්නම්’ කියලා. ‘මං හැබැයි ඒකට උත්තරයක් දුන්නේ නැහැ.’ ‘හරි හරි මට තේරෙනවා. එහෙනම් මං යන්නම්’. එදාම විස්තරය විදුහල්පතිතුමාට භාර දුනි. ඒ ළමයාව ද ලැයිස්තුවෙන් කපා හැරීමට විදුහල්පතිතුමා පසුබට වූයේ නැත.   
සිය දියණිය කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ තවත් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමට එකී විද්‍යාලය කැඳවූ සම්මුඛ පරීක්ෂණයකට යුවලක් සිය දියණියත් සමඟ පැමිණියහ. සියලුම ලියවිලි පරීක්ෂා කර බැලූ කමිටුව අවශ්‍ය සටහනක් යොදා අවසන් කිරීමට සූදානම් විය. එහෙත් ලිපිනය දුටු විට විදුහල්පතිනියගේ මතකය වසර ගණනාවක් ඈතට දිව ගියේය. ‘මට හොඳට මතකයි ඔය ලිපිනය. මගේ විශ්වවිද්‍යාල සමයේ හොඳම මිතුරිය සිටියේ ඔය නිවසේ. මං ගිහිල්ලත් තියෙනවා. දැන් ඇය පදිංචි දුවත් සමඟ කැනඩාවේ. පුතයි පදිංචිවෙලා සිටියේ. එතකොට මේ ගොල්ලන්ට ඒ නිවසේ ඔප්පු කොහොමද ලැබුණේ. ඒ නිවස විකුණුවාද?’ තමාටම සිතින් කියාගත් විදුහල්පතිනිය සිය කාර්යාලය වෙතට දිව ගොස් එකී මිතුරියගේ නිවසේ පරණ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය.   


තොරතුරු විමසූ විට මිතුරියගේ පුතා පැවැසුවේ, තමන් ඒ නිවසේ පදිංචි බව හා එය නොවිකුණූ බවය. යළිදු කමිටුව වෙත හනිකට පියමැන්න එතුමිය ඔප්පුව සිය අතට ගෙන ප්‍රශ්න කළාය.   
‘කවුද? මේ හොර ඔප්පුව ලිව්වේ. සීල් ගහලා. මුද්දරත් අලවලා. මේ ලෝයර්ටත් ඔයගොල්ලන්ටත් විරුද්ධව නඩු දමන්න පුළුවන්. නියම අයිතිකාරයෝ ඒ ගෙදර ඉන්නවානේ. ගේ දොර විකුණල නැහැනේ. මං ​​හොඳට දන්න ගෙදරක්. අවශ්‍ය නම් ඒ අය නියම ඔප්පුවත් සමඟ ගෙන්නන්න පුළුවන්. විදුහල්පතිනියගේ කතාවට එකී යුවල පමණක් නොව මුළු කමිටුවම පුදුමයෙන් බලා සිටිති. ‘මැඩම් අපට සමාවෙන්න. ඔය ඔප්පුව සහ සියලු ලියවිලි පිළියෙළ කරල කෙනෙක් දුන්නා. අපි මුදල් ගෙව්වා.’ අයැදුම්කරු පවසයි.   


‘කීයක් ගෙව්වද?’ විදුහල්පතිනිය ‘ලක්ෂ දෙකක්’ අයැදුම්කරු පිළිතුරු දෙයි.   
‘අපරාදෙනේ. ඔය ඔප්පුව ලියපු ලෝයර්ගේ නමත් බොරු වෙන්නැති. රබර් සීල් කපලා. හොර වැඩ වංචාකාරයින්ට උදව් කරන්නෙත් ඔයගොල්ලො. හොඳටම දැන දැනනේ මේවට රැවටෙන්නේ. අපෙන් යන ලියුම් ගත්තේ කොහෙන්ද?’ විදුහල්පතිනිය නැවත අසයි. ‘පෝස්මන් අල්ලගෙන ඒවා ගත්තා’ විදුහල්පතිනිය කෝපයට පත්ව මෙසේ කීවාය.   


‘හරි නම් මේ ලියවිලිත් සමඟම පොලිසියට භාරදෙන්න ඕනෑ. පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා අත් හරිනවා. තමන්ගේ කැමැත්තෙන් ඉල්ලුම් පත්‍රය ඉවත් කරගන්නව කියලා ලියුමක් ලියල දීල යනවා.’   
කොළඹ නගරයේ පිරිමි පාසලක උගන්වන ගුරුවරියකි. ඇයගේ මිතුරියක බාලිකා විද්‍යාලයක ගුරු මණ්ඩලයට මාරුවක් ලබා පැමිණියාය. ඇය පදිංචිව සිටියේ බාලිකා විද්‍යාලයට ඉතා සමීපවය. පිරිමි පාසලේ මිතුරියගේ දියණියක බාලිකාවේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට මිතුරියගේ නිවසේ ලිපිනය ලබා ගත්තාය. සියලු ලියවිලි ද සකස් කෙරුණි. නියමිත දිනයට සම්මුඛ පරීක්ෂණයට පැමිණියාය. ඇය පදිංචිය දක්වා තිබුණු නිවසේ ස්ථිර පදිංචිය සිය පාසලේ ගුරුවරිය බව විදුහල්පතිනිය මැනවින් දනී. ඒ ඉතා කෙටි කාලයක සිටය. මේ සියල්ල සඟවාගෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවිය. ලියවිලි පරීක්ෂා කළ විදුහල්පතිනිය ‘ඔයාගේ ස්ථිර පදිංචිය මේ ලිපිනයේද?’   


‘ඔව් මැඩම්’   


‘සිය පාසලේ ගුරුවරියගේ නම කියා ඇයත් පදිංචි එතැන නේද? විදුහල්පතිනිය අසයි. ඇයගේ මුහුණ අඳුරු පැහැ ගැනුණි. නිරුත්තරය. ‘සල්ලි කීයක් දුන්නද?’ විදුහල්පතිනිය. ‘විසි පන් දහසක්’ අයදුම්කාරිය   
‘එච්චරද? විදුහල්පතිනිය ‘තේරුනොත් තව දෙනවා.’ අයැදුම්කාරිය   


‘දීපු විසිපන්දාහ ආපසු ඉල්ල ගන්න. තේරෙන්නේ නැහැ. මෙහෙම පාසල්වලට ළමයින් ඇතුළත් කරන්න පුළුවන්ද? ඔයත් ගුරුවරියක්නේ. නීති රීති චක්‍රලේඛ තියෙනවනේ. අපට වැඩ තියෙනවා. වද දෙන්නේ නැතුව කරුණාකර යන්න.’ විදුහල්පතිනිය ඇය පිටත් කර හැරියාය.

   
මෙවන් අත්දැකීම් තව ඕනෑ තරම් ලිවිය හැක. ලිපිය දිගුවන නිසා මෙතැනින් සමාප්ත කරමි.   
 



අදහස් (0)

පාසල්වලට ළමයින් දාන්න මවුපියන් කරන හොර වංචා

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 157 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 873 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 259 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 537 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 645 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site